Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බන්දුල ස්වාමින්වහන්සේ…

එදා 1953 වසරේ පොසොන් මස දෙවැනිදාවක් විය. දකුණු ලක ගාල්ල නඟරයේ උඩුගම ග්‍රාමයේ පිහිටි කුඩා රෝහලකින් ඇසුණු බිළිඳු හඬකි. එදා වාතලයට මුහුවු ඒ හඬ දිනෙක හිරු නොබසින අධිරාජ්‍යයේ හඬ නගාවියැයි ඒ බිළිඳා මෙළොවට බිහිකළ පෙම්බර මෑණියෝවත් සිතන්නට නැත. පොසොන් මස උදා වී ඇහැල මලින් පරිසරය කහපාටින් බැබලෙද්දී,රජයේ සේවකයකු වූ ජේ. ඊ. අමරසිංහ සහ පද්මාවතී විජේසේකර ඒකනායක නම් වූ එම දම්පතීන්ගේ තෙවැනි පිරිමි දරුවා ලෙස උපන් මේ කුල කුමරාට බන්දුල යැයි නම් තබනු ලැබිණ. 

දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම්‍ පත්තුවේ තවලම නම් වූ සුන්දර ගම්මානය මේ ළඳරු බන්දුලගේ දෙමාපියන්ගේ ගම විය. මනබඳිනා සුන්දර කඳු වළල්ලකින් වටවු තවලම ගම්මානය සිංහරාජ වනය ආසන්නයේම පිහිටි අතර ගම මැදින් ගලා ගිය ගිං ගං කොමළිය ගමේ සුන්දරත්වය  තව තවත් ඉහළ නැංවීමට සමත්‍ වූවද අධික වැසි සමයන්හිදී ගංවතුර තර්ජනයෙන් ගම බිළිගැනීමටද අමතක නොකලාය. හැම වසරකම මෙය සිදු වූවත් ගම්මු කිසිදාක ගඟ හා උරණ නොවූයේ පරිසරයට පෙම් බැඳි ඔවුන් එහි අගය දැන උන් හෙයිනි. 

රජයේ සේවකයකු වීමේ වරදට කුඩා බන්දුලගේ පියාට රටේ තැනින් තැනට මාරු වී යාමට සිදු වූ අතර හෙතෙම ඒ යන සෑම තැනකටම තම දරු පවුළද රැගෙන ගියේ පවුළකට පියෙකුගේ ආදරය හා රැකවරණය නිරතුරුවම අවැසි බව එතුමන් ඇදැහූ සත්‍යක්ම වූ බැවිනි. එහෙත් මෙම සංචාරක දිවි පෙවෙත නිසා කුඩා බන්දුලට තවලම සුන්දර ගම්මානයේ එතරම් කාලයක් විසීමට නොලැබිණ. එමෙන්ම පස්වන වසරට සමත් වෙද්දී රට පුරාම පිහිටි පාසල් පහකට යෑමටද ඔහුට සහ ඔහුගේ සොයුරු සොයුරියන්ට සිදු විය. කුඩා බන්දුලට වැඩිමහළු සොයුරන් දෙදෙනකු උන් අතර ඔහුට බාල මලනුවන් දෙදෙනකු හා නැගෙණියන් සය දෙනෙකු සිටියහ. මව පියා ඇතුළු සාමාජිකයින් දහතුන් දෙනෙකු උන් එම පවුළ ඉතාමත් සතුටින් දිවි ගෙවූයේ කොයි පලාතට මාරුකර යැවූවද ඒ යන තැන දෙව්විමන තනා ගනිමිනි. 

