රතුපාට මල් වැටුනු
ගුරු පාරේ හෙමි හෙමින්
ඉස්සරම අතීතෙක
මතක පොදි අවුස්සා,
සුදු ගවුමේ රැළි හදන්
දග කෙරූ දවස් යළි
හීන් සීරුවේ ඇවිත්
සියොළගම දැවටුනා…
ඉන්දියන් විලෝ යටදි
සිනා කැන් සරසාදා
පැසැලට ආව ගිය
දවස් යළි වින්දා,
බද්‍ර යෞවනය ලග
හීන පොදි එකතුකර
එක පවුලේ සොයුරියන් සේ
අපි ජීවිතේ වින්දා…
එදා සිටි උන් නැතත්
ඉස්කෝලේ නැත මහලු
හරි ආදරෙන් තාම
වැළදගෙන ඉම්බා…
අ යනු ආ යනු කියා
අමර සල් ගස් බලා
නයනා එනතුරු තාම
මගබලන් ඉන්නා…
සොළොස් වසරක් පුරා
හරි ආදරෙන් බදා
අපි අපිට ආදරෙන් උන්නු
ඉස්කෝලෙට ගියා…
නෙතග කදුලක් පුරා
මතකයන් අවුස්සා
හෙමි හෙමින් ආයේ මං
ගුරුපාරෙම ආවා…
රීනා