ජීවිතාවර්ජනය තුළින් මත් රකුසාට බිලි වී අඳුරු කාලපරිච්ඡේදයක් පසුකරමින්, එයින් මිදී යහපත් ජීවිත ගත කරන ජීවිතවල පසු විපරමක් සති කිහිපයක් පුරාවට පාඨක ඔබ හමුවට ගෙන එනු ලැබුවා. අද පාඨක ඔබ වෙත ගෙන එනු ලබන්නේ වෙනස්ම වූ කථාවක්. ඔවුන් එසේ මත් රකුසාගෙන් මිදීමට ඔවුන්ට මහඟු අත්වැලක් වූ ඔවුන්ගේ ආදරණීයයන් අපට කිසි විටෙකත් අමතක කළ නොහැකියි. තුන්සිය හැටපස් දවසෙම මත් වී සිටි මිනිසුන් සමග එක වහලක් යට ජීවත් වූ ඔවුන්ගේ ආදරණීයයන් ශාරීරික හා මානසික තාඩන පීඩනයන්ට ලක් වෙමින් ඔවුන් වෙනුවෙන් කළ කැපකිරීම සහ දුක් ගැහැට ගැන කෙරෙන කතා බහයි මේ. අද මාත් සමග මේ සාකච්ඡාවට එකතු වන්නේ මීට සති කිහිපයකට පෙර ජීවිතාවර්ජනය තුළින් අපට මුණගැසුණු සහෘදයකුගේ බිරිඳක්. මෙහි එන නම් ගම් මනංකල්පිත වන අතර අනෙකුත්දෑ සත්‍ය සිදුවීම් වේ
1. ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
මට චම්පි කියන්න. ගම ගම්පහ. වයස අවුරුදු තිස් නවයයි. අවුරුදු දාහතරක පුතෙකුයි, අවුරුදු එකොළහක දුවෙකුයි ඉන්නවා.
2. විවාහ වෙලා කොච්චර කල්ද? ඔහු ගැන විස්තරයක් කියන්න.
දැනට විවාහ වෙලා අවුරුදු 15 ක් වෙනවා. අවුරුදු 7 ක් ආදරය කරලා තමයි විවාහ වුනේ. එයා පවුලේ එකම දරුවා. අයියා කෙනෙක් හිටියා , එත් අයියා අවුරුදු 21 දි ඩෙ0ගු හැදිලා මැරුනා. ඔහු හොඳ රැකියාව ක් කලා. එතකොටත් ඔහු මත්පැන් ගත්තා. ඒත් ඇබ්බැහි වෙලා හිටියෙ නැහැ.
3.කොහොමද එතකොට ඔයාගේ සැමියා මත්පැන් වලට ඇබ්බැහි වුනේ.
එයා කරපු රැකියාව නිසා නිතරම customer entertainments වලට එලියට යන්න උනා. ඒ යන්නෙත් NCC SSC වගේ තැන් වලට. සිකුරාදා කියන දවස එනවට වත් මම ඔය කාලෙ කැමති වුනේ නැහැ. ඔහොම කාලයක් යද්දි රැකියාවේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනකොට එයා හරියට frustrate වෙනවා. එතකොට එයා බියර් බීලා පරක්කු වෙලා ගෙදර එන්න ගත්තා. හැමදාම එහෙම වෙද්දි මාත් රන්ඩු වුණ. එතකොට එයා තවත් රෑ වෙලා ගෙදර එන්න වුනා. ඔක තමයි ඇබ්බැහි වීමෙ මුල.
4. ඔබට හා දරුවන්ට ඔහු නිසා විඳින්න වුන හිරිහැර අපහසුතා මොනවාද?
සතියකට දවස් හතරක් විතර රෑවෙලා බීලා එන කෙනා ඊට පස්සේ දවස ගානේ රෑවෙලා ගෙදර එන්න පටන් ගත්තා. මට ජීවිතේ එපා වෙලා තිබුනේ. එයාට මං ගොඩක් සැරයක් බීම නවත්තන්න කියලා කියලා තියෙනවා. හොදින් ඉන්න වෙලාවට හා කියලත් කියනවා. ඒත් හවස් වෙද්දි යාලුවො කතා කලාම ඒ හැම දේම අමතකයි. ඊට පස්සේ ඉතින් රෑ වෙලා බීලා ගෙදර ආවම පොඩි දේවල් අල්ලගෙන අන්තිමට ලොකුවට රණ්ඩු වෙනවා. සිංහල හෝඩියේ ලස්සනම වචන ටික එළියට එනවා. නිදාගෙන ඉන්න බබාලා හැරෙනවා. සමහර දවස් තිබ්බා මහ රෑ ඇවිත් රණ්ඩුවෙලා බබාලට පහුවදා ඉස්කෝලෙ යන්නත් නැහැ. තව සමහර දවස් තිබ්බා පහුවදාට බබාලට tarm test ඒත් ඇවිත් රණ්ඩු වෙනවා. පවු මගෙ දරුවො කොහොම විභාගයට උත්තර දෙනවා ඇතිද කියලා මම පහුවදා ට අඬ අඬා හිතනවා. තවත් දවසක අලුත් අවුරුද්දට ඉස්කෝලේ යන පලවෙනි දවස, මං හැම දෙයක්ම ලෑස්ති කරලා බබාලත් නිදාගෙන තමයි හිටියෙ එදා. පුරුදු විදිහටම බීලා ඇවිත් රණ්ඩු වෙලා බබාලට ඉස්කෝලේ යන්න බැරි වුණා. ඔය වගේ සිද්ධීන් තමයි බබාලට උනේ. එයාලා ගොඩක් මානසිකව වැටිලා හිටියේ. මමත් ජීවිතය ගැන ලොකු කලකිරීමකින් හිටියෙ. කීප සැරයක්ම කියලා තියෙනවා අපි වෙන්වෙමු කියලා. එයා ඒකට කැමති වුනෙත් නැහැ. මමත් chances දිදී දිදී හිටියා. අද හරියයි හෙට හරියයි කියලා බලන් හිටියා. ආර්ථික අපහසුතාවයන් ආවා ඒත් එයාට බොන්න අතේ සල්ලි තිබුණා. ගෙදර දරුවන්ගේ අවශ්‍යතා ඉෂ්ට කළා ඒත් ණය කන්දක් ගොඩගැහුනා. අවුරුදු හතක් වගේ කාලයක් කදී තමයි මේ සිද්ධීන් සිදු වුණේ. මේ කාලය ඇතුළත මම එයාගෙ බීම නවත්වන්න බෙහෙත් අරන් දුන්නා. counciling එක්කන් ගියා. මට පුළුවන් හැම දෙයක්ම කළා. ඒත් ඒ හැම දෙයක්ම ටික කාලයක් විතරයි. ඉතින් ගැහැණු ඉවසල ඉවසලා ගන්න තීරණ හරි දරුණුයි කියනවානෙ.. ඒ වගේ මටත් එපා වෙන දවසක් ආවා. ඒ කොරෝනා දවස්වල. මුළු රටේම ඇඳිරි නීතිය දාලා හැබැයි මේයා ගෙදර නෑ. මම තීරණයක් අරගෙන තිබුනෙ අයින් වෙන්න. ඔය අතරේ එයාගේ ඉස්කෝලෙ යාලුවො මේ ප්‍රශ්නෙ ටිකක් දැනගෙන එයාට කතා කළා. ඊට පස්සේ නිර්නාමික මත් ලෝලීන් මුදවාගැනීමේ සංසදයට යොමු කලා. මාස තුනක් විතර නොබී හිටියා. ඒ කාලෙ අත්තටම අපි සතුටින් හිටියා. ඒත් එයට ජොබ් එක නැති වුනා. ආයෙත් පරන ජීවිතේටම ගියා. එයාට මේක නවත්තන්න ඕන වුනත් ඒක කරන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ තනියම. ඊට පස්සේ ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න ගත්තා. මං එයාගෙන් separate වුණා. ඊට පස්සේ මම මාස හතරක් විතර එයා rehab වෙන්න යනකම් බබාලත් එක්ක තනියම හිටියෙ.
5. පුනරුත්ථාපනය වුන කාල සීමාව ගැන විස්තර කිව්වොත්..
ඇත්තටම පුනරුත්ථාපනය වෙන්න යනවා කියලා මට එයා කිව්වෙත් ඊට කලින් දවසේ. එයාට පවුල කියන දේ ඕන උන කෙනෙක්. එයාට හිතුනලු පුනරුත්ථාපනය නො වුණොත් එයාට මේ හැම දෙයක්ම නැති වෙනවා කියලා. ඉතිං ඒ තීරණයට මමත් කැමති වුණා. මට ඒ වෙනකොට එයා ගැන කිසිම හැඟීමක් වත් තිබුනේ නැහැ. ඉතින් එයාගේ කරදර නැති වෙන එක ගැනම මං සතුටු උනා.
එයාගෙ යාලුවො දෙන්නෙ පහුවදා උදේ ඇවිල්ලා එයාව එක්කගෙන ගියා. එයාව එතන center එකට දාලා මට කෝල් කරලා විස්තර කිව්වා. ගිය ගමන් සුදු සරමකුයි ෂර්ට් එකකුයි අඳින්න දීලා කොණ්ඩෙ තට්ටෙ ගෑවා කියලා. එයාලටත් ඒක දැකලා දුක හිතුනා කිව්වා. ඒ විස්තර මට කෝල් කරල කිව්වෙ මමත් ඔෆිස් එකේ ඉන්න ගමන්. මටත් වැඩ කරන්න mood එකක් තිබුනේ නැහැ. ඉක්මනින් ගෙදර ආවා. කොච්චර ඉන්නකම් අපිට කරදර කලත් තව මාස නමයකට එයා නෑ කියලා හිතුනහම පුදුම දුකක් ඇති වුණා. මමයි බබාලා දෙන්නයි එදා රෑ හොදයම ඇඬුවා. ඒ මාස නමයෙ කාලෙ ඇතුළත මට ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න තිබුණා. ඒ හැම දෙයක්ම අඬඅඬා විසඳ ගන්නකොට එයා ගැන තරහකුත් ඇති වුන වෙලාවල් තිබුණා. එයා නිසා නෙ මේහැම දෙයක්ම මට තනියම කරන්න වුනේ කියලා. ඒ center එකෙන් මාසෙකට දවසක් පැය භාගයක් එයාව බලන්න අවසර දුන්නා. ඊට අමතරව හතර වෙනි සතියේ විනාඩි පහක් කතා කරන්න දුන්නා. ඒ දවස් දෙක එනකන් කොච්චර වුණත් මම යි බබාලයි බලාගෙන හිටියා. අපි තුන්දෙනා හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුවා එයාව හොඳ මනුස්සයෙක් කරන්න කියලා.
6. දැන් ඔබ ඔහුත් සමග ගෙවන ජීවිතය මොන වගේද ?
ඇත්තටම කියන්න සතුටුයි. එයා එනකොට මං අපි කලින් ජීවත් වුන ප්‍රදේශය වෙනස් කලා. එයා ඒ වෙනසට කැමති වුනා. පුනරුත්ථාපනය වෙලා ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා. දැන් අපි පුදුම සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. අපේ දරුවො විදින සතුට සැහැල්ලුව දැක්කහම වචන කරන්න බැරි තරම් සතුටුයි. මම දරුවෝ නිසා වෙන් නොවී කරපු කැපකිරීම් ගැන මට සතුටුයි. මොකද ඒ කැපකිරීම වලට දැන් වටිනාකමක් ලැබෙනවා. හැම අඳුරු වලාවකම රිදී රේඛවක් ඇදෙනවා වගේ .. අපේ ජීවිතත් දැන් එලිය වෙලා.
7. මතට ඇබ්බැහිවූවන් සමග ජීවත්වන ආදරණීයයන්ට ඔබට කුමක්ද කියන්න තියෙන.
එක එක්කෙනාට තියෙන්නේ වෙනස් විදිහේ කතාවක්. ඒ පවුලේ අය, බිරිඳ දරුවන් දෙමව්පියන් මුහුණදෙන ප්‍රශ්න විවිධාකාරයි. ඉවසීමෙන් මුහුණ දිය හැකි ප්‍රශ්න වගේම එසේ නොවන ප්‍රශ්නයක් මේ අතර තියෙනවා. මතට ඇබ්බැහි වූ කෙනාව ඔහුගේ කැමැත්ත ඇතිව පුනරුත්ථාපනය කරන්නට සුදුසු ස්ථානයකට යොමු කරන. ඒ තුළින් ඔහුට තවත් අවස්ථාවක් ලබා දෙන්න. ඒ තුළින් ඔබට යහපත් ප්‍රතිඵලයක් නොලැබුණහොත් ඔබේ තීරණය ක්‍රියාත්මක කරන්න. මොකද ඔබට තිබෙන්නේ එක ජීවිතයක් පමණයි. ජීවිතයේ සතුට මග හැර නොගන්න.
ස්තුතියි
පියුමි සිල්වා