Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

විෂ සහිත ගංජා ශාකයේ ඖෂධීය වැදගත්කම

විෂ සහිත ගංජා ශාකයේ ඖෂධීය වැදගත්කම

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පද්ධතිය තුල ඖෂධ වර්ග නිපදවීමේදී ශාකමය ද්‍රව්‍ය යොදාගැනීම ප්‍රධාන වශයෙන් සිදුකෙරේ. 

උග්‍ර විෂ සහිත වූ ඇතැම් ශාක කොටස් වලින් පවා ඖෂධ නිපදවීමත්, එම ඖෂධ නොයෙක් රෝග අවස්ථාවන් සඳහා ප්‍රයෝග කිරීමත් අතීතයේ සිට පැවත එන්නකි.

කනේරු, ජයපාල, ගොඩකඳුරු, ගංජා වැනි විෂ ශාක යොදාගනිමින්, නිවැරදි ඖෂධ නිෂ්පාදන මූලධර්ම හා ක්‍රමවේද අනුගමනය තුලින් ඖෂධීය ගුණයෙන් යුත් ඖෂධ නිෂ්පාදනය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල සුලබව අන්තර්ගත වේ.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී ඇතැම්විට ඒකීය ඖෂධ යොදාගැනීම සිදුවුවද බොහෝවිට ඖෂධ වර්ග සංයෝග කිරීම සිදුකෙරේ.

ඒ අතර ඇතැම් විෂ ශාක වර්ග අනෙකුත් ඖෂධීය ගණ සහිත ශාක වර්ග සමඟ සංයෝග කොට චිකිත්සාවට යොදා ගැනීම විශේෂ වේ. 

ආයුර්වේදය තුල ‘විෂ’ ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්වේ. එනම්, 

• ස්ථාවර විෂ

• ජංගම විෂ සහ, 

• සංයෝජක විෂ ලෙසට ය. 

යම් ද්‍රව්‍යයක් සතුව ස්ථිර ලෙස පවතින විෂ, එනම් ශාක හා ඛනිජ ද්‍රව්‍යය සතු විෂ ‘ස්ථාවර විෂ’ ලෙසට සලකන අතර තැනින් තැනට ගමන් කරන විෂ එනම් ‘ජංගම විෂ’ ලෙසට සත්ත්ව විෂ සැලකේ. කෘමිනාශක, වල්පැලෑටි නාශක වැනි කෘත්‍රිම විෂ ‘සංයෝජක විෂ’ ලෙසට හඳුන්වනු ලැබේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යා චිකිත්සා ක්‍රමවේද තුල ශාක හා ඛනිජ ද්‍රව්‍යය සතු ස්ථාවර විෂ ඖෂධීය මාත්‍රා වලට අනුව ප්‍රයෝග කිරීමෙන් සර්ප විෂ, ගෝනුසු විෂ යනාදී ජංගම විෂ සඳහා මෙන්ම කෘමිනාශක වැනි සංයෝජක විෂ නිසා හටගැනෙන ඇතැම් රෝග අවස්ථාවන් සඳහා ප්‍රතිකාර ලෙසට භාවිතා වීම විශේෂිත වේ.

විෂෙන් විෂ නැසීමේ ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය වන අතර චිකිත්සාවේදී ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගෙනදීම ආයුර්වේද ඖෂධයන්හි සාඵල්‍යතාව මැනවින් ප්‍රකට කරනු ඇත.

ආයුර්වේද ඉගැන්වීම් තුල විෂ හා උපවිෂ ලෙසට ස්ථාවර විෂ බෙදා දැක්වෙන අතර ‘විෂ’ නම් මූලික ගණය තුල නොයෙක් විෂ අන්තර්ගත ඛනිජ වර්ග ඇතුළත් වන අතර ශාකමය විෂක් ලෙසට ‘වච්චනාභී’ නොහොත් වත්සනාභ අල ඇතුළත්ව ඇත.

‘උපවිෂ’ ලෙසට, ගොඩකඳුරු බීජ, ජයපාල බීජ, අත්තන ඇට සහ පත්‍ර, නියඟලා අල, කනේරු මුල්, භල්ලාතක එනම් සෙංකොට්ටං හා කංසා නොහොත් ගංජා ශාකය හඳුන්වා දී ඇත.

විෂ ගණයට අයත් වුවද ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවේදී මෙම ද්‍රව්‍යය ඖෂධ ලෙසට ප්‍රයෝග කිරීම විශ්මය ගෙන දෙන්නකි. ඒ සඳහා ඖෂධ සංස්කරණයේදී විශේෂිත විෂහරණ ක්‍රමෝපායන් අනුගමනය කරනු ලබන අතර ශෝධන, මාරණ ක්‍රම මගින් සිරුරට ප්‍රයෝග කිරීමට සුදුසු ඖෂධ නිපදවීම පලමුව සිදුකෙරේ. අනතුරුව රෝග ප්‍රකෘතිය, පුද්ගල බලාබලත්වය, රෝග ව්‍යාප්තිය යනාදී චිකිත්සා මූලධර්ම සලකා බලා නිශ්චිත ඖෂධීය මාත්‍රාව රෝගීන්හට ලබාදීමෙන් ආයුර්වේද වෛද්‍යවරු චිකිත්සාවේ සාර්ථක ප්‍රතිපල ලබාගැනීම වර්තමානයේ දී පවා සිදුකෙරේ. 

වර්තමානයේ බහුලව කතාබහට ලක්වී ඇති ගංජා නොහොත් කංසා ශාකය සතු ඖෂධීය ගුණය පවා ආයුර්වේද චිකිත්සාවේදී බහුලව භාවිතාවන ඇතැම් ඖෂධ තුල අන්තර්ගත වේ. කංසා ශාකය එහි සතු විෂ ස්වභාවය නිසා ආයුර්වේද ඖෂධ සංහිතා වර්ගීකරණ තුල උපවිෂ යටතට අයත්වන වන අතර Cannabaceae කුලයට අයත් ශාකයකි. 

එමෙන්ම, කංසා ශාකය තුල Tetrahydrocannabinol(THC) හා Cannabinoid යන රසායනික සංඝටකයන් බහුලව අන්තර්ගත වේ.

 _Cannabis sativa, Cannabis indica, Cannabis ruderalis_ ලෙසට ප්‍රබේද තුනකින් ආසියාව තුල හටගැනෙන අතර විජයා, මාධනී, මෝහිනී, ත්‍රෛලෝක්‍ය විජයා, භංගා යන පර්‍යාය නාම වලින් හඳුන්වන කංසා ශාකය මත්බවින් පිරි මදකාරී ශාකයකි.

මීටර් 1 1/2 ක් පමණ උසින් යුත් පඳුරක් ලෙසට වර්ධනය වන ගංජා ශාකයේ කොළ, ඇට, අතු සහ ශාකයෙන් වෑස්සෙන නිර්‍යාස ඖෂධ නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගැනේ.

මෙම ඖෂධය සතු විෂ රසායනික බව හේතුවෙන් ප්‍රබල වේදනානාශකයක් ලෙසට භාවිතා වන අතර ශරීර අභ්‍යන්තර රෝග බොහොමයක් සඳහා ප්‍රතිකාරයේදී සුලබව භාවිතා කරනු ලැබේ.

සිරුරේ පවතින හන්දි වේදනා, ඉදිමීම්, තැලීම් සඳහා ගංජා පත්‍ර වලින් සාදන ප්‍රලේප බාහිරව ආලේපයෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිවන අතර, ගංජා අඩංගු සම්පාදිත ඖෂධ ලෙසට ගුලි වර්ග, මෝදක, කුඩු යනාදී ඖෂධ සංස්කරණයන් රෝගී ප්‍රතිකාරයේදී යොදාගනු ලැබේ.

මෙහිදී ඒකීය ශාකය චිකිත්සාවේදී කෙලින්ම උපයෝගී නොවීමත්, වෙනත් ඖෂධ වර්ග සමඟ සීමිත ප්‍රමාණයකින් මිශ්‍ර කිරීමෙන් සම්පාදිත ඖෂධ ලෙස නිපදවීමෙන් අනතුරුව රෝගීන්ට ප්‍රයෝග කිරීමත්, විශේෂිත ශෝධන ක්‍රමෝපායන් ඒ සඳහා අනුගමනය කිරීමත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රමවේද තුල දක්නට ලැබීම සුවිශේෂී වේ.

ගංජා ශාකයේ කොළ, ඇට හා දඬු පොට්ටනියක් ලෙසට සකසා එළකිරි සමඟ පැය තුනක් පමණ දෝලා පාක දීමෙන් තැම්බීම සිදුකල පසු හොඳින් විෂ හරණය සිදුවූ ගංජා කොටස් නියමිත ඖෂධීය මාත්‍රාවෙන් ඖෂධ වර්ග සංස්කරණය සඳහා යොදා ගනු ලැබේ.

දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අතර ප්‍රචලිත ගුලි වර්ග හා මෝදක වර්ග ශෝධිත කංසා කොළ සහ ඇට වර්ග යොදා ගනිමින් අතීසාර, ජ්වර, කල්ගත වූ සෙම්ප්‍රතිශ්‍යාව, ගර්භාශ ආශ්‍රිත රෝග, පණුරෝග, දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට සෑදෙන වලිප්පුව, ලිංගික ගැටලු, පෙනහළු ආශ්‍රිත රෝගාබාධ, අධික වේදනා සහිත රෝග අවස්ථා සඳහා භාවිතා කිරීම අතීතයේ සිට බහුලව සිදු කොට ඇත.

ආහාර රුචිය වැඩි කිරීමට මෙන්ම මාංශ වර්ග පිළියෙල කිරීමේදී කුළුබඩුවක් ලෙසට කංසා කොළ ආහාරයට එකතු කිරීමද අතීතයේ දී පැරැන්නන් විසින් සිදුකොට ඇත. 

නින්ද නොයාම, ඇදුම, කැස්ස යන රෝග අවස්ථාවන් සඳහා ක්ෂණික ප්‍රතිකාරයට කංසා අන්තර්ගත ඖෂධ සතුව විශේෂ හැකියාවක් පවතින අතර ගංජා යොදාගනිමින් නිෂ්පාදිත තෙල් වර්ග සන්ධි වේදනා, මස්පිඬු වේදනා, අධික හිසේ කැක්කුම් සඳහා ආලේපයෙන් ඉක්මන් සුවය ලබාදීමේ විශේෂ හැකියාව පවතී.

වර්තමාන සමාජය තුල නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙසට සමාජගත වී තිබුණද ඖෂධීය වටිනාකම නිසිලෙස හැඳිනීමෙන් නිවැරදි සංස්කරණ ක්‍රම මගින් නිෂ්පාදනය කිරීමෙන් බොහෝ රෝග ගණනාවකට ප්‍රයෝග කල හැකි චිකිත්සාවේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගෙනදෙන ඖෂධීය ගුණ සහිත ශාකයක් ලෙසට ගංජා ශාකය හඳුන්වා දීමට හැක.

විෂ අන්තර්ගත වූ පමණින් භාවිතයෙන් බැහැර නොකොට ශාක සතු අද්විතීය සුවිශේෂී ලක්ෂණ උපයෝගී කොට ගනිමින් විෂ මරා එනම් විෂ මාත්‍රාව අවම කොට, නියමිත ඖෂධීය මාත්‍රාවෙන් රෝගීන්හට චිකිත්සාවේ ප්‍රයෝග කිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල අන්තර්ගත තවත් එක් සුවිශේෂීතාවයකි.

කෙසේ නමුත් ඖෂධ ලෙසට ප්‍රයෝගයේදී විෂ ඖෂධ අන්තර්ගත වන ඖෂධයක් වන බැවින් හා රෝගියාගේ වයස, රෝගයේ ස්වභාවය, පවතින වෙනත් රෝග හා ගර්භණී තත්ත්ව පිලිබඳ විශේෂයෙන් සලකාබලා ප්‍රතිකාර සිදු කලයුතු බැවින් ද, හිතුමනාපයට භාවිතා කිරීමෙන් වැලකී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් භාවිතයට ගතයුතු ඖෂධයක් ලෙසට 

දැඩිව සිහිතබා ගතයුතු වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

Sign up for our newsletter