Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

විලුඹේ අධික වේදනා ගෙනදෙන ‘වාත කණ්ඨක’ රෝගය

උදෑසන අවදි වී ඇඳෙන් බැස ඇවිද යාමට පාද බිම තැබීමේදී විලුඹ හා යටිපතුල් ආශ්‍රිතව ඇතිවන අධික වේදනාව වර්තමානයේ මැදි වයසේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

දිගු වේලාවක් ඇවිදීමෙන් හෝ හිටගෙන සිටීමෙන් පසු විලුඹේ ඇතිවන අධික වේදනාව ඇතැම් විට ඔබත් අත්විඳිනවා විය හැක. 

ඇතැම් විට වයස් භේදයකින් තොරව මෙන්ම ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරවද මෙම රෝගී තත්ත්වය දක්නට ලැබේ.

මුල් අවස්ථාවේදී උදෑසනට පමණක් වේදනාව දැනෙන අතර ටික දුරක් ඇවිදීමත් සමඟ වේදනාව කෙමන් පහව යනු ඇත. නමුත් කල්යත්ම රෝගය උත්සන්න විය හැකි බැවින්

මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම සිදුකල යුතුය. 

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර නොකර සිටීමෙන් වේදනාව ක්‍රමයෙන් තීව්‍ර වන අතර, උදෑසනට පමණක් නොව දවස පුරාම වේදනාව පැවතීම හා විලුඹට පමණක් සීමා නොවී යටිපතුල් පුරා වේදනාව ව්‍යාප්‍ත වීම දක්වා මෙම රෝගයේ ලක්ෂණ වර්ධනය විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමතලා නොවූ බිමෙහි එනම් වල ගොඩැලි සහිත අක්‍රමවත් බිම් වල ඇවිදීමෙන් හා නිතර පය වෙහෙසවන ක්‍රියාවන්හි නිරත වීමෙන් වාත දෝෂය කෝප වී ගුල්ඵ සන්ධිය (Ankle joint) හා විලුඹ ප්‍රදේශය ආශ්‍රිතව අධික වේදනාවක් ගෙනදෙන රෝගී තත්ත්වයක් ලෙස ‘වාත කණ්ඨක’ රෝගය හැඳින්වේ.

නව්‍ය මතානුකූලව විලුඹ අස්ථිය පීඩාවට පත් වීමෙන් හා යටිපතුලේ අස්ථි කණ්ඩරා හානිවී නැවත සැකසීමේ දී එනම් හානි වූ පටක ප්‍රතිනිර්මාණයේදී අස්ථියේ අධිවර්ධනයක් ලෙසට Calcaneus bone ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම් සිදුවිය හැක.  

විලුඹ අස්ථියේ ඇතිවන bony spur/ osteophytes තත්ත්වයක් හටගැනීමෙන් අස්ථියේ නෙරීමක්/ ඝන වූ කටු ආකාර ඉලිප්පීමක් ඇතිවීම මෙම රෝග තත්ත්වයට හේතුවන බව පිළිගැනේ.

එබැවින් මෙම තත්ත්වය Calcaneal spur/ Heel spur ලෙසටද හැඳින්වේ.

තවද යටිපතුල හා විලුඹ ආශ්‍රිතව පවතින කණ්ඩරාවක් වන Plantar fascia හි ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් එනම් Plantar fasciitis අවස්ථාවේදී ද විලුඹ හා යටිපතුල් ආශ්‍රිත අධික වේදනාවක් ගෙනදෙන බැවින් එම රෝගී අවස්ථාවද වාත කණ්ඨක රෝග ලක්ෂණ හා සැසඳේ.

කෙසේ වෙතත් නව්‍ය වෛද්‍ය විද්‍යාත්මකව ඉහත රෝගී තත්ත්වයන් හා වාත කණ්ඨක රෝගය ස්ථිරවම සමපාත කල හැකි නොවුවද ඉහත සඳහන් රෝග ලක්ෂණ වාත කණ්ඨක චිකිත්සා ක්‍රමවේද මගින් පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව පැවතීම විශේෂිත වේ.

