Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-4
previous arrow
next arrow

2024-07-08

කායිකව මෙන්ම මානසිකව වද දෙන සමේ රෝග

වර්තමානයේ බොහොමයක් රෝගීන් සම ආශ්‍රිතව හටගනු ලබන සමේ රෝග නිසා බොහෝසෙයින් පීඩා විඳී.

රෝගීන් හට ශාරීරිකව මෙන්ම මානසිකව පීඩාවන් ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස චර්ම රෝග නොහොත් සමේ රෝග හැඳින්වීමට පුළුවන. 

සාමාන්‍ය ව්‍යවහාරයේ දද, කුෂ්ඨ, පලු, බිබිලි, පිඩකා, ගඩු, හොරි, කබර ලෙසට හැඳින්වෙන සම ආශ්‍රිතව හටගනු ලබන විවිධ වූ සමේ රෝග සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයකි.

සම යනු ස්පර්ශ සංවේදන ඉන්ද්‍රියකි. ස්වේද ග්‍රන්ථි විශාල ප්‍රමාණයක් පිහිටා ඇති සිරුරේ විෂ කොටස් බහිස්‍රාවය මඟින් පිට කිරීමට ඉවහල් වන මුළු ශරීරයම ආවරණය වන අයුරින් පිහිටා තිබෙන මිනිස් සිරුර සතු විශාලතම ඉන්ද්‍රිය ද වේ. සම මගින් සිරුරට ලබා දෙන අනෙකුත් ප්‍රයෝජනයන් අතුරෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ක්ෂුද්‍ර ජීවී ආසාධනයන්ගෙන්, තද හිරු රශ්මියෙන් හා බාහිර පරිසරයේ නොයෙකුත් අහිතකර බලපෑම් වලින් ආරක්ෂා කිරීම ප්‍රධාන වේ.

වර්තමානයේ පරිසර දූෂණය, නොයෙකුත් රසායනික ද්‍රව්‍යය භාවිතය හා කාර්‍යයබහුල ජීවන රටාව හේතුවෙන් වයස් භේදයකින් තොරව අලුත උපන් බිළිඳාගේ සිට මහළු පුද්ගලයන් දක්වා චර්ම රෝග වැලඳීම බහුලව සිදුවේ.

එමනිසා සමේ පැහැපත් බව කෙරෙහි උනන්දුවීමට වඩා සමේ නිරෝගීබව කෙරෙහි අවදානය ලබාදීම වඩා වැදගත් වේ.

යම් රෝගයකදී සම කිලිටිව, පිළිකුල්ව පවතීද එම රෝගී තත්ත්වය ‘කුෂ්ඨ’ ලෙසට ආයුර්වේද ඉගැන්වීම් තුල දක්වා ඇත. සම ඇසුරු කරමින් හටගත්ත ද රෝගයට යථාකල ප්‍රතිකාර නොකොට උපේක්ෂා කිරීම නිසා අනෙකුත් ශරීර ධාතූන් කරා රෝගය පැතිරගොස් එම ධාතූන් කුපිත කොට සම පිපිරී, ස්‍රාව සහිතව කිලිටි කරන රෝගය ‘කුෂ්ඨ’ ලෙසට අර්ථ ගන්වා ඇත.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව චර්මය නොහොත් සම ස්ථර 7කින් සමන්විත වන බව දක්වා ඇත. අවභාසිනී, ලෝහිතා, ශ්වේතා, තාම්‍රා, වේදනී, රෝහිණී හා මාංශධරා ලෙසට නම්කර ඇති මෙම ස්ථරයන්හි ඝනකම සහ එක් එක් ස්ථරයන්හි පහසුවෙන් වැළඳෙන කුෂ්ඨ/චර්ම රෝගයන්, ඒවායේ රෝග ලක්ෂණ හා ප්‍රතිකාරයන් පිලිබඳව ආයුර්වේද මූලග්‍රන්ථයන්හි පැහැදිලිව දක්වා ඇත.

බොහෝ සමේ රෝගයන් වලදී ප්‍රධාන ලක්ෂණ ලෙසට සම පිපිරීම, ඉරිතැලීම, විවර්ණ වීම, කැසීම, බිබිලි හටගැනීම, ස්‍රාව ගැලීම, දැවිල්ල දක්නට හැක.

කුෂ්ඨ යනු ප්‍රධාන ලෙසම අහිතකර ආහාර හා විහරණ රටාව නිසා නිසිලෙස ආහාර පරිපචනය සිදු නොවී, රුධිරය දූෂණය වී, ලේ කෝප වීම හේතුවෙන් හටගනු ලබන රෝග අවස්ථාවකි. ඇතැම් රෝග දෙමාපියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වන අතර ඇතැම් රෝග සහජයෙන් ඇතිවිය හැක.

රෝග හේතු :-

තම ප්‍රකෘති තත්ත්වයට අහිතකර ආහාර-පාන හා විහරණ,

කෘත්‍රිම අහාර-පාන,

මානසික ආතතිය,

අධික අව් රශ්මිය,

මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය,

සත්ත්ව/ශාක විෂ ඇතුළු විෂ රසායනික සංයෝග ශරීර ගතවීම 

යන හේතූන් නිසා චර්ම රෝග හටගැනීම, උත්සන්න වීම මෙන්ම පසුකාලීනව කල්පවත්නා රෝග බවට පත්වීම සිදුවිය හැක.

මීට අමතරව ඇතැම් ඖෂධ වර්ග භාවිතයේ උපද්‍රව ලෙසද චර්ම රෝග ඇතිවිය හැක.

‘කුෂ්ඨ’ යනු, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් ආකාරයට මහාරෝග 8න් එක් රෝගී අවස්ථාවකි. එනම් එය ප්‍රබල රෝග අවස්ථාවකි. ‘කුෂ්ඨ’ යටතේ සමේ රෝග විශාල ප්‍රමාණයක් දක්වා ඇති අතර කුෂ්ඨ ප්‍රබේදකරණයේදී මහා කුෂ්ඨ 7ක් හා ක්ෂුද්‍ර කුෂ්ඨ 11ක් ලෙස තවදුරටත් වෙන්කර දක්වා ඇත.

කපාල කුෂ්ඨ, උදුම්බර, මණ්ඩල කුෂ්ඨ, සෘෂ්‍ය ජිහ්ව, සිධ්ම කුෂ්ඨ, පුණ්ඩරික, කාකණ, ඒක කුෂ්ඨ, ගජ චර්ම, කිටිභ, වෛපාදිකා, අලසක, චර්ම දළ, දධ්‍රැ මණ්ඩල, පාමා, කච්ඡු, විස්ඵෝඨ, ශතාරු, විචර්චිකා යනාදී ලෙසට එක් එක් කුෂ්ඨ රෝග ලක්ෂණ පහැදිලිව දක්වා ඇති අතර එම රෝගයන් සඳහා ප්‍රතිකාර පද්ධති ආයුර්වේද චිකිත්සා ක්‍රමවේද තුල අන්තර්ගතව ඇත.

ඇතැම් චර්ම රෝග ක්ෂුද්‍ර ජීවී ආසාදන තත්ත්වයන් නිසා හටගනු ලබන අතර, ආසාදනය සම හරහා සිරුර තුළට ගමන් කොට අභ්‍යන්තර ඉන්ද්‍රිය හානිවීම් පවා සිදුවන අවස්ථා පවතී. මෙවැනි සංක්‍රමණික රෝග කුෂ්ඨ යටතේ සැලකීම සිදු නොකරන අතර කුෂ්ඨ රෝගීන්ගේ සමෙහි රෝගීබව හේතුවෙන් පසු කාලීනව ආසාධන තත්ත්ව පහසුවෙන් හටගැනීමේ අවධානමක් පවතී. 

ඇතැම් සමේ රෝග තවත් අයෙකුට බෝවීම පහසුවෙන් සිදුවන අතර ඇතැම් සමේ රෝග බෝවීමක් සිදු නොවේ.

තවද ආසාත්මිකතාවයන් නිසා හටගන්නා චර්ම රෝගයන්ද බහුලව දැකිය හැකි අතර, ආසාත්මික පරිසරය හා ද්‍රව්‍යය හා ගැටීමෙන් පසු රෝග ලක්ෂණ ක්‍රමයෙන් පහල වීමත්, එමෙන්ම පෙර පැවති චර්ම රෝගයන් ආසාත්මික ද්‍රව්‍යය හා ගැටීමෙන් අනතුරුව උත්සන්න වීමත් බොහෝවිට සිදුවේ.

ඇතැම් අභ්‍යන්තර ඉන්ද්‍රිය අක්‍රමිකතා හා දියවැඩියාව වැනි වෙනත් රෝග තත්ත්වයන් නිසාත් සමේ විවිධ වෙනස්වීම් දැකිය හැකි බැවින්, සමේ වෙනස්කම් ඇති කරන සියලුම රෝග අවස්ථා කුෂ්ඨ ලෙස සලකා ප්‍රතිකාර සිදු නොකල යුතු වන අතර වෛද්‍යවරයා විසින් නිවැරදි රෝග විනිශ්චය අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගය උත්සන්න වීම සමඟ රෝගය එක් එක් ධාතුගත වීම සිදුවේ. රෝගය ධාතුගත වීම අනුව පහල වන රෝග ලක්ෂණ වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර ප්‍රතිකාර කිරීම ඊට අනුරූපව සිදුකිරීමෙන් ඉක්මන් සුවය ලබාගැනීමේ හැකියාව පවතී.

පළමු අවස්ථාවේදී සම ආශ්‍රිතව විවර්ණතා ඇතිවීම, රූක්ෂ බව, සමේ හිරිගතිය, රෝම හර්ෂය (හිරිගඩු පිපීම), දහඩිය දැමීම අධික වීම දැකිය හැක.

රක්ත ධාතුගත වීමේදී, කැසීම, දුගඳ බව, අධික සැරව ඇතිවීම සිදුවේ. එමෙන්ම මාංශ ධාතුගත වීමේදී, කුෂ්ඨයේ ඝනකම හා කර්කෂ බව වැඩිවීම, ගඩු/ පිඩකා අධික වීම, අනින්නාක් බඳු වේදනාව, ඉරිතැලීම, හටගත් බිබිලි වල ස්ථිරබව දක්නට ලැබේ.

තවදුරටත් ප්‍රතිකාර නොකර සිටීමෙන් මේදස් හා අස්ථි ධාතුගත වී තුවාල ඔඩු දිවීමෙන් පැතිරී යාම, අත්, ඇඟිලි පවා බිඳ වැටීම (ලාදුරු වැනි රෝග අවස්ථා), ගමන් කිරීමේ අපහසුව, අවයව බිඳීම, ස්වර හානි වී කටහඬ පවා වෙනස් වීම, නාසය පවා බිඳීයාම සිදුවිය හැකි බව දක්වා ඇත.

අවසානයේ ශුක්‍ර ධාතු ගත වූ විට කුෂ්ඨය දීර්ඝ කාලයක් තිස්සේ බහුලව ව්‍යාප්තව පැවතීම නිසා දූෂිත වූ රුධිරය හා ශුක්‍ර ධාතු හේතුවෙන් එවැනි මව්පියන්ට උපදින දරුවන්ටද කුෂ්ඨ රෝග ඇතිවිය හැකි බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල සඳහන් වේ.

එබැවින් රස, රක්ත, මාංශ ධාතු ගත වූ අවස්ථාවේ පවතින කුෂ්ඨ රෝග, එක් දෝෂයක් පමණක් මූලිකව හටගත් කුෂ්ඨ රෝග පහසුවෙන් සුව කල හැකි සාධ්‍ය රෝග බවත්, මේදස් ධාතුගත වූ විට හා දෝෂ දෙකක් එක් වූ විට සුව කිරීම තරමක් දුරට අපහසු තත්ත්වයට පැමිණෙන අතර නිවැරදි ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමු වීමෙන් රෝගය මැඩ පැවැත්වීම සිදුකල හැකිය. නමුත් සම්පූර්ණයෙන්ම සුව කිරීම අපහසු වේ.

තවද රෝගය මජ්ජා, අස්ථි ධාතුගත වූ විට එම කුෂ්ඨ ඖෂධ ප්‍රතිකාරයෙන් සුව කලනොහැකි බව දක්වා ඇත.

පණුවන් සහිත, කල්ගත වූ, කළු පැහැ ගැන්වී සැරව වෑහෙන ශරීර ඇති, කුසගිනි නොමැති, කෙළ වගුරවමින් සිටින, ස්වරභේද සහිත, නාසය බිඳී ඇති, ඇස් රත් පැහැ ගැන්වී ඇති රෝගීන්ද, වමනාදී පංචකර්ම වලින් පවා ප්‍රතිඵල රහිත රෝගීන්, ත්‍රිදෝෂයම ජනිත කුෂ්ඨ සහිත රෝගීන් අසාධ්‍ය බවත්, රෝගියා එම රෝගී අවස්ථාවෙන් මිය යන බවත් දක්වා ඇත.

ආයුර්වේද චිකිත්සාව තුල විශේෂිත කෂාය යෝග, වමන, විරේචන ඖෂධ යෝග, චූර්ණ, ගුලි, කල්ක, ක්වාත, රස ඖෂධ ශරීර අභ්‍යන්තරව ලබාදීමත්, බාහිරව ඇඟ සේදීමට, ස්නානයට, ශේක දීමට (ඖෂධීය ජලය ස්වල්ප වශයෙන් නිතර ඉසීමට සැලැස්වීම), ආලේපනයට විවිධ ඖෂධීය යෝගයන් දක්වා ඇත.

ඇත්තෝර මුල්, රණවරා දළු, රාබු ඇට, අත්තන ඇට, හීන් නිදිකුම්බා, ගෙන්දගම්, යවක්ෂාර වැනි ශාක හා පාර්ථිව ඖෂධ මේ අතර සුවිශේෂී වේ.

එමෙන්ම රෝග අවස්ථාව අනුව සුවිශේෂී තෙල් වර්ග අලේප කිරීමත් සිදු කෙරේ.

රෝග ප්‍රතිකාරයේදී රෝග ලක්ෂණ නිසි ලෙස පරීක්ෂා කිරීමත්,නිවැරදි රෝග විනිශ්චයත් ඉතා වැදගත් වේ. එම නිසා හිතුමතේ අත්බෙහෙත් වර්ග යොදා ප්‍රතිකාර සිදු නොකොට හැකි ඉක්මනින් නිවැරදි ප්‍රතිකාරයක් සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යාම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ.

රක්තය පිරිසිදු කිරීම මගින් රෝගයට හේතු වූ දෝෂ ඉවත්කිරීම චිකිත්සාවේදී ප්‍රධාන ලෙසම සිදු කෙරේ.

ශෝධන ප්‍රතිකාර මෙන්ම ඇතැම්විට ශමන ප්‍රතිකාර ක්‍රමද රෝග අවස්ථාව, පුද්ගල ප්‍රකෘතිය හා දෝෂ අනුබන්ධතාව සලකාබලා වෛද්‍යවරයා විසින් අනුගමනය කරනු ලැබේ.

තවද වමන, විරේචන, රක්තමෝක්ෂණ යන පංචකර්ම ප්‍රතිකාරයන්ද ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ.

නිදාන පරිවර්ජනය නොහොත් රෝග හේතු කාරක සම්පූර්ණයෙන්ම අත් හිටුවීම ප්‍රතිකාරයේදී අනිවාර්යය වේ. එමෙන්ම රෝග සුවයට හේතු වන සුදුසු ආහාර පාන, විහරණ භාවිතයත්, නුසුදුසු ආහාර හා විහරණ වලින් වැලකීමත් ප්‍රතිකාරයේ සාඵල්‍යතාව කෙරෙහි ඉවහල් වේ.

ඇතැම් චර්ම රෝග සුව වීමට සැලකිය යුතු කාලයක් ගත වන බැවින් රෝගය නැවත ඇති නොවන අයුරින් ප්‍රතිකාර පද්ධතිය අවසන් වන තෙක් ඉවසීමෙන් ප්‍රතිකාර ගැනීම රෝගියා සතු වගකීමක් ද වේ.

සමේ රෝග සහිත රෝගීන් යනු මානසිකව අතිශය පීඩා විඳින රෝගී කාණ්ඩයකි. එසේ වනුයේ ඔවුන්ගේ රෝග ලක්ෂණ රෝගියාටම නිරන්තරයෙන් දිස්වීමෙන් අතිශය කම්පාවට හා මානසික ආතතියට ලක්වන බැවිනි. ශරීර අභ්‍යන්තර රෝගී තත්ත්වයක මෙන් නොව මෙහිදී සම තුලින් බාහිරට නිරාවරණය වන රෝග ලක්ෂණ පවතින හෙයින් සමාජය තුලින් පවා අවධානයට ලක්වීමෙන් රෝගියා මානසිකව නිතර පීඩා විඳී.

එබැවින් රෝගියාගේ රෝග පීඩාව අනෙකුත් බරපතල රෝගයන්ටත් වඩා ඉතාමත් ඉහළ ය. එමෙන්ම සමේ රෝගයන්ගේ උත්සන්න වීම මානසික ආතතිය මත රඳා පවතින බැවින් රෝගී තත්ත්වය සුව වීම ප්‍රමාද වීමටත්, ක්‍රමයෙන් උත්සන්න වීමටත් එයම හේතුවක් විය හැකිය.

එමනිසා යෝග අභ්‍යාස, භාවනා ක්‍රම ආදිය අනුගමනය ඉතා යෝග්‍ය වන අතර නිරවුල් මානසික සෞඛ්‍ය පවත්වා ගනිමින් කෝපය, ද්වේශය, වෛරය යනාදී අයහපත් මානසික ආවේගයන්ගෙන් වැලකී සිටීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ.

සමේ රෝග වලින් ආරක්ෂා වීමට :-

උෂ්ණාධික ආහාර පාන වලින් වැළකීසිටීම

නිතර ජලය වැඩි වශයෙන් පානය කිරීම

අව් රශ්මියෙන් සම ආරක්ෂා කරගැනීම

කෘතිම රසායනික ද්‍රව්‍යය ශරීරගත වීම අවම කරගැනීම ආසාත්මිකතා හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවීම හිතකර නැවුම් එලවලු, පලතුරු නිතර ආහාර සඳහා එක්  කරගැනීම

කොලකැඳ වර්ග පානය කිරීම

මානසික ආතතිය අවම කරගැනීම

පුද්ගල සනීපාරක්ෂාව සලසා ගැනීම

මසකට වරක්වත් ඖෂධීය ජල ස්නානය කිරීම (නුග පොතු, බෝ පොතු, අට්ටික්කා පොතු, ගංසූරිය පොතු තැම්බූ වතුරෙන්) 

ඉහත සඳහන් හිතකර පුරුදු වලට යොමුවීමෙන් සමේ රෝග වලින් වැලකී සිටීමත්, රෝග ලක්ෂණ හටගත් මුල් අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙතගොස් ප්‍රතිකාර සඳහා යොමු වීමත් ඉතා වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo -SL)

Sign up for our newsletter