Api-Slide-69
Api-Slide-69-1
Api-Slide-69-2
Api-Slide-69-3
previous arrow
next arrow

2024-07-13

අරුත්බර කවියෙන් ලොව දකින ඔහු

තාරක ජයතිලක

• මුලින්ම අපේ පාඨකයන්ට ඔබ ගැන හැඳිවීමක් කරමු..

මම කසුන් තාරක ජයතිලක. මේ දවස් වල උසස්  අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවෙලා දකුණු කොරියාවෙ ජෙජු වල තමයි ජීවත් වෙන්නෙ.

• ගම්පලාත, පාසැල් අධ්‍යාපන, පවුලෙ විස්තර ගැනත් කිව්වොත්..

මගෙ ගම අවිස්සාවේල්ල. පවුලෙ අම්මා, තාත්තා සහ වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. මගෙ බිරිඳ වෛද්‍ය නාලිකා ජයතිලක, ඇයව නම් “අපි මැගසින්” පාඨකයො හොඳින්ම දන්නවා ඇති මොකද ඇය තමයි “අපි මැගසින්” එකට ආයුර්වේද වෛද්‍ය විද්‍යා සංකල්ප පිලිබඳ ලිපි පෙල රචනා කරන්නෙ. 

අධ්‍යාපනය ගැන කිව්වොත් මම ප්‍රාථමික පාසැල් අධ්‍යාපනය සීතාවක ජාතික පාසැලෙන් ලබාගෙන 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වෙනවා. ඉන්පස්සෙ උසස් පෙල විභාගය විද්‍යා අංශයෙන් සමත් වෙලා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයෙන් ප්‍රථම උපාධිය ලබාගෙන, පශ්චාත් උපාධිය සඳහා තමයි දැන් විදෙස්ගත වෙලා ඉන්නෙ. මේ දිනවල පෝෂණවේදය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියේ වැඩකටයුතු සම්පූර්ණ කරගනිමින් ඉන්නවා.

• ඔබේ අධ්‍යාපන ඉතිහාසය දිහා බැලුවම බැලු බැල්මට විද්‍යාවට මිසක් සාහිත්‍යයට සම්බන්ධතාවයක් පේන්නෙ නෑ. කොහොමද මේ සාහිත්‍යයමය ආභාෂය ලැබෙන්නෙ.

ඇත්තෙන්ම කිව්වොත් මම හිතන විදිහට සාහිත්‍යයමය හැකියාව හෝ ආභාෂය සම්පූර්ණයෙන්ම වගේ මට ලැබෙන්නෙ මගෙ පියාගෙන්. ඔහු ප්‍රසිද්ධ ලේඛකයෙක් නොවුණත් විනෝදාංශයක් විදිහට ලිවීම කරපු කෙනෙක්. ඒ කාලයේ පුවත්පත්, සඟරා වල නිතරම වගේ ඔහු ලියපු ලිපි, කෙටි කතා, කවි පබැඳුම්, නිසඳැස් පල වෙනවා මට මතකයි. දැනටත් ඔහු ලියනවා. ඒ වගේම වඩාත්ම වැදගත් දේ කියැවීම. පොඩි කාලෙ මටත් මගෙ සහෝදරියටත් තෑගි විදිහට ලැබෙන්නෙ බොහෝ විට පොත් පත්. ඉතිං හැකි හැම වෙලාවකම කියවීම, ලිවීම ලමා කාලයේ ඉඳන්ම පුරුද්දක් වුණා. මේ පොත් පත් කියවීමේ පුරුද්ද ඇබ්බැහියක් වගේ තිබුණා විතරක් නෙවෙයි ඒ කාලයේ පුවත්පත් වලට ලිවීමත් සතිපතාම වගේ සිදුකලා. ටිකෙන් ටික අධ්‍යාපන කටයුතු වලට වැඩි ආයාසයක් යොදවන කොට ඒ පුරුද්ද ගිලිහිලා ගියත්, කුඩා කාලයෙදි ලබපු ශක්තිමත් සාහිත්‍යයමය පන්නරය නිසා තවමත් ලිවීමේ හැකියාව මගෙ ලඟ ඉතිරි වෙලා තියනවා කියලා මම හිතනවා. ඒ නිසා දැනටත් ඉඩක් ලැබුණු වහාම ලියන්න කියවන්න මම අමතක කරන්නෙ නෑ. 

• ලිවීම සම්බන්ධයෙන් ඔබට බොහෝ අත්දැකීම් තිබුණත්, මොකක්ද මේ කවියත් එක්ක තියන විශේෂ ඇල්ම?

සාහිත්‍යය ඇරුණම මම කැමතිම දෙයක් තමා සංගීතය. විවේක වෙලාවට සංගීතයට ඇහුන්කම් දෙන එක, ගීත ගායනා කරන එක මම ඉතාම කැමැත්තෙන් කරන දෙයක්. ඉතිං මගේ අදහස නම් සාහිත්‍යය හා සංගීතය කියන මම ඇලුම් කරන ක්ශේත්‍ර දෙක එකට සම්බන්ධ වෙන තැනක් තමා කවි කියන්නෙ. වචන බොහොම පොඩ්ඩක් ඇතුලෙ ලොකු කතාවක් හෝ සිද්ධියක් කියන ගමන් එලිසමය මගින් රිද්මයානුකූල සංගීතමය භාවයකුත් ආරෝපණය කරපු කවියක් කියන්නෙම කලාවන් කීපයක් එකට එකතු වුණ හරි අපූරු දෙයක්. ඉතිං මම ඉතාම කැමතියි මම කැමතිම දේවල් කීපයක්ම එකට එකතු වෙලා තියන තැනකට. මම කවියට ඇලුම් කරන්නෙ ඒ නිසා.

• ඔබ කවි නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන කාරණා මොන වගේද?

ඇත්තෙන්ම කවියක් නිර්මාණය කරන්න අදාල ප්‍රස්තුතයක් ගොඩනගා ගැනීම තමා මූලිකම කාරණාව. සුලබව හමුවෙන කාරණා මත ගොඩනැගුණු කවි වලට වඩා මම පෞද්ගලිකව රස විඳින්නෙ අපි නොහිතන මානයන් ස්පර්ශ කරන කවි. ඒ නිසාම මම නිර්මාණය කරන්න උත්සාහ කරන්නෙත් ඒ වගේ පබැඳුම්. මම තෝරගන්න ප්‍රස්තුතයේ තියෙන පාඨකයා විස්මයට පත්කිරීමේ හැකියාව ගැන මම මූලිකවම සැලකිලිමත් වෙනවා.

දෙවෙනි කාරණාව සරල බස් වහර. නූතන ලෝකයේ කියැවීමේ පුරුද්ද ඉතාම අඩු වීම නිසාත්, සිංහල භාෂාවට වඩා ඉංග්‍රිසි භාෂාව ප්‍රමුඛ වීම නිසාත් බොහෝ දෙනා තුල තියන සිංහල භාෂා දැනුම අවමයි. ඇත්තෙන්ම ඒක මට පවා අදාලයි. මම හිතන්නෙ නෑ අපිට සිංහල භාෂාව පිලිබඳ අවශ්‍ය තරම් දැනුමක් තියනවා කියලා. ඒ නිසා පොදු සමාජයට නොතේරෙන බරසාර වචන භාවිතා කරලා කවි රචනා කිරීමෙන් කවියේ අදහස සමාජගත කිරීමට බාධාවක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම හැකි තරම් සරල බස් වහරක් යොදාගෙන කවි නිර්මාණය කරන්න තමා මම හැමවෙලේම උත්සාහ කරන්නෙ.

ඊට අමතරව කවියේ ගලායාම, එලිසමය වගේ මේ හැම කාරණාවක්ම එකකට එකක් නොදෙවෙනි විදිහට කවියක රසයට බලපාන නිසා ඒ හැම දෙයක් ගැනම සමබරව සැලකිලිමත් වෙන්න මම උත්සාහ කරනවා. 

• ඔබ කවියෙන් අදහස් සමාජගත කිරීමක් ගැන කතා කලා. ඔබේ නිර්මාණ වලින් ඔබ හැම විටම සමාජයට පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවද?

මමත් ඇතුලුව බොහෝ නිර්මාණකරුවන් යම්කිසි නිර්මාණයක් කරන්නෙ සමාජයට පණිවිඩයක් දෙන අදහසින්ම නෙවෙයි කියලයි මගේ අදහස. නිර්මාණකරුවාගේ පරිකල්පන ශක්තිය සමාජයට පෙන්නුම් කරන කැඩපතක් පමණයි ඒ නිර්මාණය. එයින් පණිවිඩයක් ලබාගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නෙ එම නිර්මාණය රසවිඳින ප්‍රේක්ෂකයන්. සබුද්ධික ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා නම් නිර්මාණකරුවාට නිදහසේ ඔහුගේ කාර්‍යය කරන්න පුලුවන්. සමස්තයක් විදිහට නිර්මාණයක් රස විඳලා තමන්ගෙ ආධ්‍යාත්මයට පණිවිඩයක් ලබා ගන්න පුලුවන් සමාජයක් නිර්මාණය කරන්න පුලුවන් නම් වඩාත් ප්‍රතිඵලදායකයි. මම විශ්වාස කරන විදිහට එහෙම සමාජයකට ඉඩ හැදෙන්නෙ කුඩා කාලයේ ඉඳන්ම  සාහිත්‍යයට, කලාවට ආදරය කරන පරපුරක් බිහිවුණොත් පමණයි. 

• උසස් අධ්‍යාපන කටයුතු එක්ක ඔබ ගතකරන්නෙ ඉතාම කාර්‍යබහුල ජීවිතයක්. ඉතිං ඒ ජීවිතය ඇතුලෙ කලාවට ඉඩක් හදාගන්නෙ කොහොමද?

කවි නිර්මාණය කරන්න අදාල මූල බීජයන් මට හමුවෙන්නෙ මේ කාර්‍යබහුල ජීවිතේ ඇතුලෙම තමයි. මොනතරම් කාර්‍යබහුල වුණත් පවුලෙ උදවිය, යාලුවො එක්ක කාලය ගතකරන්න මම අමතක කරන්නෙ නෑ. අනිත් දේ සමාජ මාධ්‍ය. අද කාලෙ සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය එක්ක අපි සෑහෙන වෙලාවක් ගත කරනවා කොච්චර කාර්‍යබහුල වුණත්. ඉතිං ජීවන අත්දැකීම්, අපි ඇසුරු කරන පුද්ගලයන්ගෙ අත්දැකීම්, සමාජ මාධ්‍ය වල අපි අහන දකින දේවල් මේ හැමදේම ඇතුලෙ කවියකට අදහසක් හොයා ගන්න එක එතරම්ම අසීරු දෙයක් නෙවෙයි. ඒ නිසාම කවිය කියන්නෙ මගෙ විවේක වෙලාවේ එක අංගයක් විතරයි. 

• කවිය කියන්නෙ විවේක වෙලාවෙ එක අංගයක් විතරයි නම්, ඔබේ අනෙකුත් විනෝදාංශ මොනවද? අපි දැන් දන්නවා ගීත ගායනා කිරීමත් එක විනෝදාංශයක් කියලා. 

ඔව්.. විනෝදාංශ ගොඩක් තියනවා ඇත්තටම. සාහිත්‍යය, සංගීතයටත් වඩා ප්‍රධානම විනෝදාංශය තමයි සංචාරය. මම වගේම මගෙ බිරිඳත් ඉතාම කැමතියි travelling වලට. අපි දැනට ජීවත් වෙන දකුණු කොරියාවෙ ජෙජු දූපත කියන්නෙ ලංකාවට ගොඩක් සමානකම් තියන දූපතක්. අනික් කාරණාව තමා මෙහෙ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය. ඒ නිසාම ජෙජු දූපත කියන්නෙ සංචාරකයන්ට තෝතැන්නක්. මමත් මගෙ බිරිඳත් සති අන්තෙ නිවාඩුව ලැබුණ වහාම කරන්නෙ අලුත් තැනක ඇවිදින්න යන එක. ඒ අතරතුරේ මම කැමතිම තවත් විනෝදාංශයක යෙදෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ තමයි Photography and Videography. තනියම ඇවිදින්නෙ නැතුව හැමෝටම අපේ සංචාරක අත්දැකීම්  ලබා දෙන්න Travel with Doc නමින් YouTube channel එකකුත් අපි කරගෙන යනවා. ඉතිං හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මගේ කවි නිර්මාණ රසවිඳිනවා වගේම වීඩියෝ නිර්මාණත් රසවිඳින්න කියලා.

• “අපි Magazine” එකත් එක්ක සම්බන්ධ වීම හා මැගසින් එක ගැන හිතෙන දේ කිව්වොත්.

මට “අපි Magazine” එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ මගෙ බිරිඳ වෛද්‍ය නාලිකා ජයතිලක හරහා. මම කලිනුත් කිව්වා වගේ ඇය තමයි සඟරාවට ආයුර්වේදය සම්බන්ධව ලිපි රචනා කරන්නෙ. මම දැනට වසරකට ආසන්න කාලයක් “අපි Magazine” එක්ක එකතුවෙලා වැඩ කරනවා. 

කියැවීමේ අගය හොඳින් දන්න කෙනෙක් විදිහට, කියැවීම අගය කරන කෙනෙක් විදිහට මම “අපි Magazine” අර්ථ දක්වන්නෙ නූතන යුගයේ වඩාත්ම වැදගත් සමාජ කාර්‍යභාරයක් ඉටු කරන සඟරාවක් විදිහට. තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ මූලික පරමාර්ථයෙන් ඔබ්බට ගිහින් “කියැවීමේ” හොඳ පුරුද්ද ගිලිහුණු සමාජයකට කියැවීම හුරු කිරීමේ සද්කාර්‍යය සිදු කරන අතරම, ලාංකික සමාජය සාහිත්‍යය, කලාව අගයන වඩාත් සබුද්ධික තැනක් බවට පත් කරන්න මේ දරණ උත්සාහය අගය කල යුතුමයි. ගයාන්ගේ මනා මෙහෙයවීමත්, විවිධ විශය ක්ෂේත්‍රයන් වල පරිණත හා දැනුමැති ලේඛක මඩුල්ලේ දායකත්වයක් නිසා රසවත් හරවත් e-සඟරාවක් සෑම මාසයකදීම ප්‍රේක්ෂකයන්ට රස විඳින්න අවස්ථාවක් ලැබිලා තියනවා. ඉතිං අවසාන වශයෙන් මම කැමතියි “අපි Magazine” එකට දීර්ඝායුෂ පතන්න ඒ වගේම දිගින් දිගටම “අපි Magazine” එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපේ පාඨකයන්ට ආරාධනා කරන්න. 

හැමෝටම ජය!!