Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සූර්යා

කලා ලොවෙහි වැජබෙන රංගනයට සහ ගීත ගායනයට එකලෙස දක්ෂ රංගන ශිල්පින් අතලොස්ස අතරින් අති දක්ෂයින් මතක් කලොත් අපට ඔහුව නිතර්කයෙන්ම සිහියට නැගෙනවා.

සමනල සන්ධවනිය චිත්‍රපටයෙන් කලා ලෝකයට පිවිස මේ වනවිට තනමල්විල කොල්ලෙක්, සකර්ම වැනි ටෙලි නිර්මාණ සහ වැලි පවුරු, Happy Birthday වැනි ච්ත්‍රපට තුලින් කලා ක්ශේත්‍රයේ ඉතා සාර්ථක ගමනක් යන ඔහුගේ දක්ෂතාවයන් අපට ඉදිරියේදී ජාත්‍යන්තර මාධ්‍යයක් ඔස්සේ තිරගතවිමට නියමිත ඉංග්‍රීසි චිත්‍රපටයක් තුලින් ද දැක ගන්න අවස්ථාව ලැබෙනවා.

වෘත්තීය කටයුතු මෙන්ම අධ්‍යාපනයද මනා ලෙස කලමනාකාරණය කරගත් ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බටහිර සංගිතය පිළිබදව උපාධියකටද හිමිකම් කියනවා. ඔහුගේ හඩ පෞර්ෂයට ලබැදි ප්‍රේක්ෂකයන්ට ලංකාවේ ප්‍රථම දමිළ දේශාභිමාන ගීතය ඔහුගේ හඩින් අහන්නට පහුගිය වකවානුවේදි අවස්ථාව ලැබුනා.

ඔහු නොපසුබට උත්සාහයෙන් සහ කැපකිරිමෙන් මෙන්ම ජිවිතයට එකතු කර අත්දැකීම් තුලින් දක්ෂ රංගන ශිල්පියෙකු, ගායන ශිල්පයෙකු මෙන්ම කලාවේ බොහෝ අංශ ස්පර්ශ කල පරිනත පුද්ගලයෙකු වෙනවා.

ඉදිරි කාලයේදි ඔහු අධ්‍යනයෙහි නියැලිමට බලාපොරොත්තු ආචාර්ය උපාධියෙහි කටයුතු සහ රංගන, ගායන, නිවේදන වැඩ කටයුතු ඉතා සාර්ථක වේවා යැයි උණුසුම් සුභ පැතුම් එක් කරමින් මෙවර අපි සමග පිළිසදරට එක් කර ගන්නේ කලාලොවෙහි සූර්යා ලෝකය ගයන රංගන ශිල්පි සූර්යා දයාරුවන්…

▪️සූර්යා මේ දවස්වල මොනවාද කරන්නේ?

මෙම දිනවල මම වැඩ කටයුතු කිපයක්ම කාලය කළමනාකරණය කර ගනිමින් කරගෙන යනවා.

මම මේ දවස්වල හිරු tv නාලිකාවෙහි විකාශනය වන “දිවිතුරා ” ටෙලිනාට්‍යයෙහි රූපගත කිරිම් සදහා සහභාගි වෙනවා. එමෙන්ම ඉදිරියේදී විකාශනයවිමට නියමිත ලාල් දේවරත්න මහතා අධක්ෂණය කරන “කලියුගකාලය” ටෙලිනාට්‍යයෙහි සහ සුපුන් රත්නායක මහතාගේ “4 චූන් රෙසිඩන්සීස්” ටෙලිනාට්‍යයෙහි රූපගත කිරිම් සමග සම්බන්ධ වෙලා ඉන්නවා.

මම “Grade 14” නමින් අලුතින් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. සංගීත ප්‍රසංග කිපයක් සදහා අපි මේ දවස්වල පුහුණුවිම කරගෙන යනවා. ඒත් එක්කම තිසර ඉඹුලාන මහතා සමග “මනසාරි” මගේ අලුත්ම ගිතයෙහි Music video ව සදහා සුදානම් වෙනවා.

මම රංගනයෙන් දායක වුන Back to elephant island නම් ඉංග්‍රීසි ච්ත්‍රපටයෙහි හඩකැවිම් සදහා ඉදිරි දිනවල සහභාගි වෙන්න නියමිත වෙලා තියනවා.

එමෙන්ම රූපවාහිනි නාලිකාවක නිවේදන කටයුත්තක් සදහා ආරාධනාවක් ලැබිලා තියනවා. ඉදිරියේදී එම කටයුත්ත ස්ථීර වුනාම මගේ ප්‍රේක්ෂකයන්ට ඒ ගැන දැන ගන්න ලැබේවි.

▪️ඔබ රංගනයෙන් දායක වුන ජාත්‍යන්තර මාධ්‍යයක් ඔස්සේ තිරගතවිමට නියම්ත ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබදව තොරතුරු ටිකක් කියමුද?

මගේ අලුත් ගීතයක පටිගත කිරිමක් අතරතුරේ මට දුරකථන ඇමතුමක් ආවා “ඉංග්‍රීසි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සදහා මාව තෝරාගෙන ඉන්නවා” කියලා. මම හිතුවේ කවුරුහරි මට විහිලුවක් කරනවා කියලා. ඉතින් මම පොඩි වෙලාවක් ඉල්ලගෙන ඒ පිළිබදව හොයලා බලලා ආපසු එයාලට කතා කලා.

රංගනය ගැන හීනෙකින්වත් නොදැකපු කෙනෙක් හැටියට සමනල සන්දවනිය ච්ත්‍රපටයෙන් ආරම්භ කරපු මගේ රංගන ගමනෙහි මෙම ඉංග්‍රීසි චිත්‍රපටය වෙනස් අත්දැකීමක් වුනා. මෙම ච්ත්‍රපටයේ චානුකගේ චරිතය සදහා රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුනා. එහි මාත් සමග California වෙහි රංගන ශිල්පයෙකු සහ Austria වෙහි පදිංචි රංගන ශිල්පිනියක් රංගනයෙන් දායක වෙනවා.

උත්සාහයෙන්, විවිධ කැපකිරිම කරමින් සහ අලුත් දේවල් ජිවිතයට එකතු කර ගනිමින් රංගන ශිල්පයෙකු විදියට පරිනතවිමට සහ ක්ශේත්‍රයේ රදා පැවැත්මට මම මහන්සි වෙලා වැඩ කරනවා.

මෙම ච්ත්‍රපටය මගේ රංගන ජිවිතයේදි ලැබුනු හොද අවස්ථාවක් හැටියට මට කියන්න පුලුවන්. ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මාධ්‍යයක් ඔස්සේ මෙම ඉංග්‍රීසි චිත්‍රපටය තිරගතවිමට නියමිතයි.

▪️අලුත් ගීතයක් නිකුත් කරන්න ලහි ලහියේ ලෑස්ති වෙන බව අපට ආරංචි වුනා. ඒ පිළිබදව විස්තර ටිකක් කියමුද?

මෙය මගේ 78 වන ගීතය. මම හිතන්නේ ඒ තරම් මගේ ගීත ප්‍රමාණයක් තියනවා කියලා ගොඩක් දෙනා දන්නේ නැහැ. “මගේනේ” ගීතය සහ මගේ තවත් ගීත කිපයක් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙලා තියනවා.

මගේ අලුත්ම ගීතය “මනසාරි” රචනා කලේ ශෙහාන් ගලහිටියාව මහතා. මගේ විශ්වවිද්‍යාලයේ හොදම මිතුරා වන තුසිත් සිම්සන් මෙහි සංගීතය නිර්මාණය කලා.

මට හිතුනා මම මෙතෙක් ගායනා කල ගීතවලට වඩා වෙනස් බටහිර සංගීතට හුරු වේග රිද්මයට බර ගීතයක් නිර්මාණය කරන්න. විශේෂයෙන් මම විවිධ රටවල්වල සංගීත ප්‍රසංග සදහා ගීත ගායනා කරන්න සහභාගි වන නිසා ප්‍රසංග වේදිකාව සුදුසු ප්‍රේක්ෂකයා සමග හොදින් ගණුදෙනු කල හැකි ආකාරයට මෙම ගීතය නිර්මාණය වි තිබෙනවා. එමෙන්ම ඉංග්‍රීසි වචන යොදාගෙන ඉදිරියේදි මෙය නැවත නිර්මාණය කරන්නත් මගේ අදහසක් තියනවා.

මෙම ගිතයෙහි Music video නිර්මාණය කරන්නේ තිසර ඉඹුලාන මහතා. ඔහු දක්ෂ වෙනස් විදියට හිතන කෙනෙක්. මෙම video ව සදහා අපි කලු ජාතික යුවතියන් කිපදෙනෙක් සහභාගි කරගෙන තිබෙනවා. ඉතින් එයත් Music video කලාවෙහි විශේෂ සිදුවිමක් වේවි කියලා මම හිතනවා.

Soorya Dayaruwan මගේ Youtube channel එක ඔස්සේ ලගදීම මෙම ගීතය නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු මගේ පර්යේෂනාත්මක නිර්මාණය කොයි විදියට ප්‍රේක්ෂකයන්ට ලං වෙයිද? ජනප්‍රිය වෙයිද කියලා.

ඒවගේම මට විශේෂ දෙයක් කියන්න තියනවා. පෙබරවාරි 4 වෙනිදා මගේ පළමුවෙනි දමිළ ගීත නිර්මාණය නිකුත් වුනා. මෙය ලංකාවෙ නිර්මාණය වුන ප්‍රථම දේශාභිමාන ගීතය වෙනවා. ඉතින් තිළිණ රුහුණගේ මහතා සංගීතය නිර්මාණය කල, L S රාධිකා විසින් පද රචනය කල ලංකාවේ ප්‍රථම දමිළ දේශාභිමාන ගීතය ගායනා කරන්නට මට අවස්ථාව ලැබීම ගැන මට ලොකු සතුටක් තියනවා.

▪️ඔබගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වුන “සමනල සන්ධවනිය” ච්ත්‍රපටය ඇතුලු අති සාර්ථක නිර්මාණය බොහෝමයකම රංගනයෙන් දායක වන්නට ඔබට අවස්ථාව ලැබුනා. ඔබ එතෙක් මෙතෙක් රංගනයෙන් දායක වුන නිර්මාණය පිළිබදව මතක් කලොත්…

2011 වර්ෂයේදී “සමනල සන්ධවනිය ” ච්ත්‍රපටය හරහා රංගන ක්ශේත්‍රයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. පුංචි තිරයෙහි මගේ ප්‍රථම ටෙලිනාට්‍යය වන්නේ ශර්ලි පි දෙලංකාවල මහතාගේ “පෝටා වැටිය” ටෙලි නිර්මාණයයි.

අවුරුදු 12 වැනි පොඩි කාලයක් ඇතුලත මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරම ච්ත්‍රපට 10 ක් සහ ටෙලිනාට්‍යය 33 ක් වැනි ප්‍රමාණයකට මේ වනවිට දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබිම මගේ වාසනාවක් කියලා මම හිතනවා.

තනමල්විල කොල්ලෙක්, සකර්ම, සල්මල් ආරාමය, තෝඩු, Click, වැලි පවුරු වැනි වෙනස් විදියේ නිර්මාණ තුලින් ප්‍රේක්ෂක හිතේ සලකුණක් තබන්නට හැකිවුනා කියලා මම විශ්වාස කරනවා.

▪ඔබ කාර්යබහුල රංගන ශිල්පයෙක් මෙන්ම ඉතා ජනප්‍රිය ගායන ශිල්පයෙක්. ඒ සියලුම දේවල් සමග ඔබ අදටත් ඔබගේ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යනවා. ඒ පිළිබදව ප්‍රේක්ෂක අපි දැන ගන්න කැමතියි.

මම පොළොන්නරුවේ ඉහකුලුවැව කණිෂ්ඨ විද්‍යාලය, අත්තනකඩවල මහා විද්‍යාලය සහ
පොළොන්නරුව තෝපා වැව මහා විද්‍යාලය යන පාසැල් ත්‍රිත්වයෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන්පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුලත් වි බටහිර සංගිතය පිළිබදව උපාධිය ලබා ගන්නවා.

මට පොඩිකාලයේ ඉදලාම අදහසක් තිබුනා ලංකාවෙන් පිට බටහිර රටවල් සමග ගණුදෙනු කරන්න බටහිර සංගීතය හදාරන්න ඕනේ කියලා නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල ඒ සදහා මට අවස්ථාවක් ලැබුනේ නැහැ.

විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කලාට පස්සේ Royal London Trinity College හි Classical Singing සම්බන්ධයෙන් ATCL නම් විභාගය සම්පුර්ණ කරන්න මට හැකියාව ලැබුනා.

ඉන්පසු මම ඔස්ට්‍රේලියාවේ Sydney හි University of Wollongong නම් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. එහිදි මට Masters & ආචාර්ය උපාධිය (PHD) සදහා ඔවුන් ශිෂ්වත්වයක් ලබා දෙනවා නමුත් මම එහි හිටියේ ඉතා කෙටි කාලයයි. ඉන්පසු මම Germany යේ University of Munich නම් විශ්වවිද්‍යාලය සමගත් ඉතා කෙටි කාලයක් සම්බන්ධ වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. මම වැරදි තිරණයක් ගත්තා ද දන්නැ. මට හිතුනා මගේ හැකියාවන් විශාල පරාසයක විහිද ගන්න එහිදි වටපිටාව හදා ගන්න අපහසුයි කියලා.

ඉදිරියේදි මගේ ආචාර්ය උපාධිය (PHD) වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සදහා ඇමරිකාව බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙම දිනවල ඒ සදහා මුලිකව අවශ්‍ය විභාග කිපයකට ලෑස්ති වෙමින් ඉන්නවා.

ඉතින් මට කියන්න තියෙන්නේ අධ්‍යාපනය කටයුතු කවදාවත් අත් හරින්න එපා. ඔබ ලබා ගත් අධ්‍යාපනයේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වෙන් නෑ. ඔබගේ පෞර්ෂත්වය වර්ධනය කර ගනිමින් අධ්‍යාපනයෙන් ලෝකය ජයග්‍රහණය කර අපේ ලංකාවට වටිනාකමක් ලබා දෙන්න. එදාට ඔබට වට්ටන්න කාටවත් බැහැ.

▪ඔබගේ ගීත අතුරින් මෑත කාලයේදි අති සාර්ථකව ප්‍රේක්ෂක සිත්ගත් “මගේ නේ” ගීතයෙහි ගායනා කරන ආකාරයට මගේ නේ කියන්න කෙනෙක් ඉන්නවද?

ඔබ හරිම අමාරු ප්‍රශ්නයක් සරලව ඇහුවේ. මගේනේ කියලා කියන්න කෙනෙක් හිටියා. නමුත් දැන් නැහැ.

මම හිතනවා ආදරය, විරහය සහ ඒ තුලින් ලබා ගන්නා අත්දැකීම්වලින් මම යන ගමනේදි මගේනේ කියන්න මගේ ජිවිතයට ශක්තිය වන හරි කෙනාව ලැබෙයි කියලා. වගකිම් සහිත පුද්ගලයෙක්, හොද ආදරවන්තයෙක් වෙන්න මට පුලුවන් වෙයි කියලා මම හිතනවා.

ඉතින් මගේ නේ කියලා කිව්වට මගේ නේ කියන්න කෙනෙක් නම් තාම ලැබුනේ නැහැ.

▪ඔබ මේ ආපු සාර්ථක ගමනෙහි ඔබට හයියක් වු ඔබගේ ආදරණීය පවුලේ අය සහ ඔබට විශේෂ පුද්ගලයන් මතක් කලොත්…

මගේ ගම පොළොන්නරුව දිය බෙදුම ඉහකුලුවැව. මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අයියයි, අක්කලා 5 දෙනයි, මමයි. මම පවුලේ 7 වෙනියා.
පොඩි කාලයේ ඉදන්ම හැමදේටම මගේ පවුලේ අය මගේ ලගින් හිටියා. ඒවගේම මගේ ලගින් හිටිය මගේ නෑදෑයෝ සහ යාළුවෝ සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා.

මට සංගීතයේ මුලකුරු කියා දුන් පොළොන්නරුවේ යු ජි සුනිල් ආරියරත්න ගුරුතුමා, උසස්පෙළ පන්තියේ සංගිත ගුරුතුමිය චාන්දනි වීරසේකර මහත්මිය ඇතුලු පළමුවෙනි වසරේ සිට මේ වෙනකම් ගුරුහරුකම් දුන් සෑම ගුරුවරයෙක්ම මම කෘතවේදීව මතක් කරනවා.

විශේෂයෙන් මතක් කරන්න ඕනේ කලා ක්ශේත්‍රයට අවතිරණ වෙන්න මට ලොකු ශක්තිය වුන දර්ශන රුවන් දිසානායක මහතාව. ඒවගේම ජයන්ත චන්ද්‍රසිරි අධක්ෂකතුමා ඇතුලු මම සම්බන්ධ වුන සියලු නිර්මාණයවල අධක්ෂකවරු සහ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.

මට සමීපව ශක්තියක් වෙලා උදව් කරපු සන්ද්‍යා ජයසූරිය මහත්මිය, බුද්ධිකා පෙරේරා මහත්මිය, සුරංජිත් වික්‍රමාරච්චි මහතා, අකලංක ඉන්ද්‍රජිත් මහතා වැනි බොහොමයක් ඉන්නවා. එමෙන්ම හොද නරක වචනෙකින් හරි කියලා දුන් සහ ආශිර්වාද කරපු නොකරපු හැමදෙනාටම බොහොම ස්තුතියි කියන්න මෙය මම අවස්ථාවක් කර ගන්නවා.

▪ප්‍රේක්ෂක අපට ඉදිරියේදි ඔබට දකින්නට ලැබෙන නිර්මාණ මොනවාද?

මම රංගනයෙන් දායක වෙන ලලිත් රෝහිත මහතා අධ්‍යක්ෂණය කල “තට්ටු දෙකේ ඉස්කෝලේ” ච්ත්‍රපටය පෙබරවාරි 17 වෙනිදා සිට MPI මණ්ඩලය ඇතුලු දිවයිනපුරා සිනමාහල්වල තිරගත වනවා. එමෙන්ම
නලින් මාපිටිය මහතාගේ තානාපතිලාගේ ගෙදර, දර්ශන රුවන් දිසානයක මහතාගේ ගොවි තාත්තා සහ
නිහාල් බණ්ඩාර මහතාගේ Back to Elephant island ඉංග්‍රීසි ච්ත්‍රපටය වැනි ච්ත්‍රපටද ඉදිරියේදි තිරගතවිමට නියමිත වි තිබෙනවා.

ඒවගේම මම රංගනයෙන් දායක වුන,

හෘද සාක්ෂිය – රොශාන් අහංගම
පින්ක් – ධනුෂක
හිත ළග අත්තටු – කැලුම් උඩුවාවල
හතරැස් බිබිළු – නිමල් රත්නායක
අසලියා – මංජුල මොරගහ
යාදින්නී – ඉංදික ධර්මතිලක
නිමාවක් නෑ ආදරේ – සුජිත් පරණවිතාන
කලියුග කාලය – ලාල් දේවරත්න
4 චූන් රෙසිඩන්සීස් – සුපුන් රත්නායක
මන්දාරම් කොළඹ – සුරංජන් මහානාම

වැනි ටෙලිනාට්‍යය තුලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව ඉදිරියේදි දකින්නට ලැබේවි.

සුරංජන් විජේනාම මහතා අධක්ෂණය කල මන්දාරම් කොළඹ ටෙලිනාට්‍යය තුලින් සියත TV ඔස්සේ සතියේ දවස් පහේම රාත්‍රි 7 ට ඔබට නරඹන්නට පුලුවනි.

අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කල 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ “තෙමෙන කහවණු” තේමා ගිතය ගායනා කරන්න මට අවස්ථාව ලැබුනා. එම ච්ත්‍රපට මාර්තු 23 සිට තිරගතවිමට නියමිතව තියනවා. එමෙන්ම මගේම ස්වතන්ත්‍ර ගීත නිර්මාණ කිපයක්ම
ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදි රසවින්දනට ලැබේවි.

එමෙන්ම නාලක සජී අයියා ප්‍රමුඛ මගේ සංගීත කණ්ඩායමෙහි වැඩ කටයුතු ඉදිරියේදි සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මම කලින් සදහන් කල ආකාරයට ඔබට මාව රූපවාහිනි නාලිකාවක් තුලින් නිවේදන කටයුත්තකින් දකින්නටත් ලැබේවි.

අමා නාකන්දලගේ

Sign up for our newsletter