පුංචි සංන්දියේ බන්දුල ළදරුවාට තිබූ ග්‍රහ අපලයක් නිදහස් කර ගැනීම සඳහා ඔහුව ආරණ්‍යකට පූජා කිරීමට දෙමාපියන්ට සිදු වූවද ඔහුව මහණ කිරීම සඳහා කැමැත්‍තක් මෙන්ම අකමැත්තක්ද ඔවුන්ගේ හදවත් තුළ නොතිබිණ. එහෙත් අනෙක් දරුවන්‍ අතරේ ඔහුට යම් විශේෂත්වයක් නම් දෙමාපියන්ගෙන් ලැබිණ. එනම් ඔහුට දඬුවම් ආදිය අඩුවෙන් දීමයි. කෙසේ වෙතත් උපතින්ම නිවුණු දරුවකු වූ පුංචි බන්දුලට දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් දෙමාපියන්ට පැන නැඟුනේ නැත. 

කුඩා බන්දුල පාසල් යන වයසට කෙමෙන් ළඟා වූ අතර ඔහුගේ පියා ඔහුව ගාල්ලේ කලේගාන කතෝලික විද්‍යාලයට  නමෝවිත්තියෙන්ම ඇතුළත් කරනු ලැබිණ. ප්‍රාථමික පාසලක් වූ එහි ඔහුට ඉගෙන ගන්නට ලැබුණේ වසරකි. 

ඉන්පසුව ඔහුව සහ ඔහුගේ වැඩිමහල් සොයුරන් දෙදෙනාව ගාල්ලේ රිච්‍මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කිරීමට කුඩා බන්දුලගේ පියා සමත් විය. එහි එක දිඟට වසර කිහිපයක්ම ඉගෙනුම ලැබුමට තුන් සොහොයුරන් වාසනාවන්ත වූහ. 

එහෙත් හදිසියේම පියා රජයේ සේවකයකු වීමේ අභාග්‍යට මුහුණ දීමට ඔවුන් තිටදනාට සිදු විය. මෙවර පියාට මාරු වීම ලැබී තිබුණේ ඇතුගල් පුරයටය. ඒ, 1963 වසරේදීය. එහිදී දස හැවිරිදි බන්දුල කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් කරනු ලැබිණ. එහෙත් අවාසනාවකට එහි ඔහුට රැඳෙන්නට හැකි වූයේ වසරක වැනි කෙටි කාලයක් පමණි. ඒ, ඔහුගේ පියාට පොලොන්නරුවට මාරුවීමක් ලැබුණු බැවිනි. 

සිය පවුළම කැටුව පොලොන්නරුවට ගිය පියා කුඩා බන්දුලව පොලොන්නරුව තෝපාවැව මහා විදුහලට ඇතුළත් කළේය. එහිදි ඔහුට ඉගෙන ගැනීමට ලැබුණේ එකම එක වසරක් පමණි. ඉන්පසු ඔහුට යෑමට සිදුවූයේ කඳුරුවෙල මහා විද්‍යාලයටයි. වසරින් වසර එක් එක් පාසලට මාරු වී යාම බන්දුල දරුවාට දැනුනේ මහා වදයක් ලෙසිනි. තනිකරම දඬුවමක් විලසිනි. එමෙන්ම රිච්මන්ඩ් සහ මලියදේව වැනි ඉහල පාසල්වල ලැබූ අධ්‍යාපනයත් සමඟ සසැඳීමේදී මෙම කුඩා පාසල්වල ඉගෙනුම ඔහුට වහකදුරු මෙන් තිත්ත වීමට වැඩි දොහක් ගියේ නැත. ඒත් සමඟම ඔහුගේ සිතට ආවෙ කඳිම අදහසකි. එනම් මහනවීමට යෑමයි. 

හොඳ දිනයක් එනතුරු ඇඟිලි ගනිමින් හුන් බන්දුල ගැටවරයා තම අදහස දෙමාපියන් හමුවේ තැබුවත් ඔවුන් ඊට කැමති වූයේ නැත. එහෙයින් දිඟටම ඒ ගැන කන්නලව් කරන්නට ඔහුට සිදු විය. අවසානයේ මෙය වදයක් වනතුරුම උග්‍ර වූ විට එක පොරොන්දුවක් මත මහන වීම සඳහා ඔහුට අවසර ලැබිණ.  එනම් කිසිමදාක සිවුරු නාරින බවට වූ පොරොන්දුවයි. 

මේ කාලයේ මහන වීමට මාර්ගයක් සොයමින් හුන් බන්දුල කොලු ගැටයාට දිනෙක පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් අහම්බෙන් ඇස ගැටුණේ දෛවයේ සරදමක්‍ විලසිනි. එනම් මහන කිරීම සඳහා යම් පිරිවෙනකින් කුළ දරුවන් සොයනා බවයි. වහා ක්‍රියාත්‍මක වූ හෙතෙම තම දෙමාපියනට මේ බැව් දැන්වීය. මහනවීම සඳහා අම්බලන්ගොඩ මහාචේතිය පිරිවෙනට යා යුතු වූ අතර 1964 වසරේ දිනෙක දෙමාපියන් සහ නෑදෑයින්ද කැටුව ඔහු එහි ගියේය. මහනවීමට සූදානම්වීමක් වශයෙන් මාස දෙකක පමණ කාලයක් පිරිවෙනේ නතර වී සිටීමට කුඩා බන්දුලට සිදු විය. ඉන්පසු එම වසරේම දිනෙක ඔහුව මනකරනු ලැබූවත් වැඩි දොහක් එම පිරිවෙනේ සිටීමට පොඩි හාමුදුරුවන්ට නොහැකි විය. ඒ විහාරස්ථානයේ ඇතිවූ අරබුද තත්ත්වයක් හේතුවෙනි. ඔහුගේ පියා වහා පැමිණ පොඩි හාමුදුරුවන්ව පොළොන්නරුවට කැටුව ගිය නමුදු හාමුදුරුවන්ට කුමක් කළ යුතුදැයි නිශ්චිත සැලසුමක් ඔහු තුළ නොවීය. 

මෙසේ කාලය ගතවෙද්දී පුංචි හාමුදුරුවන්ගේ මෑණියන්ගේ ඥාතීන් දෙදෙනකු වූ එවකට ප්‍රසිද්ධ සඟරුවන් ද්විත්වයක් පිළිබඳව ඔවුන්ට සිහිපත් විය. ඉන් එක හාමුදුරුනමක් වූයේ ගාලු පලාතේ ප්‍රධාන සංඝනායක වූ නෙලුවේ ශ්‍රී ගුණානන්දාබිධාන මහා නායක ස්වාමින් වහන්සේය. උඩුගම ශ්‍රී සාසනාලංකාරාමයෙහි වාසය කළ උන්වහන්සේ ඉතාමත් චතුර ලෙස ධර්මදේශනාවේ සමතකු වූ අතර පළාතේම ඉතාමත් ප්‍රසිද්ධ සඟරුවනක් විය. උන්වහන්සේ අනගාරික ධර්මපාල තුමන් සමඟ එකට කටයුතු කරමින් හා එතුමා අනුව යමින් පාසල් රාශියක් පලාතේ ඇරඹීමට මූලිකව ක්‍රියාකළ අතර සමාජයට සිදුකළ මෙහෙය අපමණ විය. 

අනෙක් ඥාති ස්වාමින්වහන්සේ වූ නෙළුවේ ශ්‍රී ජිනරතන ස්වාමින් වහන්සේ ඉන්දියාවේ කල්කටා නුවර පංසලක විසූ අතර අනගාරික ධර්මපාල තුමන් ඇරඹූ ඉන්දියානු මහාබෝධි සමාඟමේ ලේකම්වරයා විය. 

