Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

බිලේශා විජේරත්න

කලා ලෝකයට පායා දීර්ඝ කාලයක් වුනත් නිර්මාණ තුලින් නිතර ඇයව අපට දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඉතා සීමිත ජනප්‍රසාදයට පත් විශේෂ නිර්මාණ කිපයකින් ප්‍රේක්ෂක හිතේ සදා රැදි ඉන්නට ඇය සමත් වුනා. කූඹියෝහි සුදු නංගි, යං ටෙලිනාට්‍යයෙහි නන්දනි, ශ්‍රී සිද්දාර්ථ ගෞතම ටෙලිනාට්‍යයෙහි බද්‍රා කුමරිය සහ මෑතකදි විකාශනය වු වීදුරු මල්හි බිනුරි වැනි ලාංකික ටෙලි නාට්‍යය අඹරේ ඉතා ප්‍රසිද්ධියට පත් නිර්මාණයන් තුලින් ඇය පෙන්නුම් කල රංගන හැකියාවන් අප කෙසේ අමතක කරන්නද?

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි නාට්‍යය හා රංග කලාව විශේෂවේදී උපාධියකට හිමිකම් කියන ඇය එහිදි උගත් දැනුම, වෘත්තීමය වශයෙන් සේවය කරමින් ලාංකික දරු දැරියන් හට බෙදා දිමේ වගකිම ඉතා මැනවින් ඉටු කරනවා.

රංගන විෂයෙහි උගත්කම සහ ගායන, නර්තන දක්ෂතාවයන් මෙන්ම ඇය තුලින් දකිනා විශේෂ ලක්ෂණක් වන්නේ කරුණාවන්තකමයි. දරු දැරියන් වෙනුවෙන් සේවය කරන ගමන් සතුන් වෙනුවෙන්ද තමන්ගේ වටිනා කාලය වෙන් කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වි වැඩ කිරිම ඇයගේ අප දකිනා තවත් විශේෂත්වයක් වෙනවා.

මෙවර අපි Magazine හරහා විස්තර ගෙන එන්නට අප සම්බන්ධ කර ගන්නේ කලා ලෝකයෙහි රංගන ශිල්පිනියන් අතර ඉතා වෙනස් ලස්සන ඇස් දෙකක් හිමි අහිංසකාවිය බිලේශා විජේරත්නයි.

🔸බිලේශා මේ දවස්වල මොනවාද කරන්නේ? ප්‍රේක්ෂක අපට ඔබව වැඩිය දකින්න නැත්තේ ඇයි?

මම රංගන ක්ශේත්‍රයට සම්බන්ධ වෙලා දැනට අවුරුදු නමයක් විතර වෙනවා නමුත් මම ඉතාම සිමිත නිර්මාණ ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙන්නේ.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංග කලාව විශේෂවේදී උපාධිය හදාරලා අවසන් කලාට පස්සේ මට පුලුවන් වුනා වැඩිපුර කාලයක් රංගන කටයුතු සදහා වෙන් කර ගන්න. වෘත්තීය රංගන ශිල්පිනියක් වශයෙන් අවුරුදු කිපයක්ම මම වැඩ කලා නමුත් පසුව මම තීරණය කලා ස්ථිර රැකියාවක් කරන්න. මම දැනට සපුගස්කන්ද මහා විද්‍යාලයේ සේවය කරනවා. මට නිවාඩු ලැබෙන ආකාරයට තෝරා ගත් ඉතාම සීමිත නිර්මාණ කිපයකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා.

🔸පහුගිය වකවානුවේදි ඉතා සාර්ථකව නිමාවු වීදුරු මල් සමග ගෙවුන කාලය කොහොමද?

චාමර ජනරාජ් පීරිස් මහතාට මාව හදුන්වා දුන්නේ වීදුරු මල් ටෙලිනාට්‍යයෙහි කලා අධක්ෂණය කල මලිත් පීරිස් අයියා. චාමර අයියා බිනුරි කියන චරිතයට මාව තෝර ගත්තා. ඔහු ඉතාමත් සුහදශිලි කෙනෙක්. ඔහු සමග වැඩ කටයුතු කරන්න හරිම පහසුයි. ඒවගේම ධනංජය අයියා ඇතුලු වීදුරුමල් ටෙලිනාට්‍යයෙහි මා සමග වැඩ කරපු සියලුම රංගන ශිල්ප, ශිල්පිනියන්ගෙන් සහ ටෙලිනාට්‍යය කණ්ඩායමෙන් මට විශාල සහයෝගයක් ලැබුනා.

වීදුරු මල්හි බිනුරිගේ චරිතයට මට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කරනකොට රූපවාහිනියක් බලලා කෙනෙකුව මතක තියා ගන්න පුලුවන් වෙයි කියලා හිතන් නැති තරම් ඉතාම කුඩා වයසක දරුවෙක් මාව දැකලා අදුන ගෙන මට කතා කලා. එය මට මෑත කාලයේදි වුන අමතක නොවන සිදුවිමක් වෙනවා. ඉතින් මම හිතනවා බිනුරිගේ චරිතයට මම සාධාරණයක් කලා කියලා.

🔸ඉදිරියේදි රංගනයෙන් දායකවන්නට කැමති, හමු වෙනකම් බලාගෙන ඉන්න චරිතයක් තියනවාද? ඒවගේම ඔබ සම්බන්ධ වි වැඩ කරන්න කැමති අධක්ෂණකවරයෙකු ඉන්නවාද?

