‘පුතේ පපුව රිදෙනවා’ කිව් පසුව මෙමා
‘තාත්තා පරිස්සමක් නෑනේ’ කිව්වා පුතා
අද නම් පුතේ වැඩිපුර මට රිදෙයි කියා
කීවත් පුතු පයිසෙට මායිම් නොකර ගියා
ඇස් දෙක මගෙ උණු කඳුළින් ඉනුව නියා
කඳුළු පිසින්න දිනිතිය දැන් නොමැති නිසා
තනිව පාළුවෙන් යහනක ඉන්න නිසා
මගේ මතකෙ අතීතෙටම රැගෙන ගියා
පුතු ඉපදුන දිනවල මට නින්දක් කොහිද
නිතර බලන්නේ පුතු මගෙ අසනීපෙන්ද
ගෙට ගොඩ වන්නේ අහලා පුතු කෑවාද
පුතු නළවන්න කෙතරම් ගී පද කීවාද
ලොව හොඳම දේ දෙන්නට පුතුට මගේ
වෙහෙසුනෙමි රෑ එළිවෙනකම්ම වගේ
සතපහ නැති දිනට දුක තද කරන් හිතේ
වතුර ඩිංඟක් බී නින්දට ගියා පුතේ
හොඳම පාසලක් අකුරට නුඹට පුතේ
හැමට වඩා ඕන වුණේ මටයි පුතේ
සල්ලි තිබ්බෙ නෑ මට යහමින්ම අතේ
ණයත් වෙලා ඒකත් මං කළා පුතේ
අතේ පයේ පොඩි සීරිමක් වුණත් නුඹේ
කලබල වෙලා දුක ගත්තෙත් පියා නුඹේ
කහවණු නැතත් බිම්බිසාරටම වගේ
හැම සැප දුන්නා අඩුවක් නැතිව අගේ
විභාග සැම පුතු ඉහළින් සමත් වුණා
රැකියාවත් පුතු මහිමෙට හිමිම වුණා
ඩිංග ඩිංග කරදඬු උස් මහත් වුණා
ආඩම්බරෙන් මගෙ හදවත සතුටු වුණා
පුතුගෙ විවාහෙට සල්ලිත් ඕන නිසා
ඉසිඹු ලැබුවා මම පස් වසරක්ම තියා
ගම් හතටම හොඳහැටි මඟුල් කියා
පුතු තුට දැක මගෙ දුක සැඟව ගියා
මතකයේ ගිලී යහනේ මා දැන් වැතිර
පපු රිදුමේ වැඩි වේගෙන එයි නිතර
දුරකථනෙන් පුතු හට ඇමතුව අතර
‘මීටිමක ඉන්නේ’ එපාලු කතාව නිතර
පුත නුඹ පියාට කතා බැරිය අදින් මතු
හුස්ම මගේ හිරවීගෙන එනවා පුතු
අවසන් වරට වදනක් ඇත කිවම යුතු
අජාසත් සේ පසුතැවිලි නොවන් පුතු
________________________ච | රි | යා_______
ප:ලි: රැකියාව, මිල මුදල් හෝ වෙන යම් භෞතික වස්තූන් ඉදිරියේ වහල් නොවී දිවියේ උත්තරීතරම වස්තූව වන දෙමාපියන්ට දැක්විය යුතු සෙනෙහස, ආදරය, රැකවරණය නොඅඩුව ලබා දීමට වග බලා ගන්න. නැතහොත් නිසැකවම දිනෙක ඔබ පසුතැවිලි වනු ඇත