Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

මුළු ලෝකයේම අනාගතය තීරණය වන තීරණාත්මක 2024

මුළු ලෝකයේම අනාගතය තීරණය වන තීරණාත්මක 2024

2024 වර්ශය කියන්නේ “මැතිවරණ වසරක්”. ශ්‍රි ලංකාවට නම් ඒක එහමයි කියලා අපි දන්නවා.  ලංකාවේදී නම් අනිවාර්යයෙන්ම 2024 වසරේ ඉදිරි මාස කිහිපය තුල ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නට නියමිතයි. ඒ වගේම දැනට පවතින තත්වය අනුව වසර අවසාන වීමට ප්‍රථමයෙන් මහ මැතිවරණයකුත් පැවැත්වේවී. ලංකාවේ ජනතාව නම් පුල පුලා බලා ඉන්නේ එලැඹෙන මැතිවරණ දෙකේදී ලංකාවට නව ජනාධිපතිවරයෙකුත් නව රජයකුත් තෝරාපත් කර ගන්න.

හැබැයි අද අපි කතා කරන්නේ ලංකාව ගැන නෙමෙයි. මුළු ලෝකයම ගැන. 2024 වසර මුළු ලෝකයටම “මැතිවරණ වසරක්” වෙනවා. එහෙම කියන්නේ මේ වසර තුල ලෝකයේ ප්‍රබලතම රටවල් කිහිපයක් ඇතුළු රටවල් 60 කට අධික සංඛාවක ප්‍රධාන පෙලේ මැතිවරණ පැවැත්වෙනවා. ඒ මැතිවරණ සඳහා ලෝක ජනගහනයෙන් 50% ආසන්න සංඛාවක් සිය ඡන්දය ප්‍රකාශ කරලා හෝ කිරීමට නියමිතව තිබෙනවා. මේ වසර තුල ලංකාවේ පැවැත්වෙන මැතිවරණ වල ප්‍රථිපල ලංකාවේ අනාගතයට කොතරම් වැදගත් වේද ඒ තරමටම ලෝකයේ සමහර රටවල පැවැත්වීමට නියමිත මැතිවරණ වල ප්‍රථිපලත් ලංකාවේ අනාගතයට ඉතා තදින් බලපානවා. 

ඒ නිසා ලොව පුරා පැවැත්වීමට නියමිත මැතිවරණ මොනවාද යන්න විමසා බැලීම අපිට සෑහෙන්න වැදගත් වෙන්න පුළුවන්. ලංකාවට පමණක් නෙමෙයි ලොව සමහර රටවල පැවැත්වීමට නියමිත මැතිවරණ වල ප්‍රථිපල අනුව මේ වන විට ඉතා ප්‍රබලව ඇදෙමින් යන රුසියානු – යුක්රේන යුද්ධය වගේම ඊශ්‍රායල් – පලස්තීන යුද්ධයේ ප්‍රතිඵලත් තීරණය වේවි කියන එක තමයි ලෝක දේශපාලන විචාරකයන්ගේ මතය වෙන්නේ. මේ ගෙවෙන්නේ 2024 අප්‍රේල් මාසය. ගොඩාක් අය දන්න විදියට ලෝකයට වගේම ලංකාවටත් සැලකිය යුතු බලපාන ප්‍රබල මැතිවරණ කිහිපයක් මේ වන විටත් පවත්වා අවසන්.

ඒ අතරින් වැදගත්ම මැතිවරණය ලෙස රුසියානු ජනාධිපතිවරණය සලකන්න පුළුවන්. එම මැතිවරණයෙන් හිටපු ජනාධිපති වැල්දිමීර් පුටින් නිතරඟයෙන්ම නැවත එරට ජනාධිපතිවරයා ලෙස තේරීපත් උනා. ලංකාවට බලපාන තවත් අසල්වාසී රටවල් දෙකකම මැතිවරණ පසුගිය මාස දෙකෙහි අවසන් උනා. ඒ පකිස්ථානයේ හා බංගලිදේශයේ. පකිස්තාන මැතිවරණයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර ඔහුට තරඟ වැදීමේ අයිතිය අහිමි කරමින් ෂරීප් එම මැතිවරණය ජයග්‍රහණය කරා. බංග්ලාදේශයේද අග්‍රාමාත්‍යවරිය වශයෙන් එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වූ ශෙයික් හසීනා නැවත තේරීපත් උනා.

පැවැත්වීමට නියමිත මැතිවරණ අතරින් ලංකාවේ අනාගතයට බරපතල ලෙසම බලපානු ලබන්නේ ඉන්දියානු මහමැතිවරණයයි. බොහෝ විට එලැඹෙන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයා අනුව ලංකාවේ දේශපාලන දිශානතියද තීරණය වීමට ඉඩ ඇත. මැතිවරණය සඳහා වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අඛණ්ඩව තුන්වන වරටත් ඉදිරිපත් වන අතර ඔහු ඉන්දියාව ලෝකයේ ප්‍රබලතම රටක් දක්වා ගෙන ගිය දේශපාලඥයා ලෙස එරට ජනතාවගේ ගෞරවය දිනාගෙන ඇත.

මේ වසරේ පැවැත්වීමට නියමිත ප්‍රබලතම මැතිවරණය වන්නේ ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණයයි. නොවැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත එම මැතිවරණය සඳහා වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් හා එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරඟ වදින බවට මේ වන විටත් තහවුරු වී ඇති අතර ජරඟය ජයග්‍රහණය කරන පුද්ගලයා අනුව වර්තමානයේ පවතින ලෝක මට්ටමේ ගැටුම් වල අනාගතය තීරණය වනු ඇති. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධ සඳහා අනුග්‍රහය නොදක්වන නායකයෙකු ලෙස ප්‍රසිද්ධ අතර ඔහුගේ පසුගිය ධූර කාලය තුලද ඇමරිකාව එකදු යුද්ධයකට හෝ මැදිහත් නොවීමට ඔහු වගබලා ගත්තේය.

ලෝකයට සහ ලංකාවට එක සේ බලපාන අනෙක්‍ මැතිවරණය වන්නේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයයි. වසර 14ක පාලනයෙන් පසු නැවත බලය ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වේටිව් පක්ෂය සහ මේ වන විට ජනමත සමීක්ෂණ වල ඉදිරියෙන්ම සිටින කම්කරු පක්ෂය 2024 අවසාන භාගයේදී මැතිවරණයකට එලැඹෙනු ඇති. මේ වන විට ආර්ථික අර්බුදයකටද මුහුණ දී සිටින බ්‍රිතාන්‍යයේ ඉදිරි වසර 5 කවුරුන් විසින් පාලනය කරන්නේද යන්න එහිදී තීරණය වනු ඇති අතර රුසියානු යුක්රේන යුද්ධයේ ප්‍රබල පාරශවකරුවෙකු වන බ්‍රිතාන්‍යයේ ඉදිරි දායකත්වයද ඒ මත තීරණය වනු ඇති.

ලෝකයේ ප්‍රබලතම කලාපීය සංවිධානය වන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයද මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටවල් 27ක නියෝජනයෙන් සුසැදි යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාසයේදී පැවැත්වෙනු ඇති. ශ්‍රි ලංකාවද යුරෝපා සංගමය සමඟ සහ යුරෝපා කලාපයේ රටවල්‍ රැසක් සමඟ ප්‍රබල ආර්ථික ගණුදෙනු හී නිරත වන බැවින් එම මැතිවරණාය් ප්‍රථිපලද ලංකාව කෙරෙහි බලපානු ඇති. එම මැතිවරණයේදී ද යුක්රේනයට සහය දැක්වීම පිලිබඳව දැඩි ලෙස අවධානය යොමු වීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා වල දැක් වෙන්නේ.

ඉහත දැක්වූ රටවලට අමතරව මේ වසරේ ප්‍රධාන පෙලේ මැතිවරණ පැවත්වීමට නියමිත ප්‍රබල රටවල්‍ අතර දකුණු අප්‍රිකාව, ඉරානය, දකුණු කොරියාව, උතුරු කොරියාව, වෙනිසියුලාව, රුවන්ඩාව සහ රුමේනියාව ඇතුළු තවත් රටවල් රැසක් පවතිනවා. ඒ අතර ලෝකයේ ලාබාලතම රට වන දකුණු සුඩානය වසර ගණනාවක් පුරා කල් ගිය එරට පළමු මැතිවරණය එලැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට පුළුල් මැදිහත් වීමක නිරත වෙමින් සිටිනවා.

තිලාන් ජයසේකර 

Sign up for our newsletter