Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

නිතරම කම්මැලිකම දැනීම රෝග ලක්ෂණයක්ද?

නිතරම කම්මැලිකම දැනීම රෝග ලක්ෂණයක්ද?

සිරුරේ සමස්ත නීරෝගීබව සඳහා තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වේ. ගෙලෙහි මධ්‍යයේ පිහිටා ඇති තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් හෘදය, මොළය, අක්මාව, වකුගඩු හා සම වැනි වූ සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන කාර්‍ය්ය භාරයක් ඉටු කරන අතරම පරිවෘත්තීය වශයෙන් ද විශාල මෙහෙයක් ඉටු කරයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හටගනු ලබන රෝග අවස්ථා අතර Hyperthyroidism, Hypothyroidism, ගලගණ්ඩය, තයිරොයිඩ් ගැටිති, තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය (Thyroiditis), තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා ප්‍රධාන වේ.

තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන T3 හා T4 හෝර්මෝන නියමිත ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වීම සහ පිටියුටරි හෝර්මෝන වන TSH හෝර්මෝන මට්ටමේ වෙනස් වීම නිසා තයිරොක්සීන් හෝර්මෝනයේ නිපදවීම අඩු හෝ වැඩි වීම සිදු විය හැක.

මෙම වෙනස්වීම නිසා චිත්තවේගීය හා ශාරීරික වෙනස්කම් රාශියක් මිනිස් සිරුර තුල ඇති විය හැක.

ඇතැම් විට හෝර්මෝන මට්ටම නියමිත ලෙස තිබියදීත් Euthyroid නම් අවස්ථාව ස්ත්‍රීන් අතර බහුලව දක්නට ලැබෙන අතර, ගර්භණීන් හා මල්වර අවස්ථාවේ සිටින ගැහැණු දරුවන් අතර මෙම අවස්ථාව බහුලව වාර්තා වේ. 

T3 හා T4 හෝර්මෝන ප්‍රශස්ත මට්ටමට වඩා ඉහළ යාම සහ TSH හෝර්මෝන මට්ටම පහළ අගයක් ගැනීම නිසා රුධිරගත තයිරොක්සීන් හෝර්මෝන මට්ටම වැඩි අගයක් ගැනීම Hyperthiroidism රෝගී අවස්ථාවයි.

ප්‍රධාන රෝග ලක්ෂණ :- 

• සිරුරේ උෂ්ණත්වය අධික වීම/ උණ ස්වභාවය

• අවිවේකී බව, ක්‍රියාශීලී බව වැඩි වීම

• ශරීරයේ දුර්වල බව, අධික මහන්සිය

• කුසගිනි අධික බව, අධික පිපාසය

• නිතර දහඩිය දැමීම

• සිරුරේ බර අඩු වීම

• මානසික ආතතිය

• නිතර බඩ බුරුල්ව මල පහ පිටවීම

• අත් පා වෙව්ලීම, උණුසුම දරාගත නොහැකි වීම

• නින්දට බාධා වීම

• අධිකව කෙස් ගැලවී යාම

• හෘද ස්ඵන්දන වේගය තමාටම දැනීම/ හෘද ස්ඵන්දන වේගය වැඩිවීම

• හුස්ම ගැනීමේ අපහසුව

• ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලු

• ඇතැම්විට ඇස් ඉදිරියට නෙරා ඒම (Exopthalamus)

තයිරොක්සීන් හෝර්මෝනයේ ඌනතාවය නිසා ඇතිවන Hypothyroidism අවස්ථාවේදී රෝග ලක්ෂණ:-

• ඇඟපත වෙහෙස

• සිරුරේ බර වැඩිවීම

• සමේ වියළි බව ඇතිවීම

• දහඩිය දැමීම අඩුවීම

• පාණ්ඩු ස්වභාවය

• මලබද්ධය නිතර ඇතිවීම

• කම්මැලි කම, නිතර නිදිමත දැනීම

• ආහාර අරුචිය

• මුහුණ ඉදිමීම

• හෘද ස්ඵන්දනය අඩු වීම

• නියපොතු කැඩී යාම

• මාංශපේශී වේදනාව

• ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, අධික ආර්තවහරණය

• ශීතල දරා ගැනීමට අපහසු වීම

ගලගණ්ඩය (goiter) යන රෝග අවස්ථාවේදී තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම ප්‍රධාන රෝග ලක්ෂණය වේ. 

ගෙල ඉදිරිපස නෙරීම සහිත ඉදිමීම (මෙම ඉදිමුම බෙල්ලේ බාහිරට මෙන්ම අභ්‍යන්තරයට සිදුවන අවස්ථා දක්නට ලැබේ), ආහාර ගිලීමේ අපහසුව, කටහඬ වෙනස් වීම හා හුස්ම ගැනීමේ අපහසුව ( ඉදිමුම මගින් ශ්වාස නාලය තෙරපීමට ලක්වන බැවින් රාත්‍රී නින්දේ දී හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වේ).

මීට අමතරව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ව්‍යුහාත්මක වෙනස්කම් ලෙස,

– Solitary nodule goiter (තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් ගැටිත්තක් සහිත අවස්ථාව)

– Multi noduler goiter (ගැටිති කීපයක් සහිත අවස්ථාව)

– Diffuse smooth goiter (සම්පූර්ණ ග්‍රන්ථියම විශාල වීම හා මෘදු ස්වභාවයක් පැවතීම) දක්නට ලැබේ.

රුධිර පරීක්ෂණ මඟින් Thyroid profile පරීක්ෂා කිරීම, FNAC (Fine needle aspiration cytology) පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ මඟින් රෝගී තත්ත්වය නිවැරදි ලෙස විනිශ්චය කිරීම ඉතා වැදගත් වන අතර ඉහත සඳහන් රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීම තුලින් ප්‍රතිකාර සඳහා යොමු වීම රෝගීන් විසින් සිදු කල යුතු ය.

බටහිර වෛද්‍ය ප්‍රතිකාරයට අනුව හෝර්මෝනමය ගැටලු සඳහා හෝර්මෝන පෙති ලබා දීමත් එම මාත්‍රාව දිනපතා භාවිතයට උපදෙස් ලබා දෙන අතර ග්‍රන්ථියේ පිළිකාමය අවස්ථාවන් සඳහා විකිරණශීලී අයඩින් භාවිතා කර සෛල විනාශ කිරීම මඟින් ප්‍රතිකාර සිදු කෙරේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඉහත රෝග අවස්ථාවන් සඳහා නිදාන පරිවර්ජනය, සංශෝධන, සංශමන හා රසායන චිකිත්සා ප්‍රතිකාර අනුගමනය කරනු ලැබේ.

ආහාර නියමාකාරයෙන් දිරවීමට හා ක්‍රමවත් අවශෝෂණයට ඉඩ සලසමින් සිරුරේ පෝෂණය නිසි පරිදි පවත්වා ගැනීමට හෝර්මෝන යාන්ත්‍රණය නිවැරදි කිරීමට මූලික අවධානය ලබාදීම ද  ප්‍රතිකාරයේ දී විශේෂිත වේ.

මේ සඳහා පිත ප්‍රධාන ශාරීරික දෝෂ නිවැරදි කිරීම සිදු කෙරේ.

කුසගින්න හා ආහාර දිරවීමේ හැකියාව නිවැරදි මට්ටමේ පවත්වා ගැනීමට සුදුසු ආහාර, පාන, කෂාය, ගුලි, කල්ක, චූර්ණ ඖෂධ නිර්දේශය මෙන්ම, පංච කර්ම ප්‍රතිකාර ලෙස වමන, විරේචන, නස්‍ය, වස්ති, රක්තමෝක්ෂණ ප්‍රතිකාර අඩංගු චිකිත්සා පද්ධතියක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබේ.

දුම් ඇල්ලීම වැනි ස්වේද ප්‍රතිකාර මෙන් ඖෂධීය ධූම පාන, උද්වර්තන, ශිරෝධාරා හා ප්‍රලේප ආලේපනය වැනි විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බාහිර ප්‍රතිකාර ලෙස උපයෝගී කරගන්නා අතර ගුගුල් ඖෂධ වන කංචනාර ගුග්ගුලු හා ත්‍රිඵලා ගුග්ගුලු කොබෝනීල පොතු තැම්බූ වතුරෙන් ප්‍රයෝගය චිකිත්සාවේ සාර්ථක ප්‍රතිඵල ගෙන දේ.

Hyperthyroidism තත්ත්වයේදී ඝෘත වර්ග මගින් තර්පණයත්, Hypothyroidism අවස්ථාවේදී ලේඛන ප්‍රතිකාර යොදා ගැනීමත්, පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනයට රසායන යෝග භාවිතයත් විශේෂිත ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර අතර වේ.

එමෙන්ම අතිස්ථෞල්‍ය, ඔසප් අක්‍රමිකතා වැනි රෝගී සංකූලතා හඳුනා ගැනීමෙන් පසු ලාක්ෂණික චිකිත්සාවන් අනුගමනය කිරීමද වෛද්‍යවරු විසින් යුක්ති යුක්තව සිදු කරනු ලැබේ.

සුදුසු ආහාර:-

තයිරොක්සීන් ඌනතාවයේදී,

– අයඩින් මිශ්‍රිත ලුණු ආහාරයට ගැනීම.

– මුහුදු මාළු, සාලයන්, හුරුල්ලන්, හාල්මැස්සන් ආහාරයට ගැනීම.

– ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කොල්ලු, සුදුළූණු වැනි කුළුබඩු වර්ග ආහාර සඳහා එක් කර ගැනීම.

– දන්දිල අල, මුකුණුවැන්න, ගොටුකොළ, වට්ටක්කා, බීට්, කැරට්, කොමඩු, නෙල්ලි, නොපිසූ සලාද වර්ග ආහාරයට ගැනීම.

– නැවුම් එලවළු, පලතුරු ආහාරයට එක් කර ගැනීම. 

තයිරොක්සීන් මට්ටම වැඩි Hyperthyroidism අවස්ථාවේදී බාර්ලි, ගිතෙල්, මුං ඇට, එළකිරි ආහාරයට ගැනීම.

නුසුදුසු ආහාර:-

– ක්ෂණික, කෘත්‍රිම ආහාර, දිරවීමට අපහසු මස්, මාංශ, මීකිරි වැඩි වශයෙන් ආහාරයට ගැනීම.

– අධික ලුණු අඩංගු, තෙල් දැමූ ආහාර බහුලව ආහාරයට ගැනීම.

– උෂ්ණ ආහාර වර්ග නිතර ආහාරයට එක් කර ගැනීම.

– ගෝවා, රාබු, නෝකෝල් ආහාරයට ගැනීම.

එමෙන්ම මද්‍ය පානය, දුම්පානය නුසුදුසු වන අතර, භාවනා කිරීම, යෝග අභ්‍යාස, විවේකය හා මානසික සහනය රෝගයෙන් මිදීමට බෙහෙවින් ඉවහල් වේ.

තව ද පවුල් ඉතිහාසයේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු පවතී නම් රෝගය පිලිබඳ අවදානයෙන් සිටීම ඉතා වැදගත් වේ. 

තෙහෙට්ටුව අධිකව දැනීම, දිවා කාලයේ ශක්තියක් නොමැති වීම, දිවා නින්දක් හෝ විවේකයක් නොමැතිව දෛනික කටයුතු කරගැනීමට නොහැකි වීම, රාත්‍රියට නින්ද නොයාමේ අපහසුතා හට ගැනීම, ශරීර බරෙහි හදිසි වෙනස්වීම, මානසික අවපීඩන තත්ත්ව, ශීතල හා උණුසුම් බව දැනීමේ වෙනස්කම් ඇතිවීම, ඔසප් ගැටලු, හිසකෙස් අධිකව ගැලවී යාම, කටහඬ හදිසියේ වෙනස් වීම, නින්දෙන් ගෙරවීම වැනි ලක්ෂණ පවතීනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් කල්තියා පරීක්ෂා කරගැනීම සුදුසු වේ.

නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් අතුරු ආබාධ වලින් තොරව ශල්‍ය කර්ම වලට යොමු නොවී දීර්ඝ කාලීන ඖෂධ භාවිතයෙන් තොර ප්‍රතිකාර ලබා ගැනීමේ රෝග අවස්ථාවක් ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල සඳහන් රෝග අවස්ථාවකි. එ බැවින් රෝග ලක්ෂණ හටගත් මුල්ම අවස්ථාවේ ප්‍රතිකාර සඳහා යොමුවීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS – Colombo (SL)