Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

පිනි බිංඳු – කෙටි කතාව

අවසාන කොටස.

තරමක් ඈතට වෙන්න වාඩි වෙලා උන්නු සුනේත්‍රා මගේ ඉස්සරහට ඇවිත් ආවා වුනා. ඒ දවස් වලත් සුනේත්‍රා ඔය වගේමයි. එයා කැමති තමන් කතා කරන කෙනාගෙ ළඟට වෙලා ඉන්න. ඇයත් මමත් කාලයක් අතොරක් නැතිව කියෝපු අය. එහෙම වෙලත් තාමත් සුනේත්‍රා දකිද්දි මගේ හිත හිරිවැටෙන්නෙ ඇයට මගේ අතින් සිදුවුනු වරද නිසාවත්ද?

‘මම ආවා පෙන්ශන් එක ගන්න මහී.. මට අන්තිමට ඉතුරු වුනේ එච්චරයිනේ…

මම හිතුවා නිවැරදියි. සුනේත්‍රගේ වචන වලට මගේ හිතේ තිබුනු වරදකාරී හැඟීම තවත් වැඩි වුනා.

‘මගෙන් වැඩක් නෑ. මහීගේ දරුවෝ කොහොමද? මට ආරංචියි දෙන්නම හොඳට ජීවත් වෙනවා කියලා. කුමාරිගේ කැපකිරීම නිසා තමයි.

‘ඔව් දුව කැනඩාවේ. එයා මේ දවස් වල විශ්ව විද්‍යාලයක ආචාර්‍යවරියක්. පුතා ඉන්නෙ ඇමරිකාවෙනෙ. එයා මහාචාර්‍ය කෙනෙක්. දෙන්නම එහේ අයමයි බැන්දේ.

දරුවන්ගේ පම්පෝරි අනිත් මිනිස්සු එක්ක කියද්දි දැනෙන්නෙ නැති ලැජ්ජාවක් මට සුනේත්‍රා එක්ක කියද්දි දැනෙනවා. සුනේත්‍රා කියන්නේ කුමාරිටත් වඩා මගේ හිත කියවපු ගෑණි. එහෙම ගෑණිට මම හංඟලා කියන හැමදෙයක්ම හොඳට තේරෙනවා.

‘කොච්චර සතුටක්ද එහෙම අහන එකත්. මහීගෙයි කුමාරිගෙයි මොලේ තමයි දරුවන්ට තියෙන්නෙ. ඒවුනාට අපරාදේ කුමාරිගෙ ජීවිතේ. හොඳ උගත් ගෑණි. ඔයා නිසාම ගෙදරට නාකි වුනා..

සුනේත්‍රාගෙ වචන මට ඇහුනේ අතීතයෙන්. අවුරුදු ගානකට කලින් සරසවි භූමියේ රොබරෝසියා ගහක් යටදි මේ හා සමානම වචන වලින් මගේ මූණට දමලා ගැහුවේ තුන් අවුරුදු සරසවි ප්‍රේමය එතනම භූමදානය කරමින්.

‘මහී හොඳට මතක තියාගන්න. ගේ අස්සට වෙලා බත් තම්බන්න තරම් පිස්සුවක් මට නෑ. මේ අවුරුදු තුන මම පුදුම දුකක් විදලා ඩිග්‍රී එක ගත්තේ. මෙඩිසින් යන්න බැරි වුනු හින්දා මම හිතා ගත්තේ සයන්ස් ෆැකල්ටි එන්න. එහෙම ඇවිත් ගත්ත උපාධියෙන් මට වැඩක් ගන්න ඕන. මම කීයට වත් ඔයා කියන විදියේ ගෑණියෙක් වෙන්නෙ නෑ මහී….

‘හිතුවක්කාර වෙන්න එපා සුනේත්‍රා. ගෑණියෙක් ඉගෙන ගන්න එක හොඳයි. ඒත් රස්සා කරන්න ගියාම ගෙදර වැඩ පාඩු වෙනවා. ඒවා කරන්නෙ කවුද?