බොහෝවිට මළල ක්‍රීඩකයන්, නර්තන ශිල්පීන්, සොල්දාදුවන් හා පාද වෙහෙසවන රැකියාවල නිරතවන්නන් හට මෙම රෝග තත්තවය පහසුවෙන් හටගැනීමේ නැඹුරුතාවක් පවතී.

මීට අමතරව ඇතැම්විට විලුඹ අස්ථියේ ව්‍යුහාත්මක වෙනසක් හේතුවෙන් (flat feet/high arches) පාදයේ යටිපතුල මත ඇතිකරන පීඩනය නිසාත් ඉහත රෝග ලක්ෂණ ඇතිවිය හැක.

එමෙන්ම විලුඹ හා වළළුකර සන්ධි ආශ්‍රිතව ඇතිවන ආමවාත, සන්ධිගත වාත, ගම්භීර වාතරක්ත යන රෝග අවස්ථාවලදීත් ඉහත සඳහන් රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කල හැකි වුවද, X-කිරණ ඡායාරූප පරීක්ෂණයක් මගින් වාත කණ්ඨක රෝග අවස්ථාවක් ලෙසට පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව පවතී.

රෝගය හට ගැනීමට හේතු:-

• හදිසි අනතුරු හේතුවෙන් යටිපතුල් හා විලුඹ ආශ්‍රිතව සිදුවන අනතුරු/ පෙර සිදු වූ අස්ථි බිඳී යාම්

• සමතලා නොවූ අක්‍රමවත් පොළවේ ඇවිදීම

• අධික වේලාවක් ඇවිදීම/ වැඩි වේලාවක් හිටගෙන සිටීම

• අධික තරබාරුව

• වාත කුපිත ආහාර නිතර ගැනීම (වම්බටු, මෑකරල්, අල, මඤ්ඤොක්කා, කොස්, මුංඇට)

• තද පෘෂ්ඨ සහිත සෙරෙප්පු, අඩි උස සපත්තු නිතර පැළඳීම හා දිනයේ වැඩිවේලාවක් ඒවා පැළඳ ඇවිදීම/ සිටගෙන සිටීම

වාත කණ්ඨක රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර:-

ස්ථානිකව බාහිර ප්‍රතිකාර සිදු කරනු ලබන අතර අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස කෂාය, ක්වාත, ගුලි, කල්ක, චූර්ණ ලබා දීම සිදු කරයි.

බාහිර ප්‍රතිකාර ලෙස- 

ගුල්ඵ සන්ධි ආශ්‍රිතව ශිරා විද රුධිරය බැහැර කිරීම (රක්ත මෝක්ෂණය)

අග්නි කර්ම (ගින්නෙන් රත් කල ශලාකාවන්ගෙන් තැවීම)

අශ්මග්න ස්වේද (රත් කල ගල් මගින් තැවීම)

තෙල් ගැල්වීම හා රූක්ෂ තැවිලි මගින් තැවීම

ඖෂධීය ද්‍රවයක පාද බහා සිටීම (ද්‍රව ස්වේද)

ඖෂධීය වාෂ්ප ඇල්ලීම

මැල්ලුම්/පත්තු බැඳීම

රෝගය සුව කරගැනීමට මෙන්ම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට:-

• සිරුරේ බර පාලනය කිරීම

• වල ගොඩැලි සහිත බිම්වල ඇවිදීමේදී පාවහන් පැළඳීම

• පාද වලට නිසි විවේකය ලබාදීම 

• සුමට පෘෂ්ඨ සහිත යටිපතුල් පීඩා නොකරන සුවපහසු පාවහන් පැළඳීම

• අඩි උස පාවහන් පැළඳීම අවම කිරීම

• ඖෂධීය තෙල් අභ්‍යංග කිරීම

• පාද සම්භාහන සත්කාර සිදු කිරීම

• පාදයේ ගුල්ඵ සන්ධි ආශ්‍රිතව ව්‍යායාම සිදුකිරීම

ඉහත කී රෝග ලක්ෂණ ඔබ සතුවේ නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත ගොස් නොපමාව ප්‍රතිකාර ලබා ගැනීම මඟින් වාත කණ්ඨක රෝගී තත්ත්වය සඳහා ඉක්මන් සුවය ලබා ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

Sign up for our newsletter