අවසාන කොටස.
මම ජීවත් වුනේ පුදුමාකාර නිදහසකින්. ඒ නිදහස ගෙවුනු අවුරුද්දක කාලයකදි නැත්තටම නැති වෙලා ගියේ මගේ හිතුවක්කාරකම් නිසාද නැත්නම් ඕනෑවටත් වඩා තිමිරට අවනත වුනු නිසාද කියන්න මම තාමත් දන්නෙ නෑ.
‘බලපන්, දිනූශා අක්කයි තිමිරයි ඉන්න විදිය. උන් දෙන්නා ඉන්න හැටි දැක්කම බදින්න ආස හිතෙනවා..
‘කෝ..කෝ කොහෙද ඉන්නේ?
‘අර අතන කොනේ.. දෙන්නා මොනවදෝ කකා මයිලෝ බොනවා.. එහෙම තමා ඉන්න ඕනි..
මගේ මිතුරියක වුනු සචිනි තිමිරත් දිනූශාත් දිහා බලාගෙන කියද්දී ඒ පැත්ත නොබලා ඉන්න, ඒ ගැන දැනෙන වේදනාව යටපත් කරගන්න මම පුදුම විදියට උත්සහා කලා. ඒත් මගේ ඒ වෙනස සචිනිටත් දැනුනු නිසාද කොහෙද ඇය මගේ අතින් අල්ලා ගත්තේ හරිම ලෙන්ගතුකමින්.
‘ටික දවසක් තිස්සේ මම උඹේ ලොකු වෙනසක් දකිනවා බන්ධනා. තිමිර කියන නම ඇහුනත් උඹ ගැස්සෙනවා. මට ඇත්ත කියපන්. මොකද්ද මේ වෙලා තියෙන්නේ?’
එක හුස්මට සචිනි මගේ ඇස් දිහා බලාගෙන අහද්දි මට හැඬුම් වාවාගන්න බැරි වුනා. එහෙමම අවන්හලෙන් පිටතට දුවගෙන එද්දි මම කාගෙදෝ ඇඟකත් හැප්පුනා. ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න වත් නොඉද මම දුවගෙන ඇවිත් නතර වුනේ බෝඩිම් කාමරයේ. එදා හවස මම හැමදේම සචිනි එක්ක කිව්වා. කාලෙකට පස්සේ කෙනෙක් ඉස්සරහා හිතේ හැටියට ඇඬුවා. මගේ කතාවට සචිනි බාධා කලේවත් බැන්නෙ වත් නෑ. ඒත් අන්තිමට ඇය කිව්ව දෙයින් මම තීරණය කලා මම තව දුරටත් තිමිරගේ අනියම් බිරිඳ භූමිකාවෙන් ඉවත් විය යුතු බව. ඒ වචන ඒ තරමටම මගේ හිතට කතා කලා.
‘දිනූශා අක්කා ප්‍රෙග්නන්ට්… උඹව තිමිර යූස් කරනවා විතරයි. අනික බන්ධනා, කසාද බැඳපු මිනිහෙක් තමන්ගේ ගෑණිව දාලා තව ගෑණියෙක් ළඟට යන්නේ ඒ ගෑණිව හොර ගෑණි විදියට තියාගන්න මිසක් ආදරේට නෙවෙයි. උඹම හිතලා බලපන්. එච්චර උඹට ආදරෙයි නම් දිනූශාට කොහොමද බබාල හම්බවෙන්නේ? ආදරේ කියන්නෙ ඇස් මානේ තියාගෙන පරිස්සම් කරන දෙයක්.. උඹට ඒ විදියේ ආදරයක් ලැබුනු කාලෙක තේරෙයි. අනික, නිකමට හිතපන්. උඹ තිමිරව බැඳලා දිනූශා තුන්වෙනියෙක් වෙනවට කැමතිද ආහ්?
එදා සචිනි ඒ ටික කියද්දි මම ඒ වචනයක් ගානේ අහගෙන උන්නේ මට මම ගැනම පිළිකුලක් දැනෙද්දියි. අවුරුද්දක් පුරාවට තිමිරගේ හොර වැඩ වලට මාත් කොටස් කාරයෙක් වුනා නේද කියන හැඟීම මගේ පපුවට තදින්ම දැනෙන්න වුනා. මට නිදහසේ හිතන්න ඉඩ දීලා සචිනි කාමරයෙන් යද්දී මම අවසාන වතාවට තිමිරට ඇමතුමක් ගත්තා.
‘ඔව් කියපන්.. මම මේ ගෙදර..මොකද වෙන්නේ?
මෙච්චර කල් මේ වගේ කතා මට ලොකුවට නොතේරුනත් අද අනියම් බිරිඳක් වීම මොන තරම් පහත්ද කියලා තේරුනේ තිමිරගේ කතාවෙන්. ආයෙත් සචිනිගේ වචන මගේ කන් වල දෝංකාර දෙන්න වුනා..
‘කසාඳ බැදපු පිරිමි තමන්ගෙ ගෑණිව අත් ඇරලා වෙන ගෑනියෙක්ව කසාද බදින්නේ ඒකට සාධාරණ හේතු තිබුනොත් විතරයි. තිමිර කියන්නෙ දිනූශාව කවදාවත් අත අරින කෙනෙක් නෙවෙයි…
…………………………………………..
‘භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා…..’
පෝරු මස්තකයේ ඉදන් මම මගේ අනික් පසින් සිටින රූපය දිහා බලාගෙන උන්නේ හරි ආදරෙයෙන්. අවුරුදු ගානක් තිස්සේ මගේ ආදරය පතාගෙන ආව එරංග මගේ එහා පැත්තෙන් හිටගෙන ඉන්නවා දකිද්දි මට දැනෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්. මගේ ජීවිතේ සිද්ද වුනු හැමදෙයක්ම අඩුවක් නැතිව දැනගෙනත් එරංගගේ ආදරේ දවසින් දවස වැඩි වුනා මිසක් අඩුවුනේ නෑ. කාලයක් තිමිර සහ දිනූශගෙයි ආදරේ ගැන කතා කරපු අය මමයි එරංගයි ගැන කියද්දි මගේ ඇස් කඳුලින් තෙත් වුනේ මටත් නොදැනීමයි. වැහි පොදේකින් පවා මාව පරිස්සම් කරපු එරංග නතර වුනේ මාව පෝරුවට නග්ගලමයි.
සචිනිගේ වචන වලින් පස්සේ තිමිරව මම මඟ හරින්න පුලුවන් හැම විදියටම මඟ හැරියා. තිමිර සෑහෙන්න උත්සහ කලා මාව මුණගැහෙන්න වගේම එක එක දුරකථන අංක වලින් ඇමතුම් ගන්නත්. ඒත් අන්තිමට එයාටම හති වැටුනා. ඊටපස්සේ මමත් තිමිරත් එකම රෝහලක හැසිරුනේ නන්නාදුනන අය ලෙසිනි.
අතීතය ගැන මට දුකයිද?
ඇත්තටම නෑ. තිමිර ගැන නොතේරෙන්න මම එරංගට කවදාවත් ලං වෙන්නෙ නැති වෙයි. මේ තරම් හොඳ රැකියාවක් කරද්දිත් සමාජයට මම අනියම් බිරිඳක් වෙන්න තිබුනා. කිසිම සතුටක් නැතිව රෑ ගනං අඩපු මට රෑ ගණං හිනා වෙන්න ඉගෙන්නුවේ එරංගයි. ඉතින් මට අතීතය ගැන දුකක් නෑ.
අතීතයේ බර බිමින් තියලා වර්තමානයට ඇවිත් මම ගොඩාක් දවස්. පෝරුවේ චාරිත්‍ර වල අවසානයට ලන් වෙද්දි මම සෙනඟ අතරින් බැලුවේ සචිනි දිහා. ඒ ඇස් වල තියෙන අව්‍යාජ සතුට දිහා මම බලාගෙන උන්නේ හරි ආදරයෙන්. ඇය නොහිටින්න මගේ ජීවිතේ මේ තරම් සුන්දර නෑ. මගේ දිහා බලාගෙන ඇය මොනවාදෝ කියද්දි මම හිනා වුනා. ඒත් එක්කම එරංග මගේ අතින් අල්ලා ගත්තා.
‘පිස්සි, කොයි ලෝකේ ඉන්නවද මන්දා. දැන් පෝරුවෙන් බහිමු. මේක උඩම ඉන්නද කල්පනාව?
‘ඔයා ඉන්නවා නම් කොහේ හිටියත් එකයි මට ‘
එරංගට ලං වෙලා එහෙම කිව්ව මම පෝරුමස්තකයෙන් බැස්සෙ මුළු ජීවිතයම මින් මතුවට අපි වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දුවෙමින්.
අවසානයි.
තක්ෂිලා ඒකනායක.