‘ඇයි ඔයත් ඉන්නේ? ඒකට තමයි ගෑනියි මිනිහයි කියලා කියන්නේ…

‘මම මොකටද ගෙදර වැඩ කරන්නෙ? මම හම්බකරගෙන එන්නම්.

එදා මම එහෙම කියද්දි සුනේත්‍රා සමච්චලයෙන් හිනා වුනා. ඒ හිනාව මගේ පුරුෂාධිපත්‍යට ගහපු කනේ පහරක්.

‘හොඳට මතක තියාගන්න මහී. මම අවුරුදු තුනක් ආදරේ කලේ ඔයා වගේ නෝන්ජල් මිනිහෙක්ට නම් මම කැමතියි මගේ ආදරේ මළගම දැන්ම සමරන්න. අපි පටන්ගත්තෙත් මෙතනදි ඉවර කරන්නෙත් මෙතනදි. මට බෑ මගේ හීන ගෙදරට වෙලා පෝලිමට ළමයි හද හද බත් තම්බ තම්බ නාස්ති කරන්න. ඒ හින්දා මම යනවා, ආයේ ඔයාගේ ඇස් ඉස්සරහට නොඑන්නම. ඔයාට ගැලපෙන ගෑණියෙක් හොයාගෙන බැදගන්න. ඒ ගෑණි මම නෙවෙයි මහී..මට නම් පිරිමි එපාම වුනා ඔයා නිසා…

වචනයක් වත් කියන්න ඉඩ නොදී මාව පහුකරගෙන ගිය සුනේත්‍රා ආයෙත් මට මුණ ගැහුනේ කුමාරිගෙයි මගෙයි මඟුල් ගෙදරට මම කෝට් මහන්න රෙදි ගන්න ගිය දවසෙයි. එදත් ඇය අද වගේම මම එක්ක කතා කලේ සමච්චලයෙන්. සුනේත්‍රයි කුමාරියි එක ඉස්කෝලේ පන්ති දෙකක. කුමාරිත් විද්‍යා උපාධියක් තියෙන කෙනෙක්. ඒත් ඇය සුනේත්‍රා වගේ හිතුවක්කාර වුනේ නෑ.

‘කුමාරි කියන්නෙ දක්ෂ ගෑණියෙක්. අපරාදේ එයාගේ ජීවිතේ. ඔයා එයාව බැන්දට කමක් නෑ එයාගේ ආසටත් ඉඩ දෙන්න මහී..

එදත් එහෙම කියපු සුනේත්‍රා මට වචනයක් කියන්න නොදී යන්න ගියා. ඔය විදියට මේ අවුරුදු ගානට සුනේත්‍රා මට ටවුන් එකේදි අහම්බෙන් මුන ගැහුනා. වචනයකට දෙකකට එහා ඇයත් එක්ක මම කතා නොකරන්න වග බලාගත්තේ දකින හැම වෙලාවෙදිම එල්ල කරන වාග් ප්‍රහාර දරාගන්න බැරි නිසයි.

‘මහී ඇයි කතා නැත්තේ? මම වැරදි දෙයක් කිව්වද?

අතීතයෙන් වර්තමානයට මම ආවේ සුනේත්‍රගෙ හඬින්. මම ආයාසයෙන් හිනාවෙන්න උත්සහ කලා. ඇය මගේ දිහා බලාගෙනම ඉන්නවා.

‘මම දන්නෙ නෑ සුනේත්‍රා. මම ඔයා එක්ක කතා කරන්නෙ හරි පරිස්සමින්. කුමාරි ගැන ඔයා පසුතැවෙනවා. ඒක මාව දකින හැම වතාවෙදිම කියනවා. අවුරුදු දහයකින් දැක්කත් ඔයා එකම දෙයයි කියන්නෙ,ඒ තමයි කුමාරි පව් කියලා. කුමාරි පව් නෑ. ඔයයි පව්. මිනිහෙක් නැතුව ගෙදරට නාකි වුනු ඔයා ගැන මට ඇත්තටම දුකයි.