ඉඳින් , පුංචි හාමුදුරුවන්ව උඩුගම සාසනාලංකාරාමයට ගෙනගොස් ඇරලීමට පියා කටයුතු කළ අතර 1966 වසරේදී නැවතත් පැවිදි දිවියට ඇතුළත්කරනු ලැබිණ. එහිදී මෙම කටයුත්තට නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනේ නායක හාමුදුරුවන් වූ කදුරුපොකුණේ ධම්මාවංස හාමුදුරුවන් මූලික වී කටයුතු කළ අතර කුඩා හාමුදුරුවන්ගේ සිවුරුපටිය කරේ බඳින ලද්දේද උන්වහන්සේ විසිනි. මෙහිදී පොඩි හාමුදුරුවන්ට නමක් ලබා නොදුන් අතර ඕනෑ නමක් දමාගැනීමට අවසර දෙනු ලැබිණ. එහෙයින් උන්වහන්සේගේ ගිහි කල නම වූ බන්දුල යන නමම පාවිච්චියට ගැනුනු අතර දෙමාපියන්ගේ ගමේ නමද මුලට යොදා තවලම බන්දුල නමින් දෙවැනි වරට පැවිදි දිවිය ඇරඹූ සේක. 

ඉන්පසු නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනින් අධ්‍යාපනය ලැබීම ඇරඹූ තවලම බන්දුල ස්වාමින් වහන්සේ එහිදී හොඳින් ඉගෙනීමේ කටයුතු කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක විභාගය සහ ප්‍රාචීන මධ්‍යම විභාගයද සමත්ව අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළද ඉහලින්ම සමත් වීමට හැකියාව ලබා ගත්හ. 

1974 වසරේදී මහණුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාවද ලබා ගත් තවලම බන්දුල ස්වාමින් වහන්සේ 1975 වසරේදී පේරාදෙණිය සරසවියේ කලා පීඨයට ඇතුළු වූහ. එහිදී වසර 4 ක් පුරා සමාජ විද්‍යා විෂය හදාරා 1979 වසරේදී දෙවැනි පෙළ ගෞරව උපාධියක්ද සමඟින් තම උපාධිය සම්පූර්ණ කළේ උන්වහන්සේ සතු නිසර්ග හැකියාවන් ප්‍රදර්ශනය කරමිනි. 

1979 වසර වෙනවිට රටේ ඇතිවූ ආරථික සහ සාමාජීය වෙනස්කම් සහ තම ගුරුදේවයන් වූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද යතිවරයානන්ගේ අපවත්වීම ආදිය හමුවේ මේ ලිපියේ කතානායක ස්වාමින්වහන්සේ වූ තවලම බන්දුල හාමුදුරුවන්ට තම දිවියේ යම් වෙනසක් ඉතාමත් තදබල ලෙසින් දැනෙන්නට විය. එනම් මව්බිමෙහිම මෙලෙසින් වසනවාද නැතිනම් ලෝකයේ වෙන රටකට ගොස් ධර්මප්‍රචාර කටයුතු කරමින් ලෝකයට සමාජයට සේවයක් කරනවාද යන්නයි. 

මේ මොහොතේ උන්වහන්සේගේ මතකයට එකවරම ආවේ කල්කටාවේ සිටින තම ඥාති ස්වාමින් වහන්සේ වූ නෙළුවේ ශ්‍රී ජිනරතන හාමුදුරුවන්වය. වහා තම අදහස එනම් අධ්‍යාපන හමාරකොට ඇතිබව, ශ්‍රී ගුණානන්ද හාමුදුරුවන්ගේ අභාවය සහ තමන් පිටරටක ධර්මප්‍රචාරයට ඇති කැමැත්ත යන කාරණා දක්වා ලියමනක් තැපැල් කළේ ලැබෙන ඕනෑම පිළිතුරක් බලාපොරොත්තුවෙනි. එහෙත් ලැබුණු පිළිතුර බන්දුල හාමුදුරුවන්ගේ බලාපොරොත්තු පුබුදුවාලීමට සමත් විය. 