මම හරිම කැමති විවිධ ශෛලියේ චරිතයන් සදහා දායක වෙන්න. දැනට මම සම්බන්ධ වෙලා වැඩ කරපු සහ වෙනත් දක්ෂ අධක්ෂකවරුන්ගේ නිර්මාණ සදහා අවස්ථාව ලැබුනොත් තෝරාගෙන භාර ගන්නවා.

🔸ඔබ ආදරවන්තියක් ද? නැතිනම් ඔබ හොයන ආදරවන්තයාව කොහොම කෙනෙක්ද?

මම ආදරවන්තියක් වෙලා ඉදලා තියෙනවා නමුත් මම දැන්නම් ආදරවන්තියක් නෙවෙයි. මම විශේෂ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ආදරය තේරුම් ගන්න පුලුවන්, මට ආදරය කරන කෙනෙක්ට මම ආදරය කරනවා.

🔸බිලේශා ගැන ප්‍රේක්ෂක අප නොදන්නා දෙයක් කියන්න කිවුවොත්…

මම සතුන්ට හරිම කැමතියි. පාරවල්වල ඉන්න අසනිප සත්තු ගෙදර ගෙනල්ලා මම බෙහෙත් කරනවා. දැනට මගේ ගාව පාරේ ඉදපු, ගෙවල් වලින් එපා කියලා අයින් කරන්න හදපු සාමාන්‍ය අහිංසක පුස් පැටව් කිපදෙනෙක් ඉන්නවා. මම දැනට කුලි නිවසක ජිවත් වන නිසා බලු පැටව්ව ගෙදර හදන්න අපහසුයි. ඉතින් පාරේ ඉන්න බලු යාළුවන්ට කෑම දීලා එයාලා ගැන බලනවා.

මම සතුන්ට ආදරෙයි, එයාල එක්ක කාලය ගත කරන්න කැමති ඒ නිසාම පහුගිය කාලයේ කඩවත Dr Pet සත්ව රෝහලෙහි සේවය කලා. එහිදි එයාලව හසුරුවා ගන්න, බෙහෙත් කරන්න වගේ දේවල් ඉගෙන ගත්තා. ඒවගේම විශාල අත්දැකීමක් ලබා ගත්තා. ඇත්තටම සතුන් බලා ගන්න එක මම හිතුවට වඩා සෑහෙන්න වගකීමකින් කරන්න ඕනේ කාර්ය්‍යක් වෙනවා. විශේෂයෙන් ලෙඩ උන සතුන් බලාගන්න එක අවධානයෙන් කරන්න ඕනේ. ඉතින් Dr pet හි වෛද්‍යවරු සහ කාර්‍යමණ්ඩලය විශාල කැපකිරිමක් ඒ වෙනුවෙන් කරනවා. තවත් රැකියාවක් කරන ගමන් මට එච්චර කැපකිරීමක් කරන්න අසීරු නිසා මම එතනින් අයින් උනා.

🔸ඔබගේ ගීත ගායන සහ නර්තන හැකියාව පිළිබදව මතක් කරමුද?

මම සුමන බාලිකාවෙහි අධ්‍යාපනය ලබන කාලයේදි නාට්‍යය, සංගීතය සහ නර්තනය තරගවලට සහභාගි වුනා. මම කථක් නර්තනය පිලිබඳ සාදර සුපැතුම් පීරිස් අයියා යටතේ ඉගෙන ගත්තා. සංගීත තරගවලින් මුළු දිවයිනෙන්ම පළවෙනි ස්ථානය ලබා ගත්ත අවස්ථාවන් තියනවා. දැනට අවුරුදු කිපයකට කලින් ජිනිදු ප්‍රවින් අයියා සමග දියමල නමින් ගීතයක් ගායනා කලා. ඒවාගේම තව ගීත නිර්මාණයක් සදහා මෙම දිනවල සුදානම් වෙමින් ඉන්නවා.

🔸ඔබේ තනි නොතනියට ඔබේ ලගින් හැමදාම ඉන්න පවුලේ අය ගැන මතක් කරමුද?

මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අයියයි, අක්කයි, මමයි. ඒවගේම මම ආදරයෙන් බලා ගන්න මගේ පූස් යාළුවෝ ටිකකුත් අපේ ගෙදර ඉන්නවා.

කලා වැඩ කටයුතු හැමදේකටම විශේෂයෙන්ම අම්මා මට උදව් කරනවා. අම්මාට කොච්චර ‍වැඩ තිබුනත් හැමදාම වගේ මගේ වැඩ කටයුතුවලට මූලිකත්වය දෙනවා. මගේ පවුලේ හැමෝම මම ආදරයෙන් මතක් කරනවා.

🔸බිලේශාව අපට ඉදිරියේදී දකින්නට ලැබෙන නිර්මාණය මොනවාද?

මම රංගනයෙන් දායක වුන ලෝචන සෙනෙවිරත්න මල්ලි අධක්ෂණය කරපු Second shy web series එක මෙම දිනවල විකාශනය වෙනවා. අනුෂ්ක ඉදුනිල් මෙම web series එකෙහි නිශ්පාදකතුමාගේ Youtube channel එක හරහා ඔබට එය නරඹන්න පුලුවන්.

අනුජ ප්‍රියභානු මහතාගේ ටැක්සිකාරයා ටෙලිනාට්‍යය ඉදිරියේදි විකාශනයවිමට නියමිතව තියනවා. තවත් කෙටි චිත්‍රපට සහ නිර්මාණය කිපයක් විකාශනයවිමට නියමිතයි නමුත් මම කලින් කියපු විදියට මගේ රැකියාවේ කාර්යබහුලත්වය නිසා නිර්මාණ බොහෝමයකින් නම් මාව ඉදිරියේදි දකින්නට නොලැබේවි.

අමා නාකන්දලගේ

Sign up for our newsletter