කාලෙකට පස්සේ මම මගේ හිතේ සුනේත්‍රා ගැන තිබුනු අප්‍රසාදය ඒ විදියට වචන වලට හැරුනා. සුනේත්‍රා මගේ දිහා බලාගෙන උන්නේ කවදාවත් නැති තරහකින්. එහෙමම මම ළඟින් නැගිටපු ඇය දොර ළඟට ගිහින් ආයෙත් ආවා. එක අතක් මේස උඩ තියපු ඇය මගේ දිහා කෙලින් බලද්දි මම බිම බලාගත්තේ මහා ලොකු වැරද්දක් කරපු එක වසරෙ ළමයෙක් වගෙයි.

‘අනේ මම ගැන ඔයා දුක් වෙන්න ඕන නෑ. ඔයා අද ගිහින් සුනේත්‍රාගෙන් අහන්න ඒ ගෑණි සතුටින්ද ඔයා එක්ක හිටියේ කියලා. මලියදේවෙ මහ ලොකු බයලොජි සර්. මට හරි දුකයි තමුන්ගෙන් විද්‍යාව ඉගෙන ගත්ත කොල්ලො ගැන. උනුත් ඔයා වගේ පුරුෂාධිපත්‍ය ඉහට ගහපු උන් නම් මේ රටේ සුනේත්‍රලා මැරෙන්නෙ මිනිහෙක් නැතුව ඒත් සන්තෝසෙන්. හැබැයි කුමාරිලා මැරෙන්නෙ හිතේ වේදනාව හිර කරගෙන..

වචනයක් කතා කරගන්න බැරි විදියට ආයෙත් මාව නිරුත්තර කරපු ඇය යන්නට ගියා. ඇත්තටම කුමාරි ඇය කියන තරම් විදවන්නට ඇතිද? එහෙනම් අවුරුදු ගානක් විවාහ ජීවිතේ ඇය කර ඇත්තේ රඟපෑමක්ද? මට තවත් කූල්ස්පොට් එකට වෙලා ඉන්න තරම් හයියක් තිබුනේ නෑ. එහෙමම බිල ගෙවපු මම ත්‍රී වීලරයකින්ම ගෙදරට ගියා. ඒ යද්දි කුමාරි මම එනකම් ඉස්තෝප්පුවේ බලාගෙන ඉන්නවා.

‘බස් එකේනෙ එනවා කිව්වේ. ඇයි මේ ත්‍රීවීලර් එකකම…

‘පොඩි දෙයක් තියෙනවා ඔයාගෙන් අහන්න. ඒකයි… තේකක් හදාගෙන එන්නකෝ…

‘මේ මද්දහනේ තේ ඕන නෑ මහත්තයා. පැශන් වැලේ ගෙඩි පිරිලා. මම බීම එකක් හැදුවා. ඒක ගෙන්නම්..

ඔලුව පුපුරන්න රිදෙනවා. ඒ අතරට සුනේත්‍රගේ වචන දෝංකාර දෙනවා. කුමාරි අරන් ආව පැශන් වීදුරුව එක හුස්මට මම බීගෙන ගියා.

‘මහත්තයා ප්‍රශ්නෙකින්ද?

කුමාරි අහද්දි මම ඔලුව වැනුවා. ඇයත් මගේ දිහා ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්නවා. මගෙයි සුනේත්‍රගෙයි සරසවි ප්‍රේමය ගැන කුමාරි දැනගෙන උන්නත් අපි විවාහ නොවුනු හේතුව ඇය දන්නෙ නෑ. ඒ නිසා මම හැමදෙයක්ම මුල ඉදන් පිලිවෙලට කුමාරි එක්ක කිව්වා. අද අහම්බෙන් සිදුවුනු සුනේත්‍රගෙ හමුවත් එක්කම. හැම දෙයක්ම අහගෙන උන්නු කුමාරි යන්තමින් හිනාවුනා.

