Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

දියවැඩියාව සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමුවී සංකූලතා අවම කරගනිමු

දියවැඩියාව සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමුවී සංකූලතා අවම කරගනිමු

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වලට අනුව පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බව පිළිගැනේ. එමෙන්ම දියවැඩියා රෝගය නිසා හටගන්නා අතුරු ආබාධ හා සංකූලතා හේතුවෙන් සිදුවන පුද්ගල මරණ ගණනද සංඛ්‍යාත්මකව දිනෙන් දින ඉහල අගයක් ගනී. 

වර්තමානයේ දියවැඩියාව යනු වයස් හෝ ලිංග භේදයකින් තොරව හටගන්නා රෝගී තත්ත්වයකි. පාසැල් වියේ පසුවන දරුවන්ට පවා පහසුවෙන් වැළඳෙන රෝග අවස්ථාවක් ලෙස මෙය ප්‍රකට වේ. 

වත්මන් සමාජය තුල අනුගමනය කරන සුඛෝපභෝගී ජීවන රටාව හා වැරදි ආහාර පාන රෝගය හටගැනීම කෙරෙහි ඍජුවම බලපායි. එමෙන්ම නිසි ව්‍යායාම නොලැබීම, මානසික ආතතිය, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය හා ජානමය පසුබිම රෝගයට හේතු කාරක වේ. 

බොහෝ දෙනා දියවැඩියාව මධුමේහය ලෙසට හැඳින්වුවද ආයුර්වේද මත අනුකූලව මධුමේහය යනු ප්‍රමේහ රෝග විස්සෙන් එක් රෝගයක් පමණි. එය වාතජ ප්‍රමේහ රෝග අතරින් එකකි. 

වාතජ ප්‍රමේහ රෝග ප්‍රබේද 4ක් ලෙස ද, පිත්තජ ප්‍රමේහ රෝග ප්‍රබේද 6ක් හා කඵජ ප්‍රමේහ රෝග ප්‍රබේද 10ක් ලෙස ප්‍රමේහ රෝග වර්ග කල හැක. මෙම විසි වැදෑරුම් ප්‍රමේහයන් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකරන කල්හි ද මධුමේහ තත්ත්වයට පත් විය හැකි බව ආයුර්වේදයේ පිලිගැනීමයි. 

එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ දී දියවැඩියාව ලෙස හැඳින්වෙන තත්ත්වය කල්යාමෙන් (Chronic) මධුමේහ අවස්ථාව බවට වර්ධනය විය හැක. 

වාතජ ප්‍රමේහ මධුමේහය අසාධ්‍ය හෙවත් සුව කිරීමට අපහසු රෝග තත්ත්වයකි. එනම්, ප්‍රතිකාර යෙදීමෙන් යම් සුවයක් ලබාගනු විනා සම්පූර්ණයෙන්ම සුව කිරීම අපහසු යැයි ආයුර්වේද මූල ග්‍රන්ථ වල සඳහන් රෝගී අවස්ථාවකි. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ආකාරයට අලුත් සහලේ බත්, පස්ගෝරස, ගව/එළු/කුකුළු හා ජලජ මාංශ, පැණි/හකුරු යෙදූ ආහාර (වර්තමානයේ නම් සීනි හා මාංශ අධිකව අඩංගු ක්ෂණික ආහාර පාන ආදිය) නිතර භාවිතා කිරීමත්, ව්‍යායාම වලින් තොර වීමත්, අධිකව නිදා ගැනීමත්, සැප අධික ලෙස දිවි ගෙවීමත් ප්‍රමේහයන්ට හේතු ගෙනෙන බව දක්වා ඇත. 

බටහිර වෛද්‍ය මතයට අනුව රුධිරයේ ඇති ග්ලූකෝස් යාමනය සඳහා අග්න්‍යාශය විසින් ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය වැදගත් වේ. මෙම පරිවෘත්තිය ක්‍රියාවලියෙහි හටගන්නා විකෘති තත්ත්වයක් හේතුවෙන් ඉන්සියුලින් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත පරාසයක රඳවා ගැනීමට අපොහොසත් වීමෙන් දියවැඩියාව ඇති වේ. ඒ අනුව දියවැඩියාව,

 type 1 – ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ශරීරය තුල නිපදවීමට නොහැකි වීමෙන්,

Type 2 – දේහ සෛල වල ඉන්සියුලින් වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීමෙන්,

Secondary – වෙනත් රෝගී තත්ත්වයක සංකූලතාවයක් හේතුවෙන්,

Gestational – ගර්භණී භාවය සමඟ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහල යාමෙන් 

ලෙස ප්‍රධාන ආකාර 4කින් හටගත හැක. 

රෝග ලක්ෂණ –

• දිනකට වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීම

• අධික පිපාසය හා තොලකට වේලීම

• එකවර සිරුරේ බර අඩු වී කෘශ වීම

• අධික තෙහෙට්ටුව හා අප්‍රාණික බව

• සුව නොවන තුවාල පැවතීම හා ආසාදන වලට පහසුවෙන් ගොදුරු වීම

• අසාමාන්‍ය ලෙස නිතර නිතර කුසගිනි දැනීම

• මුත්‍රා වල ගන්ධය ඇපල් ගන්ධයෙන් යුක්ත වීම

• මුත්‍රා කල පසු වැසිකිලියට තුල කුහුඹුවන්/මැස්සන් අධිකව ගැවසීම

• පෙනීමේ දුර්වලතා ඇතිවීම

• පාද හිරිවැටීම

• කෙණ්ඩ පෙරලීම නිතරම සිදුවීම

• චර්ම රෝග පහසුවෙන් වැළඳීම

• ලිංග ප්‍රදේශයන්හි කැසීම් පැවතීම හා ලිංගාශ්‍රිතව තුවාල ඇතිවීම 

පුද්ගල ප්‍රතිශක්තිය දුර්වල කර ශරීරයේ සියලුම පද්ධතීන් කෙරෙහි බලපෑම් ඇති කරන දියවැඩියා රෝගී තත්ත්වය මිනිස් සිරුර නොයෙක් අයුරින් පීඩාවට පත් කරනු ඇත. තව ද, රුධිරගත අධික ග්ලූකෝස් පිළිකා සෛල කෙරෙහි ඇතිකරන බලපෑමෙන් ප්ලීහාව ආශ්‍රිත පිළිකා, මුත්‍රා මාර්ගගත පිළිකා, සමේ පිළිකා හා පියයුරු පිළිකා ඇති කිරීමට ඍජු හා වක්‍රාකාරයෙන් හේතු සපයන බවට නව්‍ය පර්‍යේෂණ මගින් හඳුනාගෙන ඇත. දියවැඩියා රෝගීන්ගේ සම තුනී වීම හේතුවෙන් පහසුවෙන් තුවාල වීම, සම වියළීම, තුවාල ඉක්මනින් සුව නොවීම, සම මත දිලීර/බැක්ටීරියා ආසාදන පහසුවෙන් ඇති වීම සිදු වේ. තව ද, සංවේදනය හානි වී හිරිය පැවතීම හේතුවෙන් යටි පතුල් නිතර තුවාල වී, තුවාලයන් ඔඩු දුවන තැනට පත් වන තුරු රෝගියාට හඳුනාගැනීමට නොහැකි වන අවස්ථා පවතී. අවසානයේ ඇඟිලි හෝ පාද ශරීරයෙන් ඉවත් කිරීමට පවා මෙනිසා සිදු විය හැක. පුරුෂයින්ගේ ශිෂ්ණය වෙත සැපයෙන රුධිර සැපයුම අවහිර වීමත්, ස්නායු ආවේගයන්හි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවීමත් හේතුවෙන් දියවැඩියාව ලිංගික අප්‍රාණිකත්වය ද හේතු විය හැක. දීර්ඝකාලීන දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩිවීම නිසා මුඛය අභ්‍යන්තරයේ අහිතකර බැක්ටිරියා වර්ධනය වීමත්, දත් දිරායාම ඉක්මන් වීමත් සිදුවේ. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලුකෝස් සෛල වලට උරා නොගැනීම නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම සැම විටම අධික වේ. එමනිසා සෛල වලින් නිපදවන ශක්තිය හීන වේ. රෝගීන් කෘශ/දුර්වල තත්ත්වයට පත් වේ. 

රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වීමෙන් මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වීමෙන් ක්ෂණික ආඝාත (Stroke) හෝ හෘදය වෙත බලපෑම් ඇති වීමෙන් හෘදයාබාධ ඇතිවීම මෙම රෝගයේ අවදානම් අවස්ථාවන් වේ. කාලයක් පුරාවට දියවැඩියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳීම නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වී අකර්මණ්‍ය වීම ද සිදුවිය හැක. තව ද ග්ලූකෝමා තත්ත්වය හේතුවෙන් පූර්ණ දෘෂ්ටි නාශනය නොහොත් ඇස් නොපෙනී යාම පවා සිදුවිය හැක. එබැවින් දියවැඩියාව Diabetic neuropathy (ස්නායු පද්ධතිය ආශ්‍රය කරගනිමින්), Diabetic nephropathy (වකුගඩු ආශ්‍රය කරගනිමින්) හා  Diabetic retinopathy (ඇසේ දෘෂ්ටි විතානය ආශ්‍රය කරගනිමින්) යන ආකාර වලින් සංකූලතා ඇති කරනු ලැබේ.

දෙමාපියන්ගෙන් එක් අයෙක්ට අවුරුදු 50ට පෙර දියවැඩියාව වැලඳුනි නම් දරුවන්ට වැළඳීමේ හැකියාව 14%ක් වන අතර අවුරුදු 50ට පසු වැළඳුනි නම් දරුවන්ට වැළඳීමට ඇති හැකියාව 8%ක් පමණ වන බවත්, දෙමාපියන් දෙදෙනාටම දියවැඩියාව වැලඳී තිබේ නම් 50%ක ප්‍රවණතාවකින් ද දරුවන්ට රෝගය වැළඳෙන බව පර්‍යේෂණ මගින් පෙන්වා දී ඇත. එබැවින් පවුලේ රෝග ඉතිහාසයක් පවතින පුද්ගලයින් රෝගය පිලිබඳ සැලකිලිමත් වීම අනිවාර්යය වේ. 

ජානගත හේතූන් මත හටගන්නා දියවැඩියා තත්ත්වය සුව කිරීම ඉතා අපහසු අවස්ථාවක් බැවින් නිතර මනස නිරවුල්ව තබා ගැනීම, රෝගයට හිතකර ආහාර පාන හා විහරණ වෙත නැඹුරුවීම, අහිතකර ආහාර පානයන්ගෙන් හා විහරණයන්ගෙන් ඈත් වීම, ව්‍යායාම සිදු කිරීම හා යෝග අභ්‍යාස වල නිරත වීම මගින් වෛද්‍ය ප්‍රතිකාර වල සාර්ථක ප්‍රතිපල උදෙසා ඉවහල් වේ. 

මුල් අවස්ථාවේදී ම දියවැඩියාව හඳුනා ගැනීමෙන් සංකූලතාවයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ඉක්මනින් යොමු වී නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීම අතිශය වැදගත් වේ. (දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර පිලිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.)

– ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS Colombo