Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වචන සිතුවම් කරන සිතුවම් වචන කරන චරිත් විජේමාන්න

*ඇත්තටම චරිත් විජේමාන්න කියන්නේ කවුද ? ඔයාගේ වචනෙන්ම කෙටියෙන් කිව්වොත්..*

මම හිතන්නේ නෑ ඔය ප්‍රශ්නයට මට එක එල්ලේම උත්තරයක් දෙන්න පුළුවන් කියලා..මොකද කෙනෙක්ට තමන් කවුද කියලා හරියටම කියන්න බැහැ කියලයි මම විශ්වාස කරන්නේ..ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම ඕන නිසා මම මෙහෙම කියන්නම්.. ගෙවන හැම තත්පරයකම මනස නිරවුල්ව තියාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති, අසාධාරණය ඉදිරියේ ටිකක් වැඩිපුර කේන්ති යන කෙනෙක් කිව්වොත් මම හිතන්නේ එය ප්‍රමාණවත්.

*චරිත් ඔයාගේ විස්තර ඔයාගේ පවුලේ විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි..*

මට අතිශය සුන්දර ළමා කාලයක් ගත කරන්න වාසනාව තිබුණා. පවුලේ වැඩිමලා වුණේ මම..මටත් වඩා හොඳ ගතිගුණ තියෙන සහෝදරයෙක් මට ඉන්නවා..අම්මා තමයි පොඩි කාලේ ඉඳලා මගේ හැමදේකටම හිටියේ. උත්තරීතර අම්මාගේ ආදරය විග්‍රහ කරන්න භාෂාවක වචන ප්‍රමාණවත් නෑ කියලයි මම හිතන්නේ..මට මතකයි මම පුංචි කාලේ මගේ තාත්තා හරිම සැරයි..ඒ නිසා ඕනම දෙයක් මම කතා කළේ අම්මා එක්ක..හැබැයි ටිකක් කල් යනකොට මට තේරුණා තාත්තා නොහිටින්න මම කියලා කෙනෙක් නෑ කියලා..හදවතේ ආදරය හංඟගෙන තාත්තා එහෙම අපිට සැර කරලා අපිව හරි මාවතට ගත්තේ නැත්නම් අද තත්වය මීට වඩා වෙනස්.. ඒක තමයි ඇත්ත..හැමදාටම තාත්තා තමයි මගේ ජීවිතයේ වීරයා..

මගේ පාසල කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය. එහි උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විධියට කටයුතු කළ කාලය මම හිතන්නේ මගේ පාසල් කාලයේ හොඳම කාලය. ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති පශ්චාත් උපාධිය ලබාගන්න මට හැකිවෙනවා. පෞද්ගලික බැංකුවක සේවය කරන මම වෘත්තීයෙන් බැංකුකරුවෙක්. විවාහකයි..අවුරුදු දහයක් ආදරය කළාට පස්සේ විවාහ වුණේ. දැන් විවාහ වෙලත් අවුරුදු දහයකට බොහෝම ආසන්නයි. උතුම් කාන්තාවක් මගේ බිරිඳ වෙලා ඉන්නවා.. දැන් මම තිදරු පියෙක්..මට ඉන්නවා දියණියක් සහ පුතුන් දෙදෙනෙක්.. ඉතින් පවුලක් විධියට අපි බොහොම සැහැල්ලුවෙන් සෙනෙහසින් සතුටෙන් ජීවත්වෙනවා..

*කොහොමද මේ ලියන දේවල් වලට යොමුවුණේ ? ඒ වගේම ඔබ බොහොම ලස්සනට සිතුවම් කරනවා කියලත් අපි දන්නවා. කියන්න අපිට ඒ ගැනත්..*

ඇත්තටම ගී පද රචනය, කවි, නිසඳැස්, කෙටි කතා ලියන එක දැන් මම කාලයක් තිස්සේ කරගෙන එනවා. සිතුවම් කරන එක මුලින්ම විනෝදාංශයක් විධියට කරගෙන ගියේ.. මේ හැමදේම කරනකොට පාසලේ, බැංකුවේ ගොඩක් අය මාව අගය කළා. ඒ අගය කිරීම් මට ලොකු ශක්තියක් වුණා මේ හැමදේම වැඩි දියුණු කරගන්න. දැන් දැන් ඒක මගේ ජීවිතයේ නැතුවම බැරි කොටසක් වෙලා. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න මට මේ දේවල් අස්වැසිල්ලක් වෙලා කිව්වොත් වඩාත්ම නිවැරදියි.

