Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

දිදුල ඉදුවරගේ

ලාංකීය ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ පායන යෞවන තරු අතර බොහොම කැපී පෙනෙන අපූරු තරුවක් පහුගිය වකවානුවේදි ස්වර්ණවාහිණි නාලිකාවෙහි විකාශනය වු “පාර වසා ඇත” ටෙලිනාට්‍යය තුලින් ප්‍රේක්ෂක අපට දැක ගන්න ලැබුනා.

“පාර වසා ඇත” ටෙලිනාට්‍යයෙහි බිංදුගේ චරිතය ඉතා සාර්ථකව පණ පෙවු ඔහුගේ රංගන කුසලතාවය දකින ඕනෑම කෙනෙකුට මෙය ඔහුගේ කුළුදුල් නිර්මාණය නොවන බව අවබෝධ වෙන කරුණක් වනවා.

පාසල් වේදිකාවෙන් රංගනයට අවතීර්ණ වී ළමා නාට්‍යය උළෙලවලදි විවිධ ඇගයිම් ලබමින්, රංගනය තම ජිවිතයේම කොටසක් කරගත් ඔහු මේ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සිනමා අධ්‍යනය පිළිබදව හදාරමින් සිටිනවා.

රංගන පිළිබදව කුඩා කල සිට ලබාගත් අත්දැකිම් සහ අධ්‍යාපනයෙන් පරිපුර්ණ වු ඔහු අද වනවිට දක්ෂ තරුණ රංගන ශිල්පයෙකු පමණක්ම නොව තිර පිටපත් රචකයෙකු මෙන්ම කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකුද වනවා.

අපගේ ප්‍රයත්නය ඔබ ආදරය කරන දිදුල ඉදුවරගේ ජිවිතයෙන් බිදක් ඔබ හමුවට ගෙන එන්නටයි…

🔸 දිදුලගේ රංගන හැකියාවන් මුලින්ම හදුනා ගත්තේ කවුද? ඔබගේ පාසල සහ ගුරුවරුන් පිළිබදව මතක් කලොත්…

මම පොඩිකාලේ ඉදලාම අවුරුදු උත්සව, සාහිත්‍ය උත්සව වැනි විශේෂ අවස්ථාවන්වලදි විවිධ අංගයන් සදහා ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි කලා විෂයන් සදහා යොමුවිමට මගේ අරමුණක් තිබුනේ නැ. 6 වෙනි ශ්‍රේණියේ ඉදලා ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා මම හොරණ විද්‍යාරත්න විශ්ව  විද්‍යාපීඨයට ඇතුලත් වෙනවා. පාසලේදි පැවති සාහිත්‍ය සමිතියක දි හමුදා සොල්දාදුවෙකුගේ චරිතයක් සදහා රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබෙනවා. එහිදි මගේ ඉදිරිපත් කිරිම අපේ පාසලේ නාට්‍ය භාර පුබුදු සුභාෂණ කුරුගල ගුරුතුමා දකිනවා. මගේ රංගන හැකියාව සහ දක්ශතාවය එතුමා හදුනා ගෙන ඉන්පසු පාසල් මට්ටමෙන් නිර්මාණය වන නාට්‍යවල විවිධ චරිත සදහා මාව තෝරා ගන්නවා. මගේ රංගන කටයුතු ආරම්භ වෙන්නේ අපේ පාසැල් වේදිකාවෙනුයි.

🔸දිදුලගේ රංගනයන් නරඹන ප්‍රේක්ෂකයන් වන අපට නිතර්කයෙන්ම වැටහෙනවා ඔබට රංගනය පිළිබදව

ප්‍රායෝගික දැනුමක් සහ අධ්‍යාපන පසුබිමක් ඇතිබව. මම නිවැරදියි නේද?

පාසැල් වේදිකාවට සම්බන්ධවිමත් සමග රංගනය මගේ ජිවිතයේම කොටසක් බවට පත් වෙනවා. අපේ නාට්‍ය කණ්ඩායම පුබුදු සුභාෂණ කුරුගල ගුරුතුමාගේ මග පෙන්විම යටතේ පුහුණුවිම ලබමින් ඉදිරිපත් කල නාට්‍යය සදහා විවිධ ජයග්‍රහණ ලබලා තිබෙනවා. ඒත් සමගම මම සිනමාවට ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. මම සාමාන්‍යයෙන් ගොඩක් චිත්‍රපට බලනවා. චිත්‍රපට බලන ගමන් එහි එන චරිත අධ්‍යනය කරනවා.

මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබනවා. රංගනයට වගේම සිනමා නිර්මාණකරණයට මම ගොඩක් කැමතියි. එවගේම කෙටි චිත්‍රපට අධක්ෂණය සහ තිර පිටපත් රචනා කිරිමට මම යොමු වි තිබෙනවා. ඒ අංශවලට කැමති නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සදහා ප්‍රධාන වශයෙන් “සිනමා අධ්‍යනය” තෝර ගන්නවා.

ප්‍රේක්ෂකයන් මගේ රංගනය පිළිබදව තෘප්තියක් ලබනවා නම් මම හිතන්නේ මගේ රංගනය සාර්ථකයි කියලා.

🔸දිදුලගේ රංගන හැකියාවන් සදහා සම්මානයෙන් ඇගයිම් ලැබුනු අවස්ථාව පිළිබදව අප දැන ගන්න කැමතියි.

2011 වසරේදී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලේදි “චුටි බබා ලොකු ළමයෙක්” නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට විශිෂ්ට රංගන කුසලතා සහතිකයක් ලැබෙනවා.

එමෙන්ම 2012 වසරේදි රාජ්‍ය ළමා නාට්‍යය උළලේදි “මමයි මමයි හරි යාළුයි” නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට හොදම නළුවා සම්මානය දිනා ගන්න පුළුවන් වෙනවා.

සමස්ථ ලංකා මට්ටමෙන් පැවැත්වුනු පාසල් නාට්‍ය උළෙලේදි මට හොදම නළුවා සම්මානය සහ ඉංග්‍රීසි අංශයෙන් ඉදිරිපත් කරන ලද නාට්‍යයකින් විශිෂ්ට රංගන කුසලතාවක් ද ලබා ගන්න හැකියාව ලැබෙනවා.

එමෙන්ම පාසල් නාට්‍යය උළලේදි ඉංග්‍රීසි නාට්‍යයක රංගනය වෙනුවෙන් හොදම සහාය නළුවා සම්මානය ලැබෙනවා. 2013 වසරේදීත් රංගන වෙනුවෙන් මට සහතික පත්‍රයක් ලබා ගන්න හැකි වෙනවා.

ඉන්පසු අපේ ගුරුතුමාගේ උපදේශනය යටතේ පාසැල් නාට්‍ය අධක්ෂණය සදහා මම යොමු වෙනවා. 2017 වසරේදී මගේ යාළුවායි මමයි එකතු වෙලා රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සදහා නාට්‍යයක් අධක්ෂණය කරනවා. ළමා නාට්‍යය උළලේදි ඒ නාට්‍යය සදහා හොදම අධක්ෂණය සදහා සම්මානයක් දිනා ගන්න මට පුළුවන් වෙනවා.

ඒත් එක්කම අපේ ගුරුතුමාගේ නාට්‍යයක රංග වින්‍යාස ශිල්පියා විදියට වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ වෙනුවෙන් හොදම රංග වින්‍යාසය ශිල්පයාට හිමි සම්මානය ලබා ගන්න මට හැකි වෙනවා.

මම පාසැල් වේදිකාවේන් සමු ගැනිමෙන් පස්සේ ශාරද් චන්දුම මල්ලි සමග එකතු වෙලා “Money for life” නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා.

අපි එම කෙටි චිත්‍රපටය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පැවැත්වුනු තරගාවලියකට ඉදිරිපත් කරනවා. එහිදි හොදම අධක්ෂණය, හොදම නිෂ්පාදනය, හොදම තිර පිටපත, හොදම නළුවා යන සම්මාන ලබා ගන්න අපිට හැකියාව ලැබෙනවා.

සම්මාන සහ සහතික පත්‍ර කුසලතා ගැන කිවොත් ඔහොම තමයි.

🔸මෑත කාලයේදී විකාශනය වු ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන “පාර වසා ඇත” ටෙලි නාට්‍ය සදහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුනේ කොහොමද?

2012 වසරේදි සමන් කුමාර ලියනගේ මහතාගේ “පිත්තල කොණ්ඩෑරුම” ටෙලි නිර්මාණය ඔස්සේ ටෙලිනාට්‍යය රංගනය සදහා මට මුලින්ම අවස්ථාව ලැබෙනවා. ඉන්පසු සමන් කුමාර ලියනගේ මහතාගේ “සදසාවී” ටෙලිනාට්‍යයට සහ සුරංග සතරසිංහ මහතාගේ “නාටක මාරයි නවයහමාරයි” නිර්මාණය සදහා මට රංගන දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙනවා.

2014 දී ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහතාගේ “නිර්භීතයි අපි” නම් ළමා නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ නාට්‍යයත් සමග සම්බන්ධවිමෙන් මම ශිවා මාමාව අදුර ගන්නවා. අවුරුදු 7 කට පස්සේ ශිවා මාමා ආයේ මට කතා කරලා කියනවා “මම වැඩක් පටන් ගන්නවා. ඒකේ මේ වගේ චරිතයක් තියනවා. මේ චරිතෙට හරියන්නේ ඔයා. මොකද කියන්නේ? ” කියලා.

ශිවා මාමාගේ නිර්මාණයක් කිවාම ඒක අනිවාර්යයෙන් ම සුපිරි ම වැඩක්. ඒකේ ආයේ අහන්න දෙයක් නැ. ඉතින් මම වැඩේ භාර ගත්තා.

🔸”පාර වසා ඇත” ටෙලි නාට්‍යයේ ඔබට මුණ ගැසුණු ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්ප ශිල්පිනියන්ගෙන් ඔබට ලැබුනු සහයෝගය කොහොමද?

මම රංගනයෙන් දායක වු ටෙලිනාට්‍යයක් රූපවාහිනි තිරයක විකාශනය වි අවුරුදු 7 කට පස්සේ මට ආයෙත් අවස්ථාව ලැබෙනවා නිර්මාණයකට දායක වෙන්න.

“පාර වසා ඇත” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ටම රංගන ශිල්පියෙකු වන බිමල් ජයකොඩි මහතා. ටෙලිනාට්‍යයේ ‍බොහෝමයක් අවස්ථාවල මට රංගනයේ යෙදෙන්න තිබුනේ බිමල් අයියා සමග. බිමල් අයියා වැනි ප්‍රවීණ රංගන ශිල්පියකු සමග සහය රංගනයේ යෙදීම මට විශාල අභියෝගයක් වුනා. රංගනයේ යෙදෙන අවස්ථාවලදි බිමල් අයියා, “මේ දෙබස ඔයා මෙහෙම කියන්න, ඔයාගේ රංගනය තව ටිකක් මෙහෙම කරන්න, ඔයාට මීට වඩා දෙයක් මෙහෙම කරොත් කරන්න පුලුවන්” ආකාරයට මගේ අඩුපාඩුවක් තියනවා නම් ඒවා මට නිර්ලෝභීව පෙන්නලා දීලා මගේ රංගනය සදහා සහයෝගයක් ලබා දුන්නා. බිමල් අයිය මම දැකපු නිහතමානීම රංගන ශිල්පයෙක්.

ඒ වගේම චන්දිමා අක්කා, ශෙහානි අක්කා, ජයනි අක්කා, ආනන්ද මාමා, සමාධි අක්කා සහ සෙසු රංගන රංගන ශිල්ප ශිල්පින් කණ්ඩායම, අධ්‍යක්ෂකවරයා ශිවා මාමා, පිටපත් රචනයෙන් සද්ධා සර්, සහය අධක්ෂණය සහ අනෙකුත් කණ්ඩායමේ සියලුම දෙනා මගේ රංගනයට සාර්ථක කර ගන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ සියලු දෙනා සමගම වැඩ කිරිම මට ඉතාම පහසු වුනා.

🔸මෑතකදී විකාශනය වු ටෙලි නාට්‍යයන්ගේ දකින්නට ලැබුනු විවිධ චරිත අතර “පාර වසා ඇත” ටෙලි නාට්‍යයේ “බිංදුගේ චරිතය” ප්‍රේක්ෂකයන් විසින් ඉහල තැනකට ඔසවා තබා තියනවා. කොහොමද ඔබට ලැබුනු ප්‍රතිචාර?

“පාර වසා ඇත” ටෙලිනාට්‍යයේ මම නිරූපණය කල බිංදුගේ චරිතය සදහා ඇත්තටම මට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. මම අවුරුදු 7 කට පස්සේ ටෙලිනාට්‍යයක් සදහා සම්බන්ධ වුනේ. මම හිතුවේ නැ ප්‍රේක්ෂකයන්ට මාව මතක තියෙයි කියලා. ඒවාගේම

බිංදුගේ චරිතය තුලින් මාව මොන විදියට ප්‍රේක්ෂකයන් වැලද ගනිද කියලා මට ප්‍රශ්නයක් තිබුනා. හැබැයි නාට්‍යය දවසක් දෙකක් විකාශනය වෙද්දී මට ගොඩක් ප්‍රතිචාර ලැබුනා. මම එහි රංගනයෙන් දායකවන නිසා ටෙලිනාට්‍යය වටා නරඹන පිරිසකුත් එකතු වුනා.

අද වෙනකොට නාට්‍යය අවසන් වෙලත් බිංදුගේ චරිතය ගැන අපේ රටේ ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි පිටරට වල ජිවත් වෙන අය පවා කතා කරනවා. මම ඇත්තටම හිතුවේ නැ බිංදුගේ චරිතය ප්‍රේක්ෂකයන් මේ තරම් වැලද ගනි කියලා. මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් හොද නිසා මම හිතනවා මගේ රංගන සාර්ථකයි කියලා.

🔸දිදුල මෙතෙක් කල් පැමිණි ජයග්‍රාහී ගමනේ පිටුපස සිටින්නේ කවුද? පවුලේ විස්තර ටිකක් කියමුද?

මට ඉන්නේ අම්මායි, අප්පච්චියි, නංගියි. මේතරම් දුර ගමනක් එන්න පවුලේ අයගෙන් මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබුනා. මට සුදුසුම විෂය රංගනය බව තේරුම ගෙන එම විෂය සදහා මාව යොමු කල පුබුදු සුභාෂණ කුරුගල අපේ ගුරුතුමාව සහ මගේ යාලුවෝ ඇතුළු නාට්‍යය කණ්ඩායමේ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා.

මාව “පාර වසා ඇත” ටෙලිනාට්‍යයට සම්බන්ධ කර ගත්ත ආදරණීය ශීවා මාමා, පිටපත් රචක සද්ධා සර්, සහය නිශ්පාදක ශ්‍රිලාල් අයියා සහය අධ්‍යක්ෂණය ධනංජය මංචනායක අයියා සහ රංගන ශිල්පීන් ඇතුලු නාට්‍යය කණ්ඩායමේ සියලු ම දෙනාට ස්තුතිවන්ත වෙනවා.

ප්‍රේක්ෂකයන් බිංදුගේ චරිතය වැලද ගැනිම නාට්‍යය පුරාම එම චරිතය දකින්න ලැබිමට විශාල හේතුවක් වුනා කියලා මම විශ්වාස කරනවා. පාර වසා ඇත ටෙලිනාට්‍යය සමග රැදිලා හිටපු ප්‍රේක්ෂකයන් සියලු දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මා වටා ඉන්න මම නිරූපණය කල චරිත ඇද බැද ගත්

ප්‍රේක්ෂකයන් නිසා තමයි අද දිදුල කියන චරිතයක් මෙවැනි තැනකට ආවේ. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ සහයෝගයට ගොඩක් ස්තුතියි.

🔸ඔබගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දකින්නට ලැබෙන නිර්මාණ මොනවාද?

ඉදිරියේදී විකාශනයවිමය නියමිත සහ රංගනයෙන් දායක වන්නට තෝර ගත් නිර්මාණ කිපයක්ම තියෙනවා.

ඒ වගේම තවත් කෙටි චිත්‍රපට නිර්මාණයක් සදහා අදහසක් තියනවා. ප්‍රේක්ෂකයන්ට මගේ Youtube නාලිකාව හරහා මගේ නිර්මාණ බලන්න එකතු වෙන්න පුලුවන්.

පහුගිය කාලයේ විශ්වවිද්‍යාල විභාග වෙනුවෙන් කාලය ටිකක් වෙන් කරන්න වුනා. කලා කටයුතු සහ අධ්‍යාපන කරයුතු සමබරව කරගෙන හෙමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

🔸රංගන ජිවිතයේදී අමතක නොවන ඇත්දැකිම් මොනවාද?

“පාර වසා ඇත” බොක්සිං ක්‍රීඩාව ආශ්‍රිතව නිර්මාණය වු ටෙලිනාට්‍යයක්. සමහර අවස්ථාවලදි තාත්විකවම පහරවල් වැදිලා තියනවා. එවැනි අවස්ථාවක් මතක් කලොත් ශෙහානි අක්කා මට පහර දෙන දර්ශනයක් තිබුනා. පළවෙනි දර්ශනයෙන්ම එම කොටස රූගත කරන්න තමයි අපි උත්සාහ කරේ. නමුත් ඇත්තටම පහර වැදිලා මම ඒකට ප්‍රතිචාර දක්වන්න ගිහින් රූප රාමුවෙන් පිටතට ගියා. දෙවෙනි වරටත් එතෙන්ටම පහර දෙන්න වුනා.

තවත් දවසක චන්දිමා අක්කගේ ගෙදරට හොරෙන් යන අවස්ථාවක් රූපගත කරන වෙලාවෙදි වලව්වේ තියෙන තණකොල බිස්සක ලිස්සලා වැටුනා. ඒ වගේ අත්දැකීම් ලැබිලා තියනවා.

ඒවගේම බිමල් අයියා එක්ක වැඩ කරද්දී ලැබුනු අමතක නොවන මතක සටහන් කිපයක්ම තියනවා.

🔸දිදුලව ඉදිරි අනාගතයේදි වෘත්තීය රංගන ශිල්පියෙකු වශයෙන් ප්‍රේක්ෂක අපට දකින්නට ලැබෙයිද? ඔබගේ අනාගතය බලාපොරොත්තු මොනවාද?

රංගනය සහ සිනමා නිර්මාණකරණය, මෙම අංශවලින් මාව ඉදිරියේදීත් ඔබට හමු වේවි.

අමා නාකන්දලගේ

Sign up for our newsletter