Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

බරණ දැකපු අපි නොදැකපු බුදුන්

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීමේ ආරම්භය පිළිබදව  පැහැදිලි සාක්ෂි නොමැති වූවද ඉතිහාසය සහ වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ. තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. අනුරාධපුර යුගය ශ්‍රී ලංකාවේ දැවැන්ත කලා නිර්මාණ බිහිවූ කාල පරිච්ඡේදය ලෙස නම් කිරීම නිවැරදි යැයි හැගෙන්නේ  

ක්‍රි.ව. 5 වන සියවසේ රජකල ධාතුසේන රජතුමන්ගේ (ක්‍රි. ව. 459 – 477)  නිර්මාණයක් ලෙස සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වීම නිසාමය. අවුකන බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ වියතුන් විශ්වාස කරනවා. සාමාණ්‍ය බුදු පිළිමයක උස දහ අට රියනක් වූවත් අවුකන පිළිමය ඊට වඩා උසින් යුක්තවීම එයට හේතුව විදියට සදහන් කිරීමට හැකි බවත් අනෙක් අතට මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන බැවින් එමගින්ද පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බවත් විද්වතුන්ගේ මතයයි.

බුදුන් වහන්සේගේ දස බලධරී ගුණයත්, නොසැලෙන ගුණයත් අකම්පිත ගුණයත්, කරුණා ගුණයත් මහා කලු ගලකින් මතු කරගත් බරණ නම්වූ මූර්ති ශිල්පියාට කොයි තරම් නම් ඉවසීමක් තිබෙන්නට ඇත්ද. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂනත්, උත්තුංග දේහ විලාසයත් එකට කැටි කොට කළු ගලක ජීවමාන අයුරින් වැඩ සිටින බුදුන් නිර්මාණය කරන්න ඔහු බුදුන් දකින්න ඇති. අවුකන පිළිමයේ ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිංදු පා දෙකට හරි මැදින් වැටීමයි. මෙහි විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන අනෙක් කාරණා නම් සිවුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වය සහ කළු ගලක් තුළන් ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරයයි.  

උස අඟල් 108ක් හෙවත් තාල නවයක් වන අවුකන පිළිමය සමභංග ක්‍රමයට තනා තිබේ. එනම් ශරිරයේ බර දෙපා වලට සම සමව බෙදී යනසේ ශරිරය කෙලින් තබාගෙන සිටින ලෙස නිර්මාණය කර තිබීමයි. දකුණු අතින් අභය මුද්‍රාවත් වම් අතින් සිවුර අල්ලාගෙන ඉන්නා ආකාරය දැක්වෙන කටක මුද්‍රාවෙන් යුක්ත වන නිසා මෙය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයක් යැයි වියතුන් සදහන් කරයි. බුදුන්වහන්සේගේ ‍ලෝකෝත්තරත්වය මැනවින් පිළිඹිඹු වන ලෙස අවුකන ප්‍රතිමාව නිර්මාණය කර ඇත. 

ගුරුගෝල ද්වන්ධ සටනක නිරත වෙමින් නිර්මාණය ප්‍රථමයෙන්ම අවසන් කරන ගෝලයාවූ බරණ අවුකන පිළිමයද ගුරා රැස්වෙහෙර පිළිමයද ඉදිකල බව ජනප්‍රවාදයේ ඇත. රැස්වෙහෙර පිහිටා ඇත්තේ අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින්ය. තම ගෝලයාට තමා පරාජයට පත්වූ බව හැගී එම සිත් තැවුලෙන්ම  බරණගේ ගුරුවරයා රැස්වෙහෙර පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත් ජනප්‍රවාදයේ ඇත. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රෝහියර් නැමති මිනින්දෝරුවා අවුකන ප්‍රතිමාව හදුන්වන්නේ “ලොව මිනිස් අතකින් නිර්මාණය කළ විශිෂ්ඨ කලා නිර්මාණය” ලෙසයි.

අවුකන ප්‍රතිමාවට සිවුරු පූජා කල යුතුද ? 

අවුකන බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂීවු සිවුරක් බරණ විසින් පූජාකර ඇති බව දෑස් විවර කර බලන ඕනෑම අයෙකුට දැකගත හැකියි. තවද  ඉතා සියුම්ව පොරවා ඇති චීවරය තුළින් ශරීරාංග මනා ලෙස ඉස්මතු කොට දක්වා ඇත. සිවුර ඒකාංශ කොට පොරවා ඇත. වම් අතින් සිවුරේ රැල්ල අල්ලා සිටී. මේ ආකාරයට අවුකන බුදු රුවට ගලින් කරන ලද සිවුර පූජා කරන්න බරණ විසින් කොයිතරම් නම් වෙහෙසක් දරන්න ඇත්ද. විශ්මිතවූ නිර්මාණයක් කල ඔහු අද සිටියා නම් මේ සිවුරු ඇන්දීම දැක ඔහු වස පානය කරනවා නොවනුමානයි. 

සංචාරක කර්මාන්තයේ අවසානයේ ආරම්භයද ?

විවිධ රටවල මිනිසුන් රටකට ඇදී එන්නේ ලෝකයේ ඇති විශ්මිත නිර්මාණයන් දැක බලා ගැනීමටය. ඒ අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ අනුරාධපුරයේ අවුකන, සමාධි ප්‍රතිමා සහ දැවැන්ත ස්තූප පොළොන්නරු ගල් විහාරය, ලංකාතිලක පිළිම ගෙය, වටදාගෙය, සීගිරිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණයන් දැක ගැනීමටය. අප මේ පිළිම වලට සිවුරු පූජා කිරීමට ගියහොත් එක් පැත්තකින් සංචාරක කර්මාන්තය බිද වැටීමට තිබෙන ඉඩකඩ වැඩිය. ඒ සිව්රු වලින් බුදු පිළිමය වැසීයන හෙයින් සංචාරකයා එය දැකබලා ගැනීමට නොහැකි වේයැයි දෙවරක් සිතන නිසාය. තවත් පැත්තකින් මෙසේ සිවුරු පූජා කිරීම දිගින් දිගටම සිදු වුවහොත් ඒ ලෝක උරුමයට කිසියම් හෝ හානියක් සිදු උවහොත් එහි වගකීම බාරගන්නේ කව්රුන් විසින්ද යන්නයි. 

විශිෂ්ට ප්‍රතිභාපුර්ණ නිර්මාණශිලිත්වය පිළිඹිඹු කරන අවුකන ප්‍රතිමාව සෞන්දර්යාත්මක නිර්මාණයක් ලෙසට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් රට වල පවා අවදානය යොමුවී ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට සහ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවට ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයක්වූ මෙය ආරක්ෂා කිරීමට මීට වඩා වගකීමක් තිබිය යුතු බවයි මාගේ පෞද්ගලික මතය. 

මහගම සේකරයන් දුටු අවුකන 

ඉහල නිල්වන් අහස ‍විනිවිද…නැගෙන ඔබගේ යෝධ බුදු බණ

මගේ නෙත සිත මෝහනය කර…මගේ කුදුබ‍ව පසක් කර ඇත

අපි පුද පූජා පවත්වමු, කඨිණ පිංකම් පවත්වමු නමුත් අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමු. 

තුෂාර පෙරේරා

Sign up for our newsletter