Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

මීපැණි සත්කාරය

මීපැණි පිළිබඳව නොදන්නා අයෙක් සිටිය නොහැක. මී පැණි යනු එතරම් ම ජන ජීවිතය හා සබැඳි වටිනා ඖෂධයකි.  එහි ඇති අගනා ඖෂධීය ගුණය නිසා ම විවිධ රූපලාවණ්‍යය නිෂ්පාදන සඳහා ද භාවිතයට ගැනේ. එහෙත් සැබෑ ලෙස ම මීපැණිවල ඇති ඖෂධීය ගුණය එම නිෂ්පාදනවල අඩංගු වී ඇති දැ යි අප නොදන්නා නමුත් , නිවසේ දී ම අප කරන රූපලාවණ්‍යය සත්කාර සඳහා මීපැණි භාවිතයෙන් වඩා ඉක්මන් සහ ප්‍රතිඵලදායී සත්කාරයක් ලබාගත  හැකි වේ. ඉතින් සුපුරුදු රූපලාවණ්‍යය ලිපිපෙළින් අද මී පැණි භාවිතයෙන් නිවසේ දී ම ඔබේ රුව වඩවාගැනීමට කළ හැකි සත්කාර පිළිබඳව දැනුවත් වෙමු. 

මීපැණිවල ඉතිහාසය පාරාවෝ රජ දවස දක්වා දිවෙන අතර එහි ඇති මහඟු ගුණාත්මක බව ඔබේ සමට, ශරීරයට ඉමහත් පෝෂණයක් සහ නීරෝගීබවක් එක් කරනු ඇති. 

*) පිරිපුන් සුන්දර දෙතොලක් සඳහා : 

දෙතොල් අවපැහැගනීම, වියළී ම සහ දෙතොල් පැලීම වැනි ගැටළු සඳහා මීපැණි යනු මහත් ප්‍රතිඵලදායක ඖෂධයකි. දිනපතා රාත්‍රි නින්දට පෙර දෙතොලේ මී පැණි ආලේපකර එහි ම වියැළෙන්නට තැබීමෙන් උදෑසන ඔබට වේදනාකාරී තොල් පැලීම් සුවකරගැනීමට සහ දෙතොල මෘදු හා වියළි බවින් තොරබව අත්දකින්නට හැකිවනු ඇත. මෙය දිනපතා කිරීමෙන් ඔබේ දෙතොලේ අවපැහැයත් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ඉවත් වී යනු ඇත. විශේෂයෙන් ම ශීත සෘතුවේ දී බොහෝ දෙනෙක් මුහුණපාන දෙතොල් පැලීම සහ වියළීමට ද මීපැණි ඉතා ම පහසු සහ ඉක්මන් විසඳුමකි.

*)කුරුළෑ සඳහා :

මීපැණි යනු කුරුළෑ සඳහා සාර්ථක ප්‍රතිකර්මයකි. කුරුළෑවක් හටගත් දිනයේ ම මුහුණ පිරිසුදු කිරීමෙන් අනතුරුව රාත්‍රි කාලයේ දී කුරුළෑව මත මී පැණි බිඳුවක් ආලේප කර කුඩා බැන්ඩේජ් කැබැල්ලකින් ආවරණය කර නින්දට ‍යන්න. පසුදා බැන්ඩේජ් කැබැල්ල ප්‍රවේශමින් ඉවත්කර මුහුණ පිරිසුදු කරන්න. 

*) දීප්තිමත් සමකට:

රාත්‍රී නින්දට පෙර මීපැණි මේස හැන්දකට ස්වාභාවික කෝමාරිකා මද මේස හැඳි දෙකක් මිශ්‍රකර පිරිසුදු කරගත් මුහුණේ ආලේප කර නින්දට යන්න. පසුවදා පිරිසුදු වතුරෙන් සෝදාහැර තෙත මාත්තු කරන්න. දිනපතා මෙම සත්කාරය කිරීමෙන් ඔබේ සමෙහි  සිදුවන වෙනස අත්විඳ බලන්න .

*)නීරෝගී කෙස් කලඹක් සඳහා:

Chamomile tea සමඟ මීපැණි කළවම් කර හිස් කබලේ සහ කෙස්වල තැවරෙන පරිදි ස්ප්‍රේ කරන්න. හොඳින් සම්බාහනය කිරීමෙන් අනතුරුව මඳ උණුසුමැති තුවායකින් හෝ shower cap එකකින් ආවරණය කර ටික වේලාවක් තිබෙන්නට හරින්න. දීප්තිමත් නීරෝගී කෙස්කලඹක් ලබාගැනීමට මෙම සත්කාරය සතියකට කිහිපවරක් කරන්න. 

*) බ්ලැක් හෙඩ්ස් සඳහා : 

රාත්‍රි කාලයේ දී නින්දට පෙර මීපැණි සහ ලෙමන් යුෂ එකට මිශ්‍රකර මුහුණේ black heads ඇති ප්‍රදේශවල ආලේප කර තබන්න. පසුවදා උදෑසන සෝදාහරින්න. පහසුවෙන් සහ ස්වාභාවිකව ම බ්ලැක් හෙඩ්ස් ඉවත්කරගැනීමට හැකිවනු ඇත. 

*) තුවාල කැළැල් ඉවත් කරගැනීමට. 

ශරීරයේ ඇති ලප කැළැල් ඉවත්කරගැනීමට ද මීපැණි උපකාර කරගතහැක . දිනපතා රාත්‍රී නින්දට පෙර කැළැල් මත ආලේප කර පසුවදා සෝදාහරින්න. 

ඉතින් දිව්‍ය ම ය ගුණ ඇති මීපැණි අඩංගු සත්කාර තුළින් ඔබේ රුව රැකගැනීමට , රුව වඩවාගැනීමට හැකිවනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. ඉතින් සුබ දවසක් ඔබ හැමට ම පතමින් නැවතත් මෙවැනි ම ලිපියකින් ඔබ හමුවීමට බලාපොරොත්තු වනවා!!

Sameera Jayasinghe 

Sign up for our newsletter