*මේ ඔක්කොම ” චරියාගේ පන්හිඳ ” නිසා නේද ? කොහොමද චරියාගේ පන්හිඳ කරළියට එන්නේ ? මොකද්ද මෙහි අරමුණ ?*

දැන් සන්නිවේදනය දියුණුයි. එහෙම බලනකොට ඇත්තටම අතීතයේ හිටපු ගී පද රචකයන්ට සහ අනෙකුත් නිර්මණකරුවන්ට හිමිවුණ අවස්ථා හරිම අල්පයි. ඒ යුගයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා වගේ සුවිශිෂ්ට නිර්මාණකරුවන් කොපමණ වෙහෙසක් මහන්සියක් වෙන්න ඇතිද ඒ තත්ත්වයට එන්න. අද එක රැයකින් කෙනෙකුට ලෝකයේම ජනප්‍රිය වෙන්න අවස්ථාව තියෙනවා. ජනප්‍රිය වෙන්න හරිම පහසුයි. ඕනම දෙයක් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් රටක පුරවැසියෝ විධියට අපිට වගකීමක් තියෙනවා හරවත්, අර්ථවත් යමක් සමාජගත කරන්න. Facebook නිසා තමයි චරියාගේ පන්හිඳ කරළියට එන්නේ..චරියාගේ පන්හිඳ ජනප්‍රිය නෑ. කොහෙත්ම ජනප්‍රිය නෑ. නමුත් එය හැකිතාක් ගුණාත්මක බවින් කරගෙන යන්න මම උත්සහ කරනවා. ඒක තමයි චරියාගේ පන්හිඳේ අරමුණ.

*චරිත්.. අපිට කියන්නකෝ මේ වෙනකොට චරියාගේ පන්හිඳෙන් ලියැවුණ විශේෂිත නිර්මාණ කිහිපයක් කෙටියෙන්..*

ගීත ගැන කතා කළොත් මම මේ වෙනකොට ගීත හයක් වගේ ලියලා තියෙනවා. ඉන් කිහිපයක් අවසන් වෙලා තියෙනවා. ” එන්න දෝණියේ..” ගීතයත් ” ගිරසල ” කියන ගීතයත් මේ වනවිට youtube එකේ තියෙනවා. අනෙකුත් ගීත නුදුරු අනාගතයේදීම අවසන් වේවි කියලා විශ්වාස කරනවා. Facebook හරහා සමාජගත කළ ” ගෙදර ආදරේ “, ” අවසන් ඇමතුම ” වගේ නිර්මාණ අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම පාරේ තොටේ යන එන මග යම් සමාජගත කළ යුතු යැයි සිතෙන යහපත් යමක් දුටු සැණින් එය Facebook සටහනක් මගින් සමාජගත කිරීම පුරුද්දක් වෙලා මට. ඒ වගේ මම ලියපු ” හොඳ හිත “, ” රෝද තුන උඩ මනුස්සකම ” , ” අරවින්ද නම් පතාක යෝධයා ” වැනි සටහන් මිනිස්සු ප්‍රසංශාභිමුඛව ඉතා ආදරයෙන් වැලඳගත්තා.

*කාර්යබහුල රැකියාවක් කරන අතරතුර මේ වගේ නිර්මාණකටයුතු වලට කොහොමද ඔබ කාලය වෙන්කර ගන්නේ ?*

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ජීවිතයේ අපි කරන හැමදේම අපිට තනියෙන් කරන්න බෑනේ. අපිට අනෙකාගේ උදව් අත්‍යාවශ්‍යයි. මගේ බිරිඳ සහ මා අතර ඇති අන්‍යොන්‍යය අවබෝධය නිසා මේ දේවල් සමබරව කරගෙන යන්න මට හැකිවෙලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි තමන් කරන නිර්මාණ තමන් රසවිඳිමින් කරනකොට කෙසේ හෝ කාලය හැදෙනවා ඒ දේවල් කරගන්න.

*මොනවද නිර්මාණ කටයුතු පැත්තෙන් ඔබට තියෙන අනාගත බලාපොරොත්තු ?*

එහෙම බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම කැමැත්තෙන් ඉන්නවා ලංකාවේ දැනට ඉන්න විශිෂ්ටගණයේ ගායකයෙකුට හෝ ගායිකාවකට ගීතයක් ලියලා දෙන්න. ඒ වගේම මගේ කුළුඳුල් පොත එළි දක්වන්න. කවදාහරි සිතුවම් ප්‍රදර්ශනයක් කරන්න. මේවා තමයි මගේ සිහින.

*හැකියාව තියෙන නව නිර්මාණකරුවන්ට මොකද්ද ඔබ ලබා දෙන උපදෙස ?*

උපදෙස් දෙන්න තරම් නම් මම සුදුසුයි කියලා හිතන්නේ නෑ. මොකද මේ ක්ෂේත්‍රය දිග්විජය කරපු දැවැන්තයෝ ඉන්නවා. එහෙම බැලුවොත් මම කියන්නේ බොහොම පොඩි කෙනෙක්. උපදෙසක් විධියට නෙවෙයි අදහසක් විධියට කිව්වොත් මෙහෙමයි. අපේ රටේ පොඩි කාලේ ඉඳන් දරුවන්ගේ හැකියාවන් හඳුනාගන්න නිසි ක්‍රමවේදයක් නැහැ. යම් රාමුවක් හදලා ඒ රාමුව ඇතුළට දරුවන් තල්ලු කරනවා මිසක් දරුවන්ගේ හැකියාවන් වලට අවස්ථාවක් නැහැ. තමන් සතු හැකියාවන් තමන්ට අවබෝධ වෙන්නෙ විවිධ කාලපරිච්ඡේදවලදි. උදාහරණයක් විධියට කිව්වොත් කෙනෙක්ට කුඩා කාලයේදී තමාට යම් දෙයකට හැකියාවක් තියෙනවා කියලා වැටහෙනකොට තව කෙනෙක්ට අවුරුදු පනහෙදි විතර ඒක වැටහෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. වයස නෙවෙයි වැදගත් තමන්ගේ ඇඟේ තියෙන හැකියාව කුමන හෝ මොහොතක දැනගැනීමයි වැදගත්. ඉන්පසු එය දියුණුකරන්න, එය විඳින්න. ඔබේ ඒ ආරට කැමති අය ඔබට එකතු වේවි.

*“ අපි Magazine “ එකට සම්බන්ධ වීම ගැන මොකක්ද දැනෙන අදහස ?* බලන්න මේ Magazine එකේ නම ” අපි “. එතනම ලෙංඟතුකම පටන් අරගෙන.. මම වගේ සරල සාමාන්‍ය පුංචි මනුස්සයෙක්ට මේ වගේ සුවිශේෂි Magazine එකක ලියන්න ලැබීමම මට ලොකු ගෞරවයක්, ආඩම්බරයක්. ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වුණ අනීෂා ජයකොඩි සහෝදරියගේ ආරාධනාවෙන් සහ ගයාන් කරුණාරත්න සහෝදරයාගේ අනතිමානී අවසරයෙන් මට මේ අගනා අවස්ථාව හිමි වූ බව කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම ලෙංඟතු පිරිසක් “අපි” වටා එක්ව සිටින බවත් ඔවුන්ගේ කැපවීම මත ” අපි Magazine ” එක හරවත් ගුණාත්මක දේ සමාජගත කරමින් අතිශය ජනප්‍රිය බවට පත්වෙමින් තිබෙන බවත් කියන්නම ඕන. ඉදිරියටත් මම ” අපි ” සමඟ නිරන්තරව රැඳෙන අතර එහි සියලු කටයුතු සාර්ථක වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

Sign up for our newsletter