Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

චායාරූපකරණයට පිවිසෙමු

 චායාරූපකරණයට පිවිසෙමු – 4

කලින් වතාවේ සමු ගන්නකොට කිව්වා වගේම ඔන්න photography 4 වන ලිපියත් සමග මම ඔබ හමුවට ආවා. අපි අද කතා කරන්න යන්නේ කැමරා ගැන. මේ ලිපිය මෙන්න මේ කොටස් වලින් සමන්විත වෙනවා. 

  1. කැමරාවක ක්‍රියාකාරීත්වය සහ කැමරා කාච.
  2. විවිධ කැමරා වර්ග.
  3. DSLR කැමරාවක් හා Mirrorless කැමරාවක් අතර වෙනස.

කැමරාවක ක්‍රියාකාරීත්වය.

කැමරාවක් කියලා කියන්නේ දෘ‍ෂ්‍ය රූපයක් ග්‍රහණය කරගන්නා උපකරණයක්. මේකට ප්‍රධානවම අවශ්‍ය වෙනවා ‘ විවරයක්, එම විවරයෙන් හැර ආලෝකය ඇතුළු නොවන සේ මුද්‍රා තැබූ පෙට්ටියක් සහ ආලෝක සංවේදී පෘෂ්ඨයක්’ 

මතකද අපි පොඩි කාලේ හදපු සිදුරු කැමරාව. අන්න ඒක තමයි කැමරාවක සරලම ආකෘතිය.

මේකෙන් අපට පෙනෙන දර්ශනය ඉතාමත් දුර්වල එකක්. නමුත් නව තාක්ෂණය සහ උපකරණ භාවිතයෙන් අති සුපැහැදිලි දසුන් ලබාගන්න පුලුවන් කැමරා දැන් නිපදවෙලා තිබෙනවා.

අපි බලමු DSLR කැමරාවක දල සැකැස්ම.

නූතන කැමරාවක් ප්‍රධාන වශයෙන් කැමරා බඳ සහ කාච පද්ධතිය ලෙස කොටස් දෙකකට දකින්න පුලුවන්. මේ කාච පද්ධතිය මාරු කිරීමෙන් එකිනෙකට වෙනස් ආකාරයේ චායාරූප ලබාගන්න පුළුවන්. 

විවිධ කාච වර්ග

  1. Zoom lens

චායාරූප ශිල්පීන් අතර සුලභවම දක්නට ලැබෙන කාච වර්ගය වන්නේ මෙයයි. පුද්ගල චායාරූප වල සිට වනජීවී චායාරූප ලබාගැනීම දක්වා උපරිම පරාසයක කාච මාදිලි මෙම වර්ගයේ දක්නට ලැබේ.

බහුතරයක් කැමරාවන් සමග නොමිලයේ ලැබෙන 18 – 140mm හෝ 18 – 135mm කාච මෙන්ම මංගල චායාරූප ශිල්පීන් අතර කාලයක සිට ප්‍රකටව පවතින 70 – 200mm කාචයද zoom lens අතර ඉහළින්ම දක්නට ලැබේ. එමෙන් ම සංචාරකයන් හට පහසුවෙන් රැගෙන යා හැකි 18 – 200mm සහ 18 – 270mm කාචද ඉතාමත් ප්‍රචලිත කාචයන් වේ. 

  1. Prime lens

කැමරාව නිපදවූ කාලයේ පටන් මේ වනතෙක් පැවති කාච වර්ගයක් ලෙස prime lens හැඳින්විය හැක. 

මෙම කාච වලට ඇත්තේ එක් ස්ථාවර නාභි දුරකි. එම නිසා විශාලන හැකියාවක් නැත. 

නමුත් මෙම ස්ථාවර නාභි දුර නිසා මෙම කාච වලට වඩාත් තීවුර, ගුණාත්මක චායාරූප ලබාගැනීමට හැකියාවක් ඇත. නියමිත අවස්ථාවට උචිත කාචය ඔබ භාවිත කලොත් ඉතා උසස් තත්ත්වයේ චායාරූපයක් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් 85mm Art lens ද අයත් වන්නෙ මෙම prime lens ගණයටම වේ. එමෙන්ම landscape චායාරූපශිල්පීන් අතර 35mm කාචයද ඉතා ප්‍රචලිත කාචයකි.

  1. Telephoto lens

සාමාන්‍ය විශාලන කාචයක් (zoom lens) චායාරූපශිල්පීන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවේ නම් ඔවුන් telephoto lens භාවිතා කරයි. මේවා ඉතා ඉහළ විශාලන අගයන් ගෙන් සමන්විත වේ.

