Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

පොකැට් සිනමාවේ දෙකඩහාල් ! කලාවට මග ඇරුනු උන් එක්ක

අපේ අම්මා තාත්තා ද සිනමා ශාලාවට යා යුතුය, ඔවුන්ට යාමට හැකියාවක් නැත්නම් මා සිනමා ශාලාවක් ගෙදරට යාබද තැනක සකසා දිය යුතුය.

කොලොම්පුරේ ට ම සීමා වූ ලාංකේය නූතන නාට්‍ය කලාව,ලාංකේය සිනමාව එකම ප්‍රේක්ෂකාගාරයක් වින්දනයට පත්කරයි. වසරකට කැළණිය විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය, ටවර්හෝල් ඩිප්ලෝමා එකී නොකී බොහෝ උසස් අධ්‍යාපන ආයතන වලින් නාට්‍යකරුවෝ නැතහොත් කලාවට ආදරය කරන උන් සිය ගණනක් කලඑළි බසී. අදට අනුව ඔවුන් කලාව කරන්නට නම් කොළඹ සිටිය යුතුමය.අද්‍යතනය වන විට දී ශිල්පීන් බිහි වන්නේ කොළඹට යහපත තැනක ස්ථානගත වූ විටෙක පමණකි.

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමය තුළ සෞන්දර්ය විෂයයන් තුළ ශිල්පීන් බිහි කිරීමට අවශ්‍ය පසුබිම කිසි මොහොතක සකසා නැත.ගම් මට්ටමෙන් ශිල්පීන් බිහි කිරීමට අවශ්‍ය වටපිටාව ගම තුළ සැකසී නැත.එසේනම් පාසල තුළ, ගම තුළ ශිල්පීන් බිහි කිරීම දැන් අප ආරම්භ කළ යුතුව ඇත. එමෙන්ම කොළොම්පුරයට සහ නගරයට කේන්ද්‍රගත වූ වේදිකා නාට්‍ය කලාව සහ සිනමා කලාව ගමට ගෙන ආ යුතුය. කලාව රට තුළ තව දුරටත් ජනගත කළ යුතුය.

අද්‍යතනයේ දී වේදිකා නාට්‍ය,සිනමාව නරඹන එක්තරා ප්‍රේක්ෂකාගාරයක් සෑදී තිබේ.නමුත් ගම් නියම් ගම් සිසාරා ඒ සියලු ප්‍රේක්ෂකයින් එකම පිරිසකි. සෑම නගරයකම සිනමා ශාලාවක් තිබුනත් ඒ සිනමා ශාලා භාවිත කරන්නේ ද එකම පන්තියේ පිරිසකි. 

මගේ අම්මාට හෝ තාත්තාට සිනමා ශාලාවකට ගොස් සිනමා නිර්මාණයක් බලා රස විඳීමට විවේකයක් නැත.විවේකයක් තිබුනත් පවතින සමාජ ක්‍රමය තුළ ඊට වඩා වැඩ ඇත. ඉතින් අපේ අම්මා තාත්තා ද චිත්‍රපට, සිනමා ශාලාවකින් බැලිය යුතුය .වේදිකා නාට්‍ය රංග ශාලාවකදී නැරඹිය යුතුය.

පැහැදිලිවම අද්‍යතනය වන විටදී සිනමාවට සහ වේදිකා කලාවට මග ඇරුණු ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ ජීවත් වෙයි. 

ඉතින් පොකට් සිනමා නම් භාවිතාව අපේ අම්මා තාත්තාට නිදහසේ චිත්‍රපටයක් බැලීමේ අවස්ථාව සලසා දීමට ය, පාසල තුළ , ගම තුළ, ශිල්පීන් බිහි කළ හැකිය යන සංකල්පය යථාර්තයක් කරවිමට ය. ඒ නිසාම පොකැට් සිනමා නමින් ගමට සිනමා ශාලාවක් සංකල්පය යටතේ ගමින් ගමට චිත්‍රපට අරගෙන යන්නට මම ඇතුළු අපේ කණ්ඩායම සූදානම් වෙමූ.මේ වන විට ගම්මාන කිහිපයක අප පොකට් සිනමා ජංගම සිනමා ශාලාව ස්ථානගත කොට හමාරය. මෙහිදී කෙටි චිත්‍රපට නිර්මාණ පහක් පලමු පියවර ලෙස විවිධ පාසල් විවිධ ගම්  සමඟ  නිර්මාණය කල අප ඒ කෙටි සිනමාපට දේශීය සහ විදේශීය වශයෙන් ඇගයීම් ලබන්නට ද සමත් විය.ඒ අතර අන්තර්ජාතික කෙටි සිනමා උළෙලවල් තුනක අවසන් වටය නියෝජනය සහ සම්මානයට පාත්‍ර වීම.Agenda 14 කෙටි චිත්‍රපට උළෙල තුළ අවසාන වටයට සුදුසුකම් ලැබීම ආදී බොහෝ ඇගයීම ප්‍රමාණයක් මේ මොහොත වන විටත් pocket cinema අප අත්පත් කර ගත්තෙමු. කෙසේ වෙතත් පොකට් සිනමා මෙම චාරිකාවේ වර්තනීය ස්ථානයක් ලෙස දෙකඩහාල් සිනමාපටය හැඳින්විය හැකිය.

මෙම සිනමාපටය මාගේ ප්‍රථම වෘතාන්ත සිනමාපට අධ්‍යක්ෂණයයී. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රසාද් දේවින්ද ගුරුගේ සහෝදරයාය.නිෂ්පාදන දායකත්වය පිළිබඳ කතා කිරීමේදී, කුමාරී බණ්ඩාර මැතිණිය වගේම හඳුනන නොහඳුනන මුහුණුපොතේ බොහෝ අයවලුන්ගෙන්ද කන්තලේ මොරවැව ප්‍රදේශවල කලාවට හිතැති අයගේද කර මතින් නිර්මාණය වූ බව පසක් කල යුතුමය.සිනමාපටය මුළුමනින්ම ගම්මානයකින් නිර්මාණය වූ සිනමා පටයකි.

ලාංකීය අධ්‍යාපන ක්‍රියාවලියේ සම්පත් බෙදී යාමේ විෂමතාවය සහ ජනප්‍රිය පාසල් කලාවේ රියලිටිය මත මග ඇරුණු පුංචි උන් ගැන කතිකාවතකට මේ සිනමා පටය හරහා ප්‍රේක්ෂක ඔබට ආමන්ත්‍රණය කරයී.pocket cinema කණ්ඩායමේ ආදරණීය සහෘදයන් සමග මාස දෙකක පෙර සූදානම් වීමකින් අනතුරුව මේ වන විට සම්පූර්ණයෙන්ම රූපගත කිරීම් අවසන් කොට ඇත. මෙම සිනමා නිර්මාණය සඳහා සම්පූර්ණ රංගන දායකත්වය ලබා දෙන්නේ ගමක බාල මහලු වැඩිහිටි අයවලුන් විසිනි.එම ක්‍රියාවලිය අතිශයින්ම සුන්දරය ඒ තරමටම භාරදූර ය.

විශේෂයෙන් මොරවැව දකුණු සිංහල සිංහල විද්‍යාලය සහ බණ්ඩාරනායක විද්‍යාලය, කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වල අධ්‍යාපනය ලබන පුංචි කලාකරුවෝ රැසක් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය දක්වනවා ඇත..මෙම රංගන ශිල්පීන් ශිල්පිනියන් දෙස බලන කල්හි මට ඔබට අධ්‍යක්ෂවරයා හැටියට කියන්නට යමක් ඇත.ලාංකේය කලා භාවිතාව තුළ නළු නිළියන් කොලොම්පුරේ රූපවාහිනී වැඩසටහන්වල ම පමණක් නොව. දුෂ්කර යැයි හංවඩු ගසනා ගම්මානවල කුඹුර කොටමින් ද සිටිය හැක, එසේත් නැතිනම් ගමේ හන්දියේ බෝක්කුවක් මත මතදී බීඩි සුරුට්ටුවක් උරමින් ද සිටිය හැක.මෙහි බරපතළම අවස්ථාව නම් සෞන්දර්ය විෂයයන් තුන වෙනුවෙන් සංගීත ගුරුවරියක් පමණක්ම සේවය කරන පාසලක ද විශිෂ්ට රංගන ශිල්පියෙක් හිටිය හැක.මෙම සිනමා පටය හරහා වෘතාන්ත චිත්‍රපටයක සිහිනය පොකට් සිනෙමා කණ්ඩායම සැබෑ කර ගන්නවා සේම ගම්බද කලාකරුවන් රැසක් අනාවරණය කරගැනීමට ද හැකි විය. චිත්‍රපටය සාර්ථක අසාර්ථක තාවය කෙසේ වෙතත් එය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කණ්ඩායමක් ලෙස මා හිමිකර ගත් ජයග්‍රහණයක් ලෙස මට සිතේ.

ඉතින් නුදුරේදීම ගමට සිනමා ශාලාවක් රැගෙන ඔබේ ගමටත් පැමිණීමේ බලාපොරොත්තුවෙන් මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටිමු.

අවසාන වශයෙන් දෙකඩහාල් එක්ක පොකැට් සිනමා ශාලාවේදී. හමුවෙමු.

මම දමිත් අලුත්ගම !

Sign up for our newsletter