‘මහත්තයා ඕවා හිතන්න එපා. සුනේත්‍රා වගේ මට හිතුවක්කාර වෙන්න පුලුවන් වුනා නම් මමත් මහත්තයා බදින්නෙ නෑ. මහත්තය වගේමයි මගේ අප්පච්චිත්. කැම්පස් ගියාට රස්සා ඕන නෑ කියන ඒකමතික තීරණේ එයත් හිටියේ. මම කැම්පස් ගියේ ආසාවට මොකද හිත හදාගෙන උන්නෙ රස්සාවක් නොකර ඉන්න ඒත් මේ ගේ අස්සේ මගේ උපාධිය වැඩක් වුනේ නෑ කියලා හිතන්න එපා. මම දන්න විද්‍යාව ලමයි දෙන්නට ඉගැන්නුවා. සුනේත්‍රා කියනවා වගේ මගේ හිතේ තිබුනු දුක අඩු වුනේ අපේ ළමයින්ට උගන්වද්දි. අනික කොච්චර කතා කලත් ඕවා වැඩක් නෑ..

ඇය කියන්නෙ හූල්ලමින්.

‘නෝනට තිබුනා මට කියන්න…

‘මොකද්ද?

‘උපාධියෙන් රස්සාවක් කරන්න ආසයි කියලා.

‘එහෙම කිව්වට වැඩක් නෑ. ඒ විදියටම සුනේත්‍රත් කිව්වනේ. ඉතින් මහත්තයා එයාව බැන්දෙ නෑනේ. මම එහෙම කිව්වා නම් මහත්තයාට කලින් අපේ අප්පච්චි මාව එලියට ඇඳලා දාලා. දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.. මට යන්න බැරි වුනු තැනට අපේ දරුවෝ යැව්වා. ඒ ඇති මට…

සුනේත්‍රා එහෙම කිව්වේ ඇස් වල කඳුලු පුරෝගන. මම ගැන මට සෑහෙන්න කල කිරුනා. ගෙවුනු කාලය ආයෙත් ගන්න බැරි වුනත් කුමාරිගෙ ජීවිතේට මම මොන තරම් බලපෑම් කරලද? ඒකත් ආදරේ නාමයෙන්..

‘මට සමාවෙන්න කුමාරි..

මම කුමාරිගෙ අතින් අල්ලාගෙන කියද්දි ඇය කඳුලු අතරින් හිනා වුනු. අවුරුදු ගානක් ගෙවිලා ගිහින් ඇයට ඇයගේ හීන වලට යන්න බැරි වුනත් මේ අවුරුදු ගානකට මම නොදැකපු සැනසිලි සහගතම හිනාව මම ඇයගේ මුහුනෙන් දැක්කා.

‘මම දැනගෙන උන්නා මැරෙන්න මොහොතක් තියල හරි මහත්තයාට ඒක තේරෙයි කියලා. පුතා කෝල් කලා. එයාට අපිව බලන්න ඕනෙලු. ටිකක් කල් ඉන්න බලන් එන්න කිව්වා. අපේ දරුවෝ නරක නෑ මහත්තයා. උන් අපි වගේ නෑ.හැම අතින්ම දියුණුයි…  එච්චරයි…

කුමාරි කියද්දි මම ඇයගේ උරහිසට වටේට අතක් දාලා මගේ ළඟට අරගත්තා.

‘එහෙනම් එහෙ ගිහින් දැන් මුණුපුරාටත් විද්‍යාව උගන්නන්න පුලුවන් නෝනට..

මම එහෙම කියද්දි ඇය ආඩම්බරයෙන් හිනා වුනා. ඒ හිනාව මම ඒ විදියට මීට කලින් දැකපු එකම එක තැනක් තියෙනවා. ඒ තමයි කුමාරිගෙ උපාධි ප්‍රධානෝත්සය. ඒ හිනාවෙන් ඇය අදත් හිනා වෙනවා. මම සැනසුම් සුසුමක් හෙලුවා ඇය දිහා බලාගෙනම.

තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter