Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

ඔබේ දරුවාත් ඔටිසම් රෝගයේ ගොදුරක් විය හැකි ද??

නිරෝගී දරු සම්පත්තියක් හිමි කරගැනීම දරුවෙක් අපේක්ෂාවෙන් සිටින යුවලකගේ සිහිනයකි. එ මෙන්ම සමාජයීය වශයෙන් එහි වැදගත්කම ඉතා ඉහළ ය.

නීරෝගී දරුවන් මෙන්ම, රෝග තත්ත්වයන් සහිත දරුවන් බිහිවීම ද වර්තමාන සමාජයේ දක්නට ලැබේ.

දරුවෙක් රෝගී වීම යනු මුළුමහත් පවුල් සංස්කෘතියම පුද්ගලික මෙන්ම සමාජයීය වශයෙන් බිඳවැටීමකි.

මානසික වර්ධනය ඌන, සාමාන්‍ය හැකියාවන් හා හැසිරීම සම්බන්ධ ගැටලු සහිත දරුවන් බිහිවීමෙන් දෙමව්පියන් තම දරුවන් නිසා ඇති කරගන්නා සිත් වේදනාවන් හා මානසික පීඩාවන් ද ඉතා ඉහළ ය.

එවැනි රෝග තත්ත්වයන් අතර ඔටිසම් (Autism Spectrum disorder) රෝගය යනු වර්තමානයේ බහුලව අවධානය ලබා ඇති ළමා මානසික රෝග තත්ත්වය කි. 

මෙම රෝග තත්ත්වය ගැන නිසි දැනුවත් බව නොමැති වීම නිසා ප්‍රතිකාර වලට යොමු වීම ප්‍රමාද වීමත්, එමගින් රෝගය ක්‍රමයෙන් වර්ධනය වීමත් සිදුවිය හැක.

ඔටිසම් රෝගය හඳුනාගැනීමේ දී දෙමාපියන් දැනුවත් විය යුතු ප්‍රධානම කාරණය වන්නේ තම දරුවා නියමිත සංවර්ධන අවධි නිසි ලෙස සපුරාලන්නේද යන බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමය. 

මෙය දරුවාගෙන් දරුවාට වෙනස් ආකාර ගනී. නමුත් සාමාන්‍යයෙන්,

– දරුවාට මාස 3 ක් පමණ 

වන විට දී ප්‍රතිචාරාත්මක හිනාව නොමැති වීම, 

කතා කිරීමේදී ඒ දෙස ප්‍රතිචාර නොදැක්වීම (eye contact නොමැති වීම), 

මවගේ මුහුණ, දෑස් දෙස නොබැලීම.

– මාස 6 ක් පමණ වනවිටදීත් තනි අකුරු භාවිතයට තැත් නොකිරීම (තා, නා, බා ලෙසට)

– මාස 9 ක් පමණ වන විට අකුරු දෙකක් ශබ්ද කිරීම සිදු නොවීම ( තාතා, බාබා ලෙස), 

– අවුරුදු 1ක් ගත වන විට දී සාමාන්‍ය වර්ධනය සහිත දරුවෙක් හට වචන 10-15 ක් පමණ ග්‍රහණය කොට ගනිමින් කතා කිරීමට උත්සහ දැරුවද, ඔටිසම් රෝගී තත්ත්වය සහිත දරුවෙක් අවුරුදු 1 1/2ක් පමණ වනතුරුත් වචන ග්‍රහණය නොකරයි.

– මව, පියා කෙරෙහි අවධානය නොමැතිවීම, නම පවසා ආමන්ත්‍රණයේදී කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම, පසු කාලීනව, තනිව කාලය ගත කිරීමට නැඹුරු වීම, සම වයසේ දරුවන් සමඟ වුවද සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම, වෙන අය සමඟ කුළුපඟ නොවීම, 

– ගෙදරින් පිටතදී බොහෝ නොසන්සුන් වීම, කේන්ති යාම අධික වීම, සෙල්ලම් බඩු පේළියට තැබීම සිදු කිරීම, සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් නොකර ඒවායේ කුඩා කොටස් නිතර නිතර අතගාමින් ඒ දෙස බලා සිටීම, කැරකෙන දේවල් වලට ඇලුම් කරන අතර රෝදයක් කැරකවීම,  කැරකෙන ෆෑන් දෙස බොහෝ වේලා බලා සිටීම, දරුවා තමා වටා කැරකීම, ඔලුව, අත්-පා කැරකවීම, තමාගේ ඇඟිලි සොලවමින් ඒ දෙස බලා සිටීම, 

– ඇතැම් අසාමාන්‍ය පුරුදු හා ආශාවන් සහිත වීම (නූල් කෑල්ලක් අතේ ගුලි කරගෙන සිටීම, වතුරට අසාමාන්‍ය ආශාවක් තිබීම), තම ඇඟිල්ල භාවිතයෙන් යමක් නොපෙන්වා මවගේ හෝ වෙනයම් තැනැත්තකුගේ ඇඟිල්ල භාවිතයෙන් එය පෙන්වීම, 

– සරල ප්‍රශ්නයකට පවා පිළිතුරු ලබා නොදීම, ප්‍රශ්නයක් ඇසූ පසු එයට පිළිතුරු දීම වෙනුවට ප්‍රශ්නයම නැවත උච්ඡාරණය සිදු කිරීම, හේතුවකින් තොරව කෑගසා හැඬීම හෝ සිනාසීම, විවිධ ශබ්ද හා අංගචලන භාවිතා කිරීම,  නිතර උඩ පැනීම, වේගයෙන් දිවීම, අධි ක්‍රියාකාරීත්වය, මතක ශක්තිය අඩු වීම.

ඉහත සඳහන් ලක්ෂණ සියල්ලම ඔටිසම් රෝගය සහිත දරුවෙකු තුල නොතිබෙන අතර ලක්ෂණ කිහිපයක සම්මිශ්‍රණයක් පැවතීමේ හැකියාව බොහෝදුරට පවතී. 

එමෙන්ම, රෝග ලක්ෂණ එකක් හෝ දෙකක් තිබූ පමණින්ම ඔටිසම් රෝගය යැයි නිශ්චිතව කිව නොහැකි බැවින් දරුවා පිළිබඳ පූර්ණ අවධානයෙන් සිට කල්තියා හඳුනා ගැනීමත්, හඳුනා ගත් විගස වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වඩා වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අෂ්ඨාංග ආයුර්වේදය තුල ‘කෞමාරභෘත්‍ය’ තන්ත්‍රයෙහි ළමා රෝග හා ප්‍රතිකාර පිළිබඳ ප්‍රධානවම දක්වා ඇත.

දරුවන්ට වැළඳෙන මෙවැනි මොළයේ හා ස්නායු වර්ධනයේ ගැටලුකාරී අවස්ථාවන් ‘මනෝ දෞර්බල්‍ය’ රෝග අවස්ථාවක් ලෙස සැලකේ.

ආයුර්වේදය තුල දරුවෙක්ගේ ළමා කාලය සැලකෙන්නේ ගර්භ කාලයද ඇතුලත්ව ය.

එනම්, මව් කුස පිළිසිඳ ගැනීමේ සිට අවුරුදු 16 ක් වන තෙක් ළමා කාලය ලෙසට සැලකේ.

ඔටිසම් රෝග තත්ත්වය සඳහා හේතු නිශ්චිතවම දක්වා නැතත් ආයුර්වේද සංකල්ප අනුව නිරෝගී දරුවෙක්ගේ ශාරීරික ,මානසික වර්ධනය හා සංවර්ධනය සඳහා 75% ක් මවගේ ගර්භණී කාලය වැදගත් වන බව විශේෂයෙන් දක්වා ඇත. 

එබැවින් දරුවා පිළිසිඳ ගැනීම, මෙන්ම තමා දාව උපදින දරුවා පිළිගැනීමට මව මානසිකව සූදානම් වීම ද අතිශය වැදගත් වේ.

 *රෝග හේතු* :-

ගර්භජ හේතු- 

මවගේ මානසික සෞඛ්‍ය දරුවාගේ මානසික සෞඛ්‍ය කෙරෙහි බොහෝ සෙයින් වැදගත් වේ.

ගර්භණී මවගේ මානසික පීඩා, රැකියා ස්ථානයේ මානසික ආතතීන්, අනපේක්ෂිත ගැබ් ගැනීම් නිසා ඇති වන මානසික පීඩන, මවගේ වෙනත් රෝග තත්ත්ව, මව ලබා ගන්නා ආහාර (කටු, තික්ත රස බහුල ආහාර, ක්ෂණික ආහාර), මව ලබා ගන්නා ඖෂධ හා මවගේ වැරදි විහරණ මේ අතර ප්‍රධාන වේ.

දරු උපතක අවශ්‍යතාව මත පමණක් ගැබ් ගැනීමක් තුලින් දරු උපතක් සිදු කිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල විශේෂයෙන් දක්වා ඇති අතර දරුවෙක් අපේක්ෂා කරන යුවලක් දරුවෙක් බලාපොරොත්තු වන මොහොතේ සිට අනුගමනය කලයුතු ඇවතුම් පැවතුම් පිළිබඳ සංහිතා ග්‍රන්ථයන් හි සවිස්තරාත්මකව සඳහන් වේ.

‘දෞහෘදයාපචාර’ එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ සඳහන් දොළදුක සංසිඳීමත් ආයුර්වේදය තුල වැදගත් කොට සැලකේ.

ඉහත හේතූන්ට අමතරව, බීජ, බීජ භාග හා අවයව දෝෂ (වර්ණදේහ හා ජාන විකෘති), දරු ප්‍රසූතියේදී ඇති වන සංකූලතා, ප්‍රසූතියෙන් පසු දරුවාගේ ක්ෂීර කාලයේදී, ක්ෂීර-අන්නාද හා අන්න කාලයේදී (මව්කිරි පමණක් ආහාරයට ගන්නා අවධිය, මව්කිරි හා අර්ධ ඝන ආහාර හුරු කරන අවධිය, ඝන ආහාර ලබා දෙන අවධිය) ඇතිවන දෝෂ තත්ත්ව හා සංකූලතා; උදාහරණ ලෙස: මවගේ ක්ෂීර දෝෂ තත්ත්ව, දරුවා නිසියාකාරව මව්කිරි පානය නොකිරීම, දරුවාගේ පෝෂණ ඌනතා, කුඩා කල දරුවාට වැළඳෙන රෝග හැඳින්විය හැක.

එමෙන්ම ගර්භණී මවට හා අළුත උපන් බිළිඳාට ප්‍රමාණවත් නින්ද නොලැබී යාමත් දරුවාගේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපායි.

ආගන්තුජ හේතු –

හිසට සිදුවිය හැකි අනතුරු, වැටීම්, පහරදීම්, අඬු ආධාරයෙන් (Forcep delivery) සිදු කරන ප්‍රසූතියේදී ශිරෝ මර්ම අභිඝාත වීම, ස්නායු වලට හානි වීම

සහජ හේතු –

මව හෝ පිය පාර්ශ්වයෙ රෝගී අවස්ථාවට ලක් වූ දරුවන් සිටීම

ආහාර-විහරණ –

ජාන විකෘති කල ආහාර, කෘත්‍රිම රසකාරක, වර්ණකාරක යෙදූ ආහාර, කටු රස, ලුණු රස අධික snacks වර්ග, chips වර්ග නිතර දරුවන්ට ආහාරයට දීම

අසාත්ම්‍ය ඉන්ද්‍රිය- අර්ථ සංයෝග එනම් පංච ඉන්ද්‍රියයන් ඕනෑවට වඩා වෙහෙසවීම (උදාහරණ ලෙස දරුවා පරිඝනක තිරයට (phone/laptop/TV) ඇබ්බැහි වීම, විද්‍යුත් උපකරණ සමඟ බොහෝ වේලා ගත කිරීම,

ප්‍රමාණවත් නින්ද නොමැති වීම

දරුවා දිවා කාලයේ තනිව ගත කිරීම (මෙහෙකරුවන් සමඟ හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල)

දරුවා බලාපොරොත්තු වන දෙමාපිය ආදරය, සෙනෙහස, ආරක්ෂාව නොලැබී යාම

එමෙන්ම, 

දෙවැනි දරුවා ලැබීම නිසා දෙමව්පියන් දෙවැනි දරුවා වෙනුවෙන් කැපවීමේදී පළමු දරුවා මඟ හැරීම හේතුවෙන් පළමු දරුවාට ඇතිවන මානසික පසුබෑම් තත්ත්වය ඔටිසම් තත්ත්වයක් බවට පත් වීමේ හැකියාවක් ද පවතී.

ඉහත සඳහන් හේතූන් වල බලපෑමෙන් දරුවන්ගේ මානසික සංවර්ධනය අඩාල වී මානසික තත්ත්ව ව්‍යාකූල වූ, මනස දුර්වල වූ දරුවන් බිහිවීම සිදු විය හැක.

දරුවෙක්ගේ බුද්ධි වර්ධනය මුල් වසර 2-3 කාලයේ දී 90% ක් සම්පූර්ණ වේ. එබැවින් අවුරුදු 3කට පමණ පෙර හඳුනාගත් ඔටිසම් ‍රෝග තත්ත්වයන් සුව කිරීම ඉතා පහසුවෙන් සිදු කල හැකිය. එහිදී මොළයට සිදුව ඇති අනතුර/බලපෑම නිවැරදි කිරීමේ හැකියාව පහසුවෙන් පවතී.

මනෝ රසායන චිකිත්සා සිදු කිරීමත්, කතාව, භාෂාව හා සන්නිවේදන කුසලතා සංවර්ධනය සිදු කිරීමත් ඔටිසම් රෝගය සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර මඟින් සිදු කෙරේ. 

තවද, මෙම දරුවන්ගේ අධ්‍යාපන ගැටලු අවම කිරීම, එදිනෙදා ජීවිතයේ අවශ්‍ය කුසලතා හා සමාජයීය කුසලතා සංවර්ධනය කෙරෙහි මූලික අවධානය යොමු කරමින් ප්‍රතිකාර සිදු කිරීම වැදගත් කොට සැලකේ.

ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය තුල දරුවාට අවුරුදු 3ට පෙර ප්‍රතිකාර ආරම්භ කිරීම ඉහළ සාර්ථක ප්‍රතිඵල ලබා දේ.

ගොටුකොළ, ලුණුවිල ආහාර ලෙසට මෙන්ම ඖෂධ ලෙස සරල කෂාය කොට ලබා දීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගෙන දෙන අතර ප්‍රතිඵල වල නිරවද්‍යතාවය පර්‍යේෂණ මඟින් තහවුරු කොට ඇත.

මාස 1-1 1/2ක් පමණ කාලයක් ආයුර්වේද රෝහල් තුල නේවාසික ප්‍රතිකාර ලබාගැනීමෙන් ප්‍රතිකාර පද්ධතිය අවසන් කල හැකි අතර මේධ්‍ය, රසායන, බුද්ධි වර්ධක ඖෂධ අඩංගු අභ්‍යන්තර ප්‍රතිකාර නියමිත මාත්‍රාවලින්  ලබා දීම සිදු කෙරේ.

පංච කර්ම චිකිත්සා ලෙස ශිරෝ තෛල අභ්‍යංග, ශිරෝ ධාරා, ශිරෝ වස්ති, ක්ෂීර ධාරා වෛද්‍යවරයෙක් ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.

ගර්භ කාලයේ සිට දරුවා සමඟ ආදරයෙන් කතා කිරීම සිදු කිරීමත්, දරුවා ඉපදුණ පසුව ද දරුවා සමඟ සම්බන්ධ වීම හා දරුවා සමඟ නිතර කතා කිරීම දෙමව්පියන් විසින් කල යුතුය.

දරුවාට චිත්ත රූප මැවීමට හැකි වන අයුරින් කතාන්දර කියා දීම සිදු කල යුතුය.

පැයකට වඩා වැඩි කාලයක් ඩිජිටල් තිර වලට දරුවා නිරාවරණය වීම වැළැක්විය යුතුය.

දරුවාට කෑම කවන අතරතුර දරුවාට කතාන්දර කියාදීම, කුරුල්ලන්, කුඩා සතුන් පෙන්වීම වැනි දේ සිදු කිරීමෙන් දරුවාගේ අවධානය තමා වෙත නැඹුරු කර ගැනීම.

දරුවා නිසියාකාරව හඳුනා ගැනීම හා ආදරය, සෙනෙහස, ආරක්ෂාව නො අඩුව ලබා දීම සිදු කල යුතුය.

සියලුම රසයන් අඩංගු සමබර ආහාර වේලක් දරුවාට ලබා දීම.

දරුවා සමඟ කාලය ගත කිරීම.

දඬුවම්, සැර වැර සිදු නොකොට, දරුවා හුදෙකලා නොකොට, නොසලකා හැරීම් සිදු නොකර දරුවා ආදරයෙන් රැක බලා ගැනීම. (එසේ නොමැති වීමෙන් ගොඩනැගෙන මානසික පීඩනය දරුවාගේ ජීවිත කාලය පුරාවටම බලපානු ඇත.)

ප්‍රමාණවත් නින්දක් දරුවාට ලබා දීම.

ජාන විකෘති කල, කෘත්‍රිම රසකාරක, වර්ණකාරක අඩංගු ආහාර වර්ග ලබා නොදීමට සැලකිලිමත් වීම ද වැදගත් ය.

ආයුර්වේද දර්ශනය තුල දෙමව්පියන් විසින් තම දරුවා හා සහ සම්බන්ධ වීම අපූරු ලෙස දක්වා ඇත.

“ලාලයේත් පංච වර්ෂානි – දශ වර්ෂානි තාඩයේත්

ෂෝඩශේ ප්‍රාප්යේත් – පුත්‍රං මිත්‍රාච දාචරේත්”

දරුවෙක් අවුරුදු 5ක් වන තුරු හුරතල් තෙපුල් වලින් හොඳින් නැළවිය යුතු වේ. අවුරුදු 10 ඉක්මවූ පසු අවුරුදු 15 වන තෙක් පීඩාවට පත් නොවන සේ අවවාද ලබාදීම්, හොඳ නරක කියාදීම කල යුතුය. 

අවුරුදු 16 න් පසු දරුවා සමඟ යහළුවෙක් සේ ගත කල යුතුය.

කාර්‍ය්යබහුල ජීවන රටාව තුල දරුවන් වෙනුවෙන් කාලය සොයා ගැනීම අතිශය වැදගත් කාරණයක් වන්නේ ඔවුන්ගේ ළමා කාලය නැවත ඔවුන් සතු නොවන නිසාවෙනි.

එබැවින් නිරෝගී සම්පන්න දරුවෙක් මේ ලෝකයට දායාද කිරීමට ගර්භණී කාලයේ පමණක් නොව දරුවා උපත ලද පසුත් දෙමව්පියන්ගේ කැපවීම හා මැදිහත් වීම අතිශය වැදගත් වේ.

එමෙන්ම ඔටිසම් තත්ත්වය හඳුනා ගත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත දරුවා ඉක්මනින් යොමු කිරීම සිදු කල යුතුය. පර්‍යේෂණ මඟින් තහවුරු කල ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය විද්‍යා චිකිත්සා පද්ධතිය තුල අන්තර්ගත බැවින් කල් නොයවා ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් දරුවාගේ රෝග තත්ත්වය සුව කරගැනීමටත් (අවුරුදු 5ට අඩු දරුවන් සඳහා), රෝග ලක්ෂණ මඟ හරවා ගැනීමේ හැකියාවත් පවතින බැවින් රෝගය හා ප්‍රතිකාර පිළිබඳ නිවැරදි දැනුවත් බාවය ඔබ සතු සමාජ මෙහෙවරක් සේ සැලකිය යුතුය.

වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS -Colombo (SL)