ගුද මාර්ගය ආශ්‍රිතව බහුලව හට ගනු ලබන රෝග වන අර්ශස්, භගන්දර, ගුද පිඩකා, ගුද භ්‍රංශ යනාදී රෝග අතුරින් “පරිකර්තිකා” යනු වත්මන් සමාජය තුළ බහුලව දක්නට ලැබෙන, ඉතාමත් වේදනාකාරී ගුද ගත රෝග තත්ත්වයකි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අහිතකර ආහාර හා විහරණයන් හේතුවෙන් ගුද විවරය වටා ඇති පටක පැලී යාම හෝ ඉරී යාම නිසා ගුද මාර්ගයට මදක් ඇතුළතින් ඇති වන තුවාල තත්ත්වයක් පරිකර්තිකා ලෙස හැඳින් වේ.
කපන්නාක් බඳු වේදනාවක් ගෙන දෙන මෙම රෝගයේ මුල් අවස්ථාවේ දී වේදනාව ඉතා අධික වන අතර කල් යාමේ දී වේදනාවේ තීව්‍ර බව අඩු වීම යම් තරමකින් සිදු වුව ද රෝගය සුව නොවී බොහෝ කල් පැවතීම දක්නට ලැබේ.
නවීන විද්‍යාත්මකව Anal fissures යනුවෙන් හඳුන්වන පරිකර්තිකා රෝගය වත්මන් සමාජයේ තරුණ පරපුර අතර බහුලව දැකිය හැක.
රෝග හේතු :-
• උෂ්ණ, තීක්ෂ්ණ, විදාහී ආහාර නිතර භාවිතය
• දීර්ඝ කාලීනව පවතින මලබද්ධ තත්ත්වය
• මල පිට කිරීමේ දී අධික ලෙස තැටමීම
• ජලය පානය අඩු වීම
• එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට එක් කර නොගැනීම
• තීක්ෂ්ණ ඖෂධ වර්ග නිතර භාවිතය
• ගුදය ආශ්‍රිතව සිදුවන අභිඝාත (තුවාල වීම්, ශල්‍ය කර්ම)
රෝගය වැළඳීමේ අවදානම ඇති අවස්ථා :-
• පිත්ත දෝෂය ප්‍රමුඛ තරුණ අවධියේ පසුවන්නන්, ස්වභාවිකව උෂ්ණාධික ශරීර හිමි පිත්ත ප්‍රකෘතිකයන් හට පහසුවෙන් වැළඳීමේ හැකියාව පවතින රෝග තත්තවයකි.
• මල බද්ධය හෝ වියළි මල පිටවන පුද්ගලයන් මල පිටකිරීමේ දී තැටමීමේදී වියළි මල හේතුවෙන් ගුද මාර්ගය පැලී තුවාල වීමත්,
දරු ප්‍රසූතියක දී සිදු කරන තැටමීමත් හේතුවෙන් ද පරිකර්තිකා තත්ත්වය ඇති විය හැක.
• ඇතැම් පුද්ගලයන් ගේ ව්‍යුහාත්මක වශයෙන් ගුදය ආශ්‍රිත වක්‍ර පිධාන පේශීන්ගේ දෘඩ බව හෙතුවෙන් මෙන්ම, නිතර නිතර අතීසාර වැනි රෝග තත්ත්වයෙන් පෙලෙන්නන් හා ගුද සංසර්ගයේ යෙදෙන පුද්ගලයන්ට පරිකර්තිකා ඇති වීමේ වැඩි අවදානමක් පවතී.
• ඇතැම් විට වෛද්‍ය වරුන්ගේ නොසැලකිලිමත් බාවය නිසා ගුදය ආශ්‍රිත පරීක්ෂා හා ප්‍රතිකාර නිවැරදි ලෙස සිදු නොකිරීම හේතුවෙන් පවා පරිකර්තිකා ඇති විය හැක.
• මීට අමතරව, බඩවැල් හා ගුදය ආශ්‍රිත ආසාදන, පිළිකා තත්ත්ව නිසා ද පරිකර්තිකා ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇත.
• එමෙන්ම, පරිකර්තිකා සුව වීමේදී හට ගනු ලබන fibrous tissues හේතුවෙන් ගුද විවරයේ තානය වෙනස් වී ඝන මල පිටකිරීමේ දී ගුද මාර්ගයේ පැලීම් නැවත ඇති වීම සිදු විය හැක.
රෝග ලක්ෂණ :-
• ගුදය ආශ්‍රිත අධික වේදනාව හා දැවිල්ල
• ලිංගික අවයව, යටිබඩ ආශ්‍රිතව පවා වේදනාව පැතිර යාම
• මල පිට කිරීමේදී වේදනාව අධික වීම
• මල පිට කල පසුවත් වේදනාව බොහෝ වේලාවක් පැවතීම
• මල වල පටි ආකාරයට රුධිරය තැවරී පිට වීම
• මල පිට වූ පසු දීප්තිමත් රතු පැහැ නැවුම් රුධිරය බිංදු වශයෙන් පිට වීම
• බඩ පුරවා දැමීම
• ආහාර අරුචිය
• ගුදය ආශ්‍රිතව කැසීම
නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් පැලීම් තන්තුභවනය වී නැවත නැවත පැලීම් ඇතිවීම මෙන්ම ගුද කීල, භගන්දර වැනි උපද්‍රව තත්ත්ව පවා පසු කාලීනව ඇති වීමේ අවදානම පවතී.
එමෙන්ම ගුද මාර්ගය යනු විෂ බීජ ගහණ ස්ථානයක් වන බැවින් මෙම තුවාලමය තත්ත්වය පහසුවෙන් ආසාදනය වී, සැරව සහිත තුවාලයක් බවට පහසුවෙන් පත් වේ.
විශේෂයෙන්ම කුඩා දරුවන් හට වැළඳෙන පරිකර්තිකා තත්ත්වයේ දී වියළි මල පිටකිරීමේ දී වේදනාව අධික වීම හේතුවෙන් ඔවුන් නිතැතින්ම මල පිට කිරීම ප්‍රමාද කිරීම නිසා නිතර මල බද්ධය හට ගැනීමත් වියළි මල පිට කිරීමේ දී ගුද මග තුවාල වී නැවත පරිකර්තිකා තත්ත්වය හට ගැනීමත් සිදු වේ.
මෙම චක්‍රාකාරව සිදු වන ක්‍රියාවලිය වළක්වාලීමත්, රෝග හේතු වලින් වැළකී සිටීමත් රෝග ප්‍රතිකාරයේ දී අනිවාර්‍ය්ය වේ.
එබැවින් මල බද්ධය වළක්වා ගැනීම රෝගය සුව වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපායි.
රෝග ප්‍රතිකාරයේ දී, නිවැරදි රෝග විනිශ්චය අතිශය වැදගත් වේ.
ආයුර්වේද සංහිතා ග්‍රන්ථයන්හි රෝග ලක්ෂණ හා ප්‍රබේද පිළිබඳ සවිස්තරාත්මකව දක්වා ඇති බැවින් පුහුණු ආයුර්වේද වෛද්‍යවරයෙක් හට ප්‍රශ්න, දර්ශන, ස්පර්ශන පරීක්ෂා වලින් යුත් නිවැරදි ගුද පරීක්ෂාවකින් අනතුරුව රෝග විනිශ්චය පහසුවෙන් සිදු කළ හැක.
ප්‍රතිකාර :-
• ඖෂධීය කෂාය, ගුලි, කල්ක, චූර්ණ අභ්‍යන්තර ප්‍රතිකාර වශයෙන් ලබා දීමෙන්, නිවැරදි ආහාර හා විහරණ භාවිතයෙන් පහසුවෙන් රෝගය සුව කිරීමේ හැකියාව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සතු වේ.
• බාහිර ප්‍රතිකාර ලෙස පංච වල්කල කෂායෙන් අවගහ ස්වේද සිදු කිරීම(sitz bath), ක්ෂාර පිචු භාවිතය, ඖෂධීය ආලේපන හා ඖෂධීය තෙල් ආලේපය මගින් පරිකර්තිකා තත්ත්වය සුව කිරීමත්, ගුද වස්ති ලබා දීමෙන් ගුද මාර්ගයේ පේශින්ගේ තානය නිසි පරිදි පවත්වා ගැනීමත් ප්‍රතිකාරයේ දී සිදු කෙරේ.
• අවගහ ප්‍රතිකාරයේ දී, තුවාලය නිසි ලෙස පිරිසිදු වීමටත්, පටක රෝපණය වී තුවාලය ඉක්මනින් සුව වීමටත් උපකාර වේ.
• එමෙන්ම, වාත ශමන උණුසුම් ඖෂධීය ජලය භාවිතය වේදනා ශමනය සඳහා ඉතා සුදුසු වේ.
නුසුදුසු ආහාර :-
හරක් මස්, බල මාළු, හුරුල්ලන්, ඉස්සො, දැල්ලො, කකුළුවන්, සැමන්, අඹ, අන්නාසි, රඹුටන්, මැංගුස්, දූරියන්, කිරි අල, මුරුංගා, දෙල්, විනාකිරි යෙදූ ආහාර භාවිතය නුසුදුසු වේ.
තවද, මානසික ආතතිය, ප්‍රමාණවත් නින්ද නොලැබීම නිසාත් රෝග තත්ත්වය උත්සන්න වීමේ හැකියාව පවතී.
සුදුසු ආහාර :-
• කිරි, ගිතෙල්, සව්, බාර්ලි, කුරුම්බා, තැඹිලි, කොමඩු වැනි ආහාර නිතර භාවිතයට ගැනීම
• කෙඳි සහිත එළවළු (කොහිල, දඹල, වැටකොළු, කෙහෙල්මුව), පලතුරු (කෙසෙල්, ගස්ලබු), පලා වර්ග නිතර ආහාරයට එක් කර ගැනීම
• ජල පානය හා දියර වර්ග පානය වැඩි කිරීම
කොළ කැඳ, ඔසු පැන්, දිය බත් නිතර ගැනීම
පරිකර්තිකා රෝගය සඳහා බාහිර හා අභ්‍යන්තර සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතු වන බැවින් රෝග ලක්ෂණ හටගත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීමෙන් පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව පවතින රෝගී තත්ත්වය කි.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)