ලැබුණු ඇරයුම ඉතසිතින් බාරගත් බන්දුල හාමුදුරුවෝ තමන්ගේ මිත්‍ර හිමිනමක් වූ අත්තනගල්ලේ ලංකානන්ද ස්වාමින් වහන්සේත් සමඟ කොළඹ කොටුව දුම්රියපළින් ප්‍රවේශපත්‍ර ගෙන තලේමන්නාරම දක්වා දුම්රියෙන් ගොස් එතැන සිට බෝට්ටුවක දකුණු ඉන්දියාවේ චෙන්නායී නුවරට ළඟා වූහ.  එතැනිනි කල්කටාව බලා ගිය උන්වහන්සේලා දෙනම ශ්‍රී ජිනරතන හාමුදුරුවන් බැහැදැක කල්කටාවේ එම විහාරස්ථානයේ දින කිහිපයක් ලැගුම් ගත්හ. 

ඉන්පසු ගුණානන්ද හාමුදුරුවන්ගේ මඟපෙන්වීම යටතේ ලංකාවෙන් පැමිණි මෙම නව යොවුන් හාමුදුරුවරු දෙනම කල්කටාවෙ වෙනත් ප්‍රාදේශීය විහාරස්ථානයක වැඩකටයුතු බලාකියාගෙන ධර්මප්‍රචාරක කටයුතු කිරීම සඳහා යවනු ලැබිණ. එතැන ටික දිනක් ඒ වැඩ කරමින් සිටිනා විට බන්දුල හාමුදුරුවන්ට සිතුනේ තම අධ්‍යපන සුදුසුකම් හා දැණුම අනුව මීට වඩා වැඩි සේවයක් සමාජයට හා බෞද්ධ ප්‍රජාවට කළ හැකි බවයි. එහෙයින් මේ ගැන දන්වා එම විහාරස්ථානයේ කටයුතු ලංකානන්ද හාමුදුරුවන්ට පැවරූ බන්දුල හාමුදුරුවෝ ආපසු කල්කටා විහාරයට වැඩමකොට  එහි උප ප්‍රධාන සංඝනායක තනතුරද හොඹවමින් එහි වසර අටක කාලයක් ගත කළේ තමන් සතු ආගමික හා පරිපාලන හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කරමිනි. 

ඒ කාලයේ දී කල්කටා විශ්ව විද්‍යාලයටද ඇතුළත් වූ උන්වහන්සේ පුස්තකාල සම්බන්ධ උපාධියක් සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර තමන් උපාධිය ගෙන තිබූ සමාජ විද්‍යා විෂයෙන්ම ශාස්ත්‍රපති උපාධියද දිනා ගැනීමට කටයුතු කළහ. 

කල්කටාවේ විහාරස්ථානයේ වැඩවසන සමයේ නෙළුවේ ශ්‍රී ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ මඟපෙන්වීම යටතේ කල්කටාවේද අනාථ නිවාසයක් නිර්මාණය කර ඒ තුළින් අන්ත අසරණ කාත්කවුරුත් නොමැති ළමුන්ට සරණක් වූයේ අනගාරික ධර්මපාල තුමන් ගත් මඟ යමිනි. අනගාරික ධර්මපාල පදනමේ උදව්වෙනි. 

මෙසේ කාලය ගෙවී ගිය අතර 1983 වසරේ දී නෙළුවේ ශ්‍රී ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟම එම විහාරස්ථානයේ පරිපාලන කටයුතුවල විශාල වෙනස්කමක් සිදුවිය. පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් මහා බෝධි සමාගමේ නව ලේකම් ධූරයට පත් වී පැමිණි අතර උන්වහන්සේ සමඟද අපේ තවලම බන්දුල ස්වාමීන්වහන්සේ තමන්ට පැවරුණු  වගකීම් ඉටුකරමින් විහාරස්ථානයේ සහ සමාජයේ දියුණුවට කටයුතු කළහ. එහෙත් තම දෙවැනි ගුරුදේවයන්ගේද අභාවයෙන් පසු වෙනත් තැනකට යෑමට කාලය පැමිණ ඇතිබව උන්වහන්සේට සිතිණ. මේ අදහස මාපලගම විපුලසාර ස්වාමීන්වහන්සේට සැලකළ විට උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් යුතුව ලංඩනයේ බෞද්ධ විහාරයේ පුරප්පාඩුවක් ඇතිබව සැලකර සිටියේ බන්දුල හාමුදුරුවන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. 

එකල ලංඩන් බෞද්ධ විහාරය බටහිර ලංඩනයේ චිසික් නගරයේ හීත්ෆීල්ඩ් ගාඩ්න්ස් පාරේ පිහිටි අතර එහි නායකත්වය දැරුවේ පූජ්‍ය මැදගම වජිරඥාණ ස්වාමීන්වහන්සේ විය. විපුලසාර හිමියන් වජිරඥාණ හිමියන්ට ලිපියක් යැවූ අතර ඊට කැමැත්ත පළකෙරුනෙන් ලංඩනයට යෑම සඳහා වීසා ගැනීමට අපගේ බන්දුල හාමුදුරුවන්ට ලංකාවට යෑමට සිදු විය.  ඒ 1987 වසරේ දීය. කොළඹදී සම්මුඛ පරීක්ෂනයකට මුහුණදුන් බන්දුල හිමියන් එයින් සමත්ව තෙවසරක කාලයක් සඳහා ලංඩනයට පා තැබුවේ 1987 වසරේදීමය. 

එවකට ලංඩන් විහාරයේ දායක පිරිස දෙකට බෙදී යම් අරබුධකාරී තත්ත්වයක් පැන නැගී තිබිණ. සමාජ විද්‍යාව හා පරිපාලනයේ හසල දැණුමක් තිබූ බන්දුල ස්වාමින් වහන්සේ වජිරඥාණ නායක හාමුදුරුවන්ගේද අනුශාසනය යටතේ මෙම අරබුදකාරී තත්ත්වය සමනය කොට දායකයන් අතර සමගිය ගොඩනැඟීමට සමත් වූහ. එහිදී විහාරස්ථානයේ අයවැය කටයුතු හා ප්‍රචාරක කටයුතු ආදිය කිරීම බන්දුල හාමුදුරුවන්ට පැවරුණු අතර උන්වහන්සේ විහාරස්ථානයේ දහම්පාසල ඇරඹීමටද මූලික වී ක්‍රියා කළහ. මේ අතර කොම්පියුටර් තාක්ෂණයද ඉගෙන ගත් අපේ බන්දුල ස්වාමීන්වහන්සේ දායකයන්ගේ දත්ත ගබඩාකර ගැනීම ඔවුන්ට ඊමේල් යැවීම ආදි කටයුතුද මැනවින් ඉෂ්ඨ කරමින් විහාරස්ථානයේ දියුණුවට උර දුන්හ. වසර කිහිපයකට පසු 1994 දී ලංඩන් බෞද්ධ විහාරය එය වර්ථමානයේ පිහිටි දි ඇව්නිව් පාරට ගෙන එනු ලැබිණ. 

එතැන්පටන් විහාරයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව සුදු ජාතිකයින්ටද ධර්මය කියාදෙමින් ඒ සැමටම සැනසීමක් ලබාදීමට අපේ බන්දුල හාමුදුරුවෝ කටයුතු කළහ. එමෙන්ම විහාරයට අඩුවක්ව තිබූ වෙබ් අඩවිය නිර්මාණය කිරීම, දායකයන්ගේ දත්ත ගබඩා කිරීම, ඊමේල් යැවීම ආදිය උන්වහන්සේගේ ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා දැණුම ලබා ගත්තේ තේම්ස් වැලි විශ්ව විද්‍යාලයට ඇතුල් වී උන්වහන්සේ ලබාගත් පුස්තකාල සහ තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා උපාධියට පිංසිදු වන්නටය. මෙයින් අපට පෙනී යන්නේ ඉගෙනුමට සහ තමන් සිටිනා ආයතනයේ දියුණුව සඳහා උන්වහන්සේගේ ඇති කැපවීම සහ නොපසුබට උත්සහයේ තරමයි. 

විහාරස්ථානයේ දියුණුවට ,ආගමික සහ සාමාජික කටයුතු සඳහා තම දිවියම කැප කළ උන්වහන්සේ තමන් කල්කටාවේදී ක්‍රියත්මක කළ සුබසාදන වැඩකටයුතු අනුව යමින් රාහුල අරමුදල නමින් සුබසාදන අරමුදලක් පිහිටුවීමට මූලික වී කටයුතු කළ සේක. දායකයන්ගේ සහ වර්ථමාන ලංඩන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල ස්වාමින්වහන්සේගේද සහය ඇතිව ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන රාහුල පදනමින් ලංකාවේ පමණක් නොව නේපාලයේ පවා නැතිබැරි ළමුන්ගේ සුබසාධනය හා ඉගෙනීමේ කටයුතු සඳහා සලසනුලබන සේවය අතිමහත්ය. දැනට ළමුන් දාහක් පමණ මෙම අරමුදලින් පිහිට ලබන අතර ඉන් ආධාර උපකාර ලබා තම දිවිය සාර්ථක කරගත් ළමුන්ද බොහෝ පිරිසකි. වසර 22 ක් පුරා අඛණ්ඩව  ක්‍රියත්මකවන රාහුල පදනමේ නිර්මාතෘ අපේ බන්දුල හාමුදුරුවන් බව ගෞරවපූර්වකව නැවතත් සිහිපත් කරනුයේ උන්වහන්සේට කෘතවේදීත්වය පළකිරීමක් වශයෙනි. 

ඔබ දැන් කියවා අවසන් කළේ මේ වසරේ පොසොන් මස දෙවැනිදාට තම දිවියේ සැත්තෑවන සැතපුම් කනුවට පියනඟන ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බන්දුල ස්වාමින්වහන්සේ මෙතෙක් පැමිණි ගමන් මඟයි.  බොහෝ ස්වාමීන්වහන්සේලා මෙන් තමන්ගේම කියා පන්සලක් තනාගැනීම තම දිවියේ මූලිකම දෙය වශයෙන් සලකා ඒ සඳහා උනන්දු නොවූ අපේ බන්දුල හාමුදුරුවෝ තමන් වැඩවසනා විහාරස්ථානයේ දියුණුවට සහ එයට අනුබද්ධිත දායක දායිකාවන්ට ආගමික හා සාමාජීය සැනසීමක් උදාකර දීම තම දිවියේ උතුම්ම යුතුකම හා වගකීම ලෙස සිතා කටයුතු කළ සේක. උන්වහන්සේගේ ජීවන ගමන් මඟ අප කාටත් ආදර්ශ ලබාගත හැකි ඉතාමත් සාරථක ගමන් මඟක් වන්නේ එහෙයිනි. මෙම සටහන අවසන් කිරීමට මත්තෙන් මේ සඳහා මට තොරතුරු ලබා ගැනීමට දායක වූ ලංඩනයේ කිරණ ටීවී ජාලයේ විසින් උන්වහන්සේගේ දිවිය අළලා නිර්මාණය කරන ලද “යතිවර ගවේෂණය” වැඩසටහන වෙනුවෙන් කිරණ ටීවී ජාලයට මගේ ස්තූතිය පුදකරමි. මෙම සාසනික හා සමාජීය සේවාව තව තවත් ඉදිරියටම රැගෙන යමින් තව තවත් අපේ රටට හා සමාජයට සේවය කිරීමට අවශ්‍ය කායික හා මානසික නිදහස පූජ්‍ය තවලම බන්දුල ස්වාමින් වහන්සේට ලැබේවායි සහ උන්වහන්සේට නිදුක් නිරෝගී සුබම සුබ හැත්තෑවෙනි ජන්ම සංවත්සරයකට සුබාසිරි පතමින් මම මේ සටහන අවසන් කරමි.

සටහන- චන්දන ගුණසේකර

Sign up for our newsletter