මාවතේ කලබලෙන් – විසිරි දුහුවිලි අතර
මානෙතේ ගැටුණි මේ – ලපටි සුදු නෙළුම් මල
සාගතේ උණුසුමෙන් – නිතර මැලවුණු මුහුණ
පාසැලේ සීනුවේ – හඬින් පිබිදුණු අයුර
මුදු නමුත් කුණු වැකුණු – දෑත් කරගැට බිඳී
වැදු මවක් මිස වෙනත් – කිසිම නෑයෙක් නැතී
රුදු ලොවේ හස්තයෙන් – හිඳින මුත් නොගැලවී
සුදු පරෙවි රෑන දෙස – දෑස් දල්වා සිටී
ජීවිතේ සෙල්ලමට – හසුවුණත් පුතේ නුඹ
සෙල්ලමට ජීවිතේ – ගෙවන අයවලුන් මැද
පැරදුණත් උන් දිනක – නොපරදී නුඹ නිසැක.
මන්දයත්,
ජීවිතේ සෙල්ලමට – ‘දුක’යි ඉහලම ලකුණ
තාරක ජයතිලක