අතීතයේ සිටම කාන්තා පුරුෂ දෙපාර්ශවයටම පුද්ගල පෞර්ෂත්වය කෙරෙහි හිසකෙස් සඳහා වැදගත් තැනක් හිමි විය.
වර්තමානයේද නිරෝගී හිසකෙස් පවත්වා ගැනීම මෙන්ම හිස් කබලෙහි නිරෝගීතාවය රැකගැනීම කෙරෙහි ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනාගේ උනන්දුව දක්නට ලැබේ.
නමුත්, අකලට හිසකෙස් පැසීම හා හිසකෙස් ගැලවී යාම නිසා වර්තමානයේ බොහොමයක් පුද්ගලයන් බහුලව පීඩා විදී.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක ඉගැන්වීමට අනුව නිරෝගී පුද්ගලයකු යනු සරල අදහසින් දෝෂ, ධාතු, මල යන සියළු පදාර්ථයන් නිශ්චිත මට්ටමින් සිරුර තුළ පිහිටි පුද්ගලයෙකි. චරක සෘෂිවර ඉගැන්වීමට අනුව, හිසකෙස් යනු අස්ථි ධාතුවෙහි මල ධාතුවකි. එනම් නීරෝගී අස්ථි ධාතුව නිර්මාණයෙන් අනතුරුව හට ගන්නා වූ මල පදාර්ථය හිසකෙස් ය. එමෙන්ම ඇතැම් ඉගැන්වීම් වල හිසකෙස් යනු අස්ථි ධාතුවෙහි උප ධාතුවක් ලෙසද පිළිගැනේ.
අප ආහාරයට ගන්නා වූ සියළු හිතකර ආහාරයන් නිසි පරිදි පරිපචනය වී ශරීරයට පෝෂ්‍ය ද්‍රව්‍ය අවශෝෂණ වීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවී සිරුරේ ධාතූන්ට අදාල පෝෂණය නිවැරදිව ලැබීම මඟින් ධාතු, උපධාතු හා මල කොටස් නිපදවීම සිදු වන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම යි. එම නිසා සිරුර තුල සිදුවන මෙම සමස්ථ ක්‍රියාවලිය පුද්ගල අනුබන්ධව ප්‍රශස්ථ තත්ත්වයක පවත්වා ගැනීම හිසකෙස් සම්බන්ධ නිරෝගීබව රැක ගැනීමේදීත් අතිශය වැදගත් වේ.
හිසකෙස් සම්බන්ධ රෝග අවස්ථා අතර ඛාලිත්‍ය-හිසකෙස් ගැලවී යාම (Hair loss), පාලිත්‍ය- අකලට හිසකෙස් පැසීම, ඉන්ද්‍රලුප්ත-උඳුගොව්වන් කෑම (Alopecia areata), සහ දාරුණක-හිස්හොරි (dandruff) වර්තමාන සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝග අවස්ථා අතර වේ.
ආයුර්වේද වෛද්‍ය ඉගැන්වීමට අනුව වා, පිත් හා සෙම් දෝෂයන්හි අසමතුලිත බව හේතුවෙන්, රෝග හට ගැනීම සිදුවන බැවින් හිසකෙස් වල නිරෝගී බව රැකගැනීමට කේෂ්‍ය (hair tonic), කේෂ්‍ය-සංජනන (hair reviatalizer), කේෂ්‍ය රංජන (natural hair restoring agent) චිකිත්සා ප්‍රයෝගයන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයේදී සුලබව භාවිතා කෙරේ.
රෝග හේතූන් වළක්වා ගනිමින්, රෝග මූලයන්ට චිකිත්සාව සිදු කිරීම ආයුර්වේද චිකිත්සා පද්ධතියේ ප්‍රධාන අරමුණ වේ. එම නිසා, සිරුරේ සියුම් පරිවහන යාන්ත්‍රණයන් (ස්‍රෝතස්) ශෝධනය කිරීම මගින් නිරෝගී සප්ත ධාතූන් නිර්මාණය කිරීම ප්‍රතිකාරයේ දී ප්‍රධාන තැනක් හිමි කර ගනී.
රෝග හේතු:-
• අහිතකර ආහාර පාන (පෝෂ්‍ය ගුණයෙන් අඩු හා සෞඛ්‍ය ආරක්ෂිත නොවූ ආහාර පාන / කෘත්‍රිම අහාර)
• දිනචර්‍ය්යා හා සෘතු චර්‍යයා නිසි ලෙස අනුගමනය නොකිරීම
• මානසික ආතතිය
• පරිසර දූෂණය වූ වටපිටාවක ජීවත් වීම
ඉහත සඳහන් හේතූන් හිසකෙස් සම්බන්ධ සංකූලතා ඇතිවීමට පමණක් නොව, පුද්ගලයෙක් පහසුවෙන් රෝගී වීමටත්, ශරීර ව්‍යුහාත්මකව ඉක්මනින් වයසට යාමටත් සෘජුවම හේතු කාරක වේ.
එමෙන්ම,
• පවුලේ ඉතිහාසය
• ජානමය හේතු
• හෝර්මෝන අසමතුලිත බව (ගර්භනී බව, කිරි දෙන මව්වරුන්, ආර්තවාභාවය, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධ, PCOD)
• හිස් කබලේ ඇති විය හැකි ඇතැම් ආසාධන තත්ත්ව (trichotillomania)
•දියවැඩියාව, පීනස, දීර්ඝ කාලීන සෙම් රෝග වැනි රෝග තත්ත්ව
• දුම් පානය
• දීර්ඝ කාලයක් පුරා පවතින මානසික ආතතිය
• ඇතැම් ඖෂධ භාවිතයේ අතුරු විපාක (පිළිකා, ආතරයිටීස්, මානසික ආතතිය, හෘද රෝග, අධි රුධිර පීඩනය වැනි)
හේතු විය හැක.
මීට අමතරව, අතිශය සංවේදී අවස්ථාවකට පසුව හටගනු ලබන depression තත්ත්ව වලදීත්, ප්‍රමාණවත් නින්ද නොලැබී යාම නිසාත් හිසකෙස් තුනී වී අධිකව ගැලවී යාම දැකිය හැක.
කොණ්ඩා විලාසිතාවන් සඳහා වැඩි වශයෙන් යොමුවීම, හිස කෙස් බොහෝ වේලාවක් තදින් බැඳ තබා ගැනීම, නෑමෙන් පසු හිසකෙස් පිස දැමීම මෘදුව සිදු නොකිරීම, තෙත හිසකෙස් පනාවෙන් පීරීම, වර්තමානයේ හිසකෙස් සඳහා සිදු කරන ප්‍රමිතියක් නොමැති ප්‍රතිකාර ක්‍රම, වෙළඳ පොළෙහි පවතින ඇතැම් ඖෂධ/ෂැම්පු වර්ග හිතුමතේ භාවිතය,
නවීන විලාසිතා නිසා අධික උණුසුම/රසායනික ද්‍රව්‍ය වලට හිසකෙස් නිරාවරණය වීම වැනි වැරදි ක්‍රියාවන් හේතුවෙන් ද අකලට හිසකෙස් පැසීම මෙන්ම අධිකව හිසකෙස් ගැලවී යාම සිදුවිය හැක.
හිසකෙස් සම්බන්ධ රෝග අවස්ථාවන් වලදී රෝගීන් ක්‍රමවත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වීම ද බහුලව දක්නට හැක. රූපවාහිනී දැන්වීම් වල ප්‍රදර්ශනය වන හිසකෙස් ආලේපන වර්ග හා නොයෙක් තෙල් වර්ග වෙළඳපොළෙන් පහසුවෙන් ලබාගෙන ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් බලාපොරොත්තු වුවද සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නේ මූලධර්මානුකූලව, නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදු නොවන බැවිනි. එම නිසා රෝග තත්ත්වය පහසුවෙන් සුව කර ගැනීමේ අවස්ථාව මග හැරී යාම රෝගීන් අතර බොහෝ විට දක්නට ලැබේ.
නියමිත වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේ දී නොලැබීයාම නිසා රෝගය තීව්‍ර අවස්ථාවන් දක්වා වර්ධනය වීම සිදුවිය හැක.
නිරෝගී පැහැපත් සමක්, නිරෝගී කෙස් කළඹක් ලබාගැනීමට මෙන්ම, සිරුරේ සමස්ථ තරුණ බව රැකගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල විශේෂයෙන් සඳහන් ‘රසායන තන්ත්‍රය’ යන විෂය පථය අතිශය වැදගත් වේ. අතීතයේ උතුරු ඉන්දියානු සමාජය තුළ ප්‍රකටව භාවිතා කළ වයසට යාම ප්‍රමාද කරමින් තරුණ බව රැක ගැනීම සඳහා වූ විශේෂිත ප්‍රතිකාර ක්‍රම මෙහි සඳහන් වේ.
එහි සඳහන් විශේෂ ප්‍රයෝගයන් අතර, රසදිය, ලෞහ (ලෝහ වර්ග), රත්න (මැණික් වර්ග), විෂ වර්ග අඩංගු ඖෂධ වට්ටෝරු බොහොමයක් අන්තර්ගත වේ.
හිසකෙස් සම්බන්ධ රෝග තත්තවයන් වලදී ඉහත චිකිත්සා ක්‍රම අභ්‍යන්තරව හා බාහිරව ප්‍රයෝග කිරීම ආයුර්වේද චිකිත්සා ක්‍රම අතර සුවිශේෂීබවක් උසුළයි.
ආයුර්වේද චිකිත්සා ක්‍රම අතර අස්ථි ධාතු ආශ්‍රිත ප්‍රතිකාර නිසි ආකාරව සිදු කිරීමත්, පෝෂණ ඌනතා මගහරවා ගැනීමත්, හිතකර ආහාර පාන වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීමත් ඉතා වැදගත් වේ.
එමෙන්ම ආයුර්වේද ප්‍රතිකාර අතර විශේෂිත ප්‍රතිකාර ලෙස සඳහන් වන පංච කර්ම චිකිත්සා (නස්‍ය, විරේචන,වස්ති, ශිරෝධාරා වැනි) මෙන්ම ඖෂධීය ස්නාන, ප්‍රලේප, තෛල වර්ග, ඝෘත වර්ග භාවිතය ප්‍රතිකාරයේදී සාර්ථක ප්‍රතිඵල ලබා දේ.
හිතකර ආහාර හා විහරණ :-
• කතුරු මුරුංගා, මුරුංගා, ගොටුකොළ, සාරණ, නිවිති, තම්පලා, මුකුණුවැන්න වැනි පලා වර්ග නෙල්ලි, පේර, අඹ, කෙසෙල් වැනි පලතුරු වර්ග නිතරම ආහාරයට එකතු කර ගැනීම
• ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම
• කොළ කැඳ, බෙලිමල්, රණවරා, ඉරමුසු, නීරමුල්ලිය වැනි ඔසු පැන් වර්ග නිතරම පානය කිරීම
• මුං ඇට, කඩල, කව්පි, කුරක්කන්, තල වැනි පෝෂ්‍ය ගුණයෙන් අධික ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනීම
• දිනපතා උදෑසන කාලයේ ස්නානයත්, ශීර්ෂ අභ්‍යංගය එනම් හිස් කබලට ඖෂධීය තෙල් දමා සිදු කරන මෘදු සම්භාහනයත් නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට උපකාරී වේ.
• මෘදු ශැම්පු වර්ග භාවිතා කිරීම
• හිසේ තෙල් ආලේප කරන විට ස්නානයට පැයකට පමණ පෙර හෝ දහවල් ස්නානය කිරීමෙන් පසු හිස කෙස් හොදින් වියලුනු පසුව තෙල් ආලේප කිරීම
• ඔබට සරිලන ඖෂධීය තෙල් වර්ගයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම
• හිස්හොරි සඳහා බෙහෙත් නෙල්ලි, අමු දෙහි, උළුහාල් තම්බා හිස සේදීම
• වෙනත් චර්ම රෝග හිස ආශ්‍රිතව ඇතිනම් (හිස් කබල ආශ්‍රිතව ඇතිවන පොතුකