Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

රාග

මම වෙනදටත් වඩා කලින් අද කාර්‍යාලයට ආවේ ගෙවුනු දින දෙකේදිම කරන්න තිබුනු වැඩත් අදම ඉවර කරන අදහසින්. ගෙවුනු දින දෙකත් එක්කම එකට එකතු වුනු සති අන්තය ආරම්භ වුනේම මගේ හිත කෑලි කෑලි වලට සුනු විසුණු කරමින්. හිතට දැනුනු තදබල පීඩනය නිසා මට උණ හැදුනා. එක අතකට ජීවිත කාලෙම පවක් නොකරපු මම මේ ළඟකදි ඉදන් කරන පව් නිසා එහෙම නොවෙන එක පුදුමයක් නෑ. අම්මාගෙ සාත්තු සප්පයාම් නොවෙන්න මම මෙලහකටත් ඇඳේම මැරිලා ගිහින්. 

‘රාධිකා, අද කලින්ම? දවස් දෙකට ඔයා ඇදිලා ගිහින්. මම ඔයා බලන්න එන්න හිටියේ. ඒත් පොඩි අයගෙ ඉස්කෝලෙ වැඩ එක්ක වෙලාවක් තිබුනේ නෑ. ඔයා කාලද රාධි?

කාර්‍යාලයේ මගේ හොඳම මිතුරිය වුනු එරංගා එහෙම අහද්දි මම හරි අලස විදියට හිනා වුනා. ඇත්තටම පහුගිය දවස් වල සිද්ද වුනු දේවල් එක්ක මට හිනා වෙන්න පවා අමතක වෙලා උන්නේ. 

‘අහන්න රාධී, මේ ඔෆිස් ඇතුලේ ඔය දේවල් කතා කරන්න බෑ. අද හාෆ් ඩේ එකක් දාලා අපි දෙන්නා අපේ ගෙදර යමු. මම සචිත්ටත් කිව්වා ඔයයි මමයි කලින් එනවා කියලා. හරියට කන්ෆර්ම් කරන්න ඔයා ෆෝන් ආන්සර් කලේ නෑනේ… 

එක හුස්මට එරංගා කියද්දි මම උන්නේ මොනවගේ දෙයක් කියන්නද හිතාගන්න බැරිව. වැඩ කරන්න ආවත් වැඩ කරන්න තරම් මානසික මට්ටමක මම නෑ කියලා හිතුනේ  ඊ-මේල් දෙක තුනකට ප්‍රතිචාර දක්වන විටයි. අපහසුවෙන් හිත එක තැනකට අරගෙන වැඩ ටිකක් කලත් පැයක් ගෙවෙද්දි මම උන්නේ කියගන්න බැරි තරම් අපහසුවකින්. ගෙවුනු දින කීපයකදි සිදුවුනු දේවල් මගේ මතකයට නැගෙද්දි වායු සමීකරණය ඇතුලෙදි පවා මගේ වතින් දහදිය බේරෙන්නට වුනා. ඔරලෝසුවේ වෙලාව දහවල් දොලහයි තිහ විදියට සටහන් වෙද්දි මටත් නොදැනීම පුටුවෙන් නැගිටවුනා. 

‘මම බොස්ට කතා කරලා එන්නම් එරංගා, අපි යමු’ 

එපමනක් කිව්ව මම ආයතන ප්‍රධානියාගේ කාමරයට ගොඩ වැදුනා. පුරුදු කරුණාබර මුහුනෙන් ඔහු මගේ දිහා බලාගෙන හිදීම නිසා මට දැනුනේ අසීමාන්තික සහනයක්. මින් පෙර කවදාකවත් මම මේ තරම් නිවාඩු අරගෙන නැති නිසා නිවාඩුව අනුමත වීම මගේ හිතට පුදුමාකාර සහනයක් අරගෙන ආවා. 

එරංගාත් සමඟ කාර්‍යාලයෙන් පිටතට ආව මම මෝටර් රථයට ගොඩ වැදුනේ පුදුමාකාර වේගයකින්. 

‘මෙච්චර දේවල් තනියම කරගත්ත උඹට මෙහෙම වුනානේ. දැන් වත් මොලේ කල්පනා කරමු රාධි..පොඩි වයසට ලක්ෂ ගානක පඩි ගන්න අකවුන්ටන්ට් කෙනෙක් ඔයා. ඔයා මේ වයසට අචීව් කරලා තියෙන දේවල් ඔය වයසෙ ඉන්න අනිත් අය කරන්න හිතලත් නෑ. එහෙම එකේ ඔය නොගැලපෙන මනුස්සයාගෙන් අයින් වෙන්න රාධි.. අනිත් එක තමයි,

එක දිගට කියාගෙන ගිය එරංගා මොහොතකට කතාව නවත්තද්දි ස්ටියරින් වීල් එකේ ඔලුව තියාගෙන උන්නු මම වාහනය පණ ගැන්නුවා. කාර්‍යාලයෙන් පිටතට වාහනය ගත් මම එකතු වුනේ කොළඹ නාරාහේන්පිට මාර්ගයේ වාහන තදබදයට. 

‘මොකද්ද අනික එරා?

‘අනිත් එක මම හැමදාම කියන දේ රාධි. පවුලක් කඩලා පවුලක් හදන එක මහ පවක්. අනික එතන ඉන්නෙ අහිංසක ගෑණියෙක් . ඒ ගෑණි උඹගෙ ගෙදරට ඇවිත් කෑගැහුවේ සහස් ඕන නිසා නෙවෙයි.

‘එහෙනම්?

‘තමන්ගෙ දරුවන්ට තාත්තා ඕන නිසා. සිංගල් මම් කන්සෙප්ට් එක සහස්ගෙ වයිෆ් අහන්න හිතවත් නෑ. ඒ කෙල්ල තමන්ගෙ පුංචි මහත්තයාගෙන් දරුවෙක් ලැබෙන්න උන්නු නිසා ඒ පුංචි මහත්තයා බැදගත්ත අහිංසක කෙල්ලෙක්. සහස් එදා ඉදන්ම වැරදියි රාධි. ඒ වැරදි දැන දැන කොටස් කාරයෙක් වුනු උඹ ඊට වඩා වැරදියි. 

කවදාවත් නැති විදියට මමගෙයි සහස්ගෙයි සම්බන්ධෙ ගැන එරංගා කියද්දි මට දැනුනේ මුළු ලෝකෙම බොඳ වෙනවා වගෙයි. ගෙවුනු සති අන්තයේ නුවර එලියේ හෝටලයක සහස්ගේ අනියම් පෙම්වතිය විදියට ගත කරපු මම ඉරිදා හවස ගෙදරට ආවේ පුදුම සතුටකින්. ඒත් ඒ සතුට තිබුනේ පැය ගානකට විතරයි. ත්‍රී රෝද රථයක් ගෙදර ඉස්සරහා නවත්තපු සද්දෙ මම ගණං නොගත්තත් ඊටත් පස්සේ අම්ම අප්පච්චි ඉදිරියේ කෑගහන ගැහැණු කටහඩක් නිසා මම සාලයට ආවේ මේ තරම් හයියෙන් විලාප නගන්නෙ කවුද බලන්න. 

‘මේ නෝනගෙ දුව රාධිකා නෝනා මගේ පවුල කඩනවා ලොකු නෝනා. මගේ මනුස්සයා සහස්. අපි නුවර මිනිස්සු. අපේ ගමේ ලොකුම පවුල තමයි සහස්ගෙ පවුල. මගෙ අම්ම කලේ ඒ ගෙදර වැඩ කරපු එක. මාත් පුලුවන් වෙලාවට ගිහින් වැඩ කරලා දුන්නා. සහස් ඒ කාලේ පුංචි මහත්තයා. මගේ පස්සෙන් ආවා මම බෑ කියද්දිත්. අවුරුද්දකට විතර පස්සෙ මම සහස්ට කැමති වුනා. දන්න විදියට මම ආදරේ කලා. සහසුත් එහෙමයි. ආදරේ ඉස්සරහා මම සෑහෙන්න අසරණ වුනා. සහ්ස්ලගෙ පවුලෙන් අපි ගැන ආරංචි වුනාම නිළමේ ඒකියන්නෙ සහස්ගෙ තාත්තා කිව්වේ මුතූ උඹ පුංචි මහත්තයාගෙන් අයින් වෙලා හිටපන් කියලා විතරයි. ඉතින් මම අයින් වුනා. ඊටත් මාසෙකට පස්සෙයි මම දන්නෙ සහස් ගෙන් මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඊටපස්සෙ නිළමෙට කරන්න දෙයක් තිබුනෙ නෑ. සහස්ට මාව බන්දලා දුන්නා. මේ රාධිකා නෝනාගෙ සම්බන්ධෙ පටන්ගන්නකම් මට සහස් වරදක් කරලා නෑ. අනේ රාධිකා මට බෑ මගේ දරුවන්ට තාත්තෙක් නැතුව ජීවත් වෙන්න. මේක නවත්තන්න. එක පාරක් සහස් නැතුව ගෙදරට වෙලා හිටපු මට දැන් එහෙම බෑ… 

එදා හවස සාලෙ මැද්දෙ ඉකිගගහා අඩපු මුතූ එහෙම කියද්දි අප්පච්චි මගේ දිහා බැලුවේ ගිණි පුපුරු විසි වෙන දෙනෙතින්. 

‘මේ ළමයට සහස්ගෙන් අඩු පාඩුවක් වුනාද? 

‘නෑ නෝනා නෑ. අහම්බෙන් ෆෝන් එකේ පණිවිඩයක් දකිනකම් මම මේ වගක් දන්නෙ නෑ. රාධිකා ඔයාට මගේ පවුල ගැන සහස් මොනවා කියලා තියෙනවද කියන්න දන්නෙ නෑ. හැබැයි සහස්ට මේ දරුවො නැතුව ඉන්න බෑ. ඔයා එක්ක ඔය නුවර එළියෙ ගමන යන්න කලින් අපිත් එක්ක සිකුරාදා හවසම ගත කරලයි ගියේ. මේ අහන්න රාධිකා. ඔයා එක්ක නිදාගත්ත මිනිහා මගේ කකුල් අල්ල අල්ල වදිනවා. මම එයාට සමාව දෙන්නෙ නෑ. හැබැයි මම දරුවො එක්ක එයාගෙන් අයින් වෙන්නෙ නෑ. ඇයි මම එහෙම කරලා ඔයාලා දෙන්නට ඉන්න දෙන්නෙ? අනික රාධිකා සහස් මගෙන් අයින් වෙලා ඔයා ළඟට එන්නෙ නෑ. ඒකත් මතක තියාගන්න… 

මේ වචන මාව පුදුම විදියට අසරණ කලා. සිද්දිය වෙලා දවස් දෙකක් ගත වුනා. මම සහස්ට ඇමතුම් සෑහෙන්න ගන්න ඇති. ඒ එකකට වත් ප්‍රතිචාර නුදුන්නු ඔහු අන්තිමට කෙටි පණිවිඩයක් එව්වා.

‘රාධි, මට සමාවෙන්න. ආයෙත් අපි මුණ ගැහෙන්නෙ නෑ…’ 

මුළු ලෝකයක් මගේ ඇස් පණා පිට ඒ විදියට කඩාගෙන වැටෙද්දි මම තාමත් විදවනවා. අද වෙද්දි සහස් මම වෙනුවෙන් නෑ. ඒත් මගේ දෙමව්පියො, යාළුවෝ මම එක්ක ඉන්නවා. මම මොන තරම් බාල විදියට රැවටුනාද කියන එක පිලිගන්න තරම් මගේ හිත තාමත් හයියක් නෑ. 

කල්පනාවෙන්ම වාහනය පදවපු මම එක වරම දැකපු හුරුපුරුදු මෝටර් රථය නිසා තිගැස්සුනා. ඒ දසුන මට අනෙක් පසින් උන්නු එරංගත් දැක්කා. 

‘සහස්ගෙ කාර් එක නේද? 

‘ඔව්… 

මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි. මගේ ඇස් දෙක කඳුලු වලින් බොඳ වුනේ මට මම ගැනම දැනුනු ආත්මානුකම්පාවකින්. වාහනයේ පසුපසු අසුනේ සහස්ගේ දරුවො දෙදෙනාත් ඉදිරිපස් අසුනේ මුතුත් උන්නේ හිනාවෙමින්. ඇය සමහර විට සහස්ට සමාව දෙන්න ඇති. ඒ සිතුවිල්ල මගේ හිත පුරා යද්දි මම වාහනය අතුරුපාරකට හැරෙව්වේ තවත් ඒ දසුන බලාගෙන ඉන්න බැරිවයි. 

දවස් ගානක තිබුනු දුක මම පිට කලේ කෑගහලා හඩමින්. මට ඇති තරම් හඩන්න එරංගා ඉඩදුන්නා. මම හිතන්නෙ පැය දෙකකට වඩා වැඩි කාලයක් මම එහෙම අඩන්න ඇති. අඩන්න කඳුලු නැති වෙද්දි, මගේ මුළු ඇඟම පණ නැති ගතියක් දැනෙද්දි මම එක හුස්මට වතුර බෝතලයම බිව්වා. 

‘රාධී, ඔයාට කොහොමද? දැන් මොකද්ද ඔයාගෙ තීරණය?

‘මගේ ෆෝන් එක දෙන්නකො එරා.. 

එරංගා දුරකථනය මගේ අතට දුන්නා. එක මොහොතක් සහස්ගේත් මගේත් ඡායාරූප දිහා බලාගෙන උන්නු මම ඒ සියල්ලමත්, අනතුරුව අපි යවපු කෙටි පණිවිඩත් එකක් නෑර මකා දැමූ මම අවසානයට සහස්ගේ දුරකථන අංකය මකා දැමුවා. 

‘බ්ලොක් කලා නම් ඉවරනේ රාධි..

‘ඕන නෑ. ආයේ එයා ඇති තරම් ගත්තට මම කතා කරන්නෙ නෑ. මාව විශ්වාස කරපන් පුලුවන් නම්..

මම එහෙම කියලා දුරකථනය පැත්තකට දැම්මා. ගෙවුනු අවුරුදු ගානටම නොදැනුනු අමුතු සැහැල්ලුවක් මගේ හිතට දැනෙද්දි එරංගා සැනසිල්ලෙ හිනා වුනා. 

‘මෙහෙම අපේ ගෙදර ගිහින් දවල්ට කාලා හවසට හයි ටී යමු මම ගානේ… 

මගේ යෝජනාවට එරංගා එක පයින් කැමති වුනා. කාලයකට පස්සෙ මම ආයෙත් මගේ පුරුදු නිදහස් ජීවිතේට ඒ විදියට අවතීරණ වුනා. 

…………………………………………………………………….

අවුරුදු දහයකට පසුව.. 

අද වෙද්දි මම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක අධ්‍යක්ෂිකාවක්. මේ වෙද්දි මම පුදුමාකාර සැපවත් ජීවිතයක් ගත කරනවා. සහස්ගේ අතීත කතාව නිතර මතක් වුනත් ඒක දැන් මතකයක්ම විතරයි. එහෙත් මම තීරණය කලා විවාහ නොවී ඉන්න. සහස්ගෙ සම්බන්ධය නැවතුනාම මම විදපු නිදහසට මම අදටත් විදිනවා. මගේ හැමදේකදීම උන්නු එරංගා ඇයත් ඕස්ට්‍රෙලියාවෙ පදිංචියට හෙට ඉදන් එනවා. එරංගාගේ දරුවෝ මගේම දරුවෝ වෙද්දි මට අයිති හැමදෙයක්ම කවදා හරි ඒ දරුවන්ට ලැබෙන්නට සැලැස්වීම මගේ අරමුණයි. කාලෙකට පස්සෙ මට සහස් ගැන ආරංචි වුනා ගෙවුනු සතියක. මුතූ සහස්ගෙන් දික්කසාද වෙලා තවත් සම්බන්ධයක් නිසා.මේ ගැන මම දැනගත්තේ එරංගා ගෙන්.. 

‘මහා ජරා මිනිහෙක්.. ඔයා බේරුනා රාධි… 

ඇය කියන්නෙ ඇත්තම ඇත්ත. ඇත්තටම මම බේරුනා.. 

තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter