Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වැඩි ලුණු වැඩි ලෙඩ

සෝඩියම් ක්ලෝරයිඩ් කියන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ලුණු, මිනිසාට වගේම සතුන්ටත් අත්‍යවශ්‍ය ඛනිජයක්. ශරීරයේ ක්‍රියාකාරිත්වයට ලුණු නැතුවම බැරි දෙයක් ,නමුත් ලුණු වැඩිපුර ආහාරයට ගැනීම නම් තවත් ලෙඩ ගොඩකට අතවැනීමක් වෙනවා. 

වැඩුණු පුද්ගලයෙකුට දිනකට ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක් බව යි සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් (වැඩි ලුණු, වැඩි ලෙඩ- අඩු ලුණු  අඩු  ලෙඩ )යන්න තේමාව කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

විශේෂයෙන්ම අපේ රටේ  කෑම, බීම පිළියෙළ කරන විට ලුණු පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක් .

මෑතතකදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව හෙළි වී ඇත්තේ අපේ රටේ ජනතාව පමණට වඩා වැඩියෙන් ලුණු ආහාරයට  ගන්නා බවයි.

සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු විසින් දිනකට ලබාගත යුතු ලුණු ප්‍රමාණය වන්නේ ග්‍රෑම් පහක් උවත්  ඉහත කී සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අපේ රටේ පුද්ගලයෙකු දිනකට ලුණු මිලි ග්‍රෑම් 9-12ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවයි. 

අපි ශරීරයට ගන්නා ලුණු ප්‍රමාණය ඉක්මවා ගිය විට එය ශරීයට අහිතකර ලෙස බලපානවා. පමණට වඩා ලුණු ආහාරයට ගැනීමෙන් ඇතිවන ප්‍රධාන රෝගය අධික රුධිර පීඩනයයි.

අපේ රටේ ජනතාව අතරින් සෑම පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් අයෙකුම අධික රුධිර පීඩනයෙන්  පෙළෙන බව සමීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව රටේ සමස්ත ජනගහනයෙන් 26%ක්ම අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ තත්වයෙන් ජනතාව පීඩා විඳිනවා. මෙයට ප්‍රධාන හේතුව අධික ලෙස ලුණු භාවිතකිරීම බව සොයාගෙන තිබෙනවා.

පමණට වඩා ලුණු ආහාරයට ගැනීමෙන් ශරීරයේ වතුර රඳන ප්‍රමාණය වැඩි වෙනවා. එය අධික රුධිර පීඩනය ඇතිවීමට හේතු වෙනවා. අධික රුධිර පීඩනය මෙන්ම හෘදයාබාධ, හෘද අකර්මණ්‍ය වීම, ආඝාතය, වකුගඩු  ආබාධ ඇති වීමටත් අධික ලුණු භාවිතය හේතු වන බව විද්‍යානුකූලව සනාථකොට තිබෙනවා.

ආමාශයේ පිළිකා, ඔස්ටියෝපොරෝසිස්, ආසාත්මිකතා, අස්ථි බිඳවැටීම් වැනි ආබාධ සඳහාත් අධික ලුණු භාවිතය හේතු වෙනවා.

මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් 83%ක්ම සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. හදවත් ආබාධ, ආඝාතය, පිළිකා, දියවැඩියාව, අධික රුධිර පීඩනය හා ශ්වසන රෝග වැනි බෝ නොවන රෝග  එම මරණවලට හේතු වෙනවා. ඒ අතරින්ද මරණවලින් 34%කටම හේතුව හෘදයාබාධ හෝ රුධිරවාහිනී ආශ්‍රිත රෝග තත්වයන් බව සොයාගෙන තිබෙනවා. මේවාට ප්‍රධාන හේතුව අධික රුධිර පීඩනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලුණු භාවිතය අඩු කිරීමෙන් මෙලෙස සිදුවන මරණ සංඛ්‍යාවෙන් දළ වශයෙන් ජීවිත මිලියන 2.5ක් වළක්වා ගත හැකි වනු ඇති බවයි .

අධික ලුණු භාවිතය ඉක්මන් මරණවලට අත වැනීමක් බව දැන් ඔබ දන්නවා. එසේ නම් කටට රසට කන්න  හිතාගෙන පමණට වඩා ලුණු දමා කෑම බීම සකස් කර ගැනීමෙන් ඔබේ පවුලේ ආදරණීය සාමාජිකයන් බෝ නොවන රෝගවලට  ගොදුරු කරවගන්නේ ඔබම නොවේදැයි මඳක් සිතා බලන්න. කට දිව පිනවීමට වඩා නිරෝගී දිගු දිවියක් ඔබේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදෙන්නට ඔබටත් පුළුවන් . ඒ සඳහා ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව එක් පුද්ගලයෙකු සඳහා සෑහෙන ලුණු ප්‍රමාණය පමණක් ලැබෙන පරිදි  ඔබේ පවුලේ සාමාජිකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුණු  යොදා ඔබේ දිනපතා  ආහාර වේල් සකස් කර ගැනීමයි. 

ලුණු දෙහි, අච්චාරු, සෝස්වර්ග හා කටගැස්ම වර්ග හැකිතාක් අඩු කළ යුතුයි. ලුණුවල අඩුව නොදැනෙන්නට කරපිංචා, කුරුඳු, එනසාල්, කරාඹු නැටි, සූදුරු, මහදුරු වැනි ස්වාභාවික රසකාරක  වර්ග වැඩිපුර භාවිත කිරීමෙන් ආහාර පානවල රසය මෙන්ම ගුණයද වර්ධනය කරගත හැකියි.

නීරෝගීමත් දිවි පැවැත්මක් සදහා ඔබ හැකිතරම් ලුණු භාවිතය අවම කරන්න ,

නිශා

Sign up for our newsletter