100mm සිට 600mm දක්වා විශාල පරාසයක විශාලන අගයක් සහිත කාචයන් මෙම වර්ගයට අයත්වේ. ඊටත් ඉහළ විශාලන අගයන්ගෙන් සමන්විත telephoto කාචයන් ද දැන් වෙලඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

ආධුනික චායාරූප ශිල්පීන්ට පහසුවෙන් දැරිය නොහැකි ඉහල මිල ගනන් වලට අලෙවි වන මෙම කාචයන් වෘත්තීමය වනජීවී චායාරූප ශිල්පීන් හා ක්‍රීඩා චායාරූප ශිල්පීන් වැළඳ ගන්නේ මහත් කැමැත්තකිනි.

  1. Wide-angle lens

ඔබට වඩා විශාල පරාසයක් ඔබගේ චායාරූපයට ලබා ගැනීමට අවශ්‍ය නම් wide-angle lens එකක් ඉතාමත් වැදගත් වේ. 18mm සිට 35mm වැනි අඩු නාභි දුරකින් සමන්විත නිසා ඔබට පෙනෙන දර්ශනයෙන් වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇත.

මෙම හේතුව නිසා landscape photography හා කලාත්මක wedding photography සඳහා මෙම කාචයන් භාවිතා කරයි.

  1. Fisheye lens

ඔබට wide-angle lens එකකටත් වඩා පුළුල් පරාසයක චායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය නම් fisheye lens එකකට මාරු වීමට සිදුවේවි. මෙම කාචයට ඉතාමත් ඉහළ දර්ශන පරාසයක චායාරූප ලබා ගැනීමේ හැකියාවක් පවතී.

8mm වැනි ඉතාමත් අවම නාභි දුර නිසා මෙය බහුලවම ගෘහ අභ්‍යන්තර චායාරූප කටයුතු සඳහා භාවිතා වේ.

ඉහළින් කතා කරපු ඕනෑම වර්ගයක කාචයක් හරහා ලබා ගන්නා ආලෝකය කැමරා බඳේ ඇති දර්පණයේ (mirror) වැදී ඉහළ ඇති prism viewing system එක හරහා ගොස් viewfinder එක හරහා ඇසට ලැබෙනවා. චායාරූපයක් ලබාගැනීමේදී දර්පණය ඉහළට එසවී ෂටරය විවෘත වෙනවා. එවිට ආලෝකය සෙන්සරය මතට පතිත වී චායාරූපය ග්‍රහණය කර ගැනීම  සිදු වෙනවා.

විවිධ කැමරා වර්ග වල මෙම යාන්ත්‍රණය විවිධාකාරයෙන් සිදු වෙනවා.

චායාරූපකරණය සඳහා වර්තමානයේ භාවිතා වෙන විවිධාකාර කැමරා වර්ග.

  1. DSLR cameras.
  2. Mirrorless cameras.
  3. Compact cameras.
  4. Instant cameras.
  5. Bridge cameras.
  6. Action cameras.
  7. 360 cameras.
  8. Mobile cameras.
  9. Medium format cameras.

සාමාන්‍ය චායාරූප ශිල්පීන් ලෙස අප බහුලවම භාවිතා කරන්නේ DSLR cameras සහ Mirrorless cameras ය. ඒ නිසා අපි මේ දෙකේ වෙනස හඳුනා ගනිමු.

Mirrorless යන නමින්ම මෙම කැමරා දෙකෙහි ප්‍රධාන වෙනස හැඳින්වෙන බව ඔබටත් වැටහෙනු ඇති. 

එනම් DSLR කැමරා වල, ආලෝකය viewfinder වෙත ගමන් කරවන දර්පණ (mirrors) පද්ධතිය mirrorless කැමරා වල අඩංගු නොවේ. Mirrorless කැමරා වල ආලෝකය කෙලින්ම පතිත වන්නේ සෙන්සරය මතටයි. කැමරා නිශ්පාදකයින් DSLR කැමරා වල ඇති Optical viewfinder වෙනුවට mirrorless කැමරා වලට Live viewfinder එකක් ලබාදී ඇත. එය කැමරාවේ ප්‍රධාන තිරය මෙන්ම වූ කුඩා නමුත් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් LCD තිරයකි. 

එමෙන්ම mirrorless කැමරා වල දර්පනය එසවෙන යාන්ත්‍රණය නොමැති නිසා චායාරූපයක් ලබා ගැනීමේ වේගය සාපේක්ෂව වැඩිය. එමනිසා burst mode එකේ චායාරූප ගැනීමේදී මිනිත්තුවකට ලබාගත ගත හැකි චායාරූප ප්‍රමාණය වැඩිය.

කැමරා බඳ සාපේක්ෂව බරින් අඩු නිසා චායාරූප ශිල්පීන් mirrorless කැමරාවලට මහත් ඇල්මක් දක්වයි. 

මෙම කලාපයේ ලිපිය මම මෙතනින් අවසන් කරනවා. මෙහි ඉතිරි කොටසින් ලබන කලාපයේ අපි කතා කරමු අනෙක් කැමරා වර්ග ගැන. එතෙක් ඔබට ජය!

බිනර සිසිරංජන

Sign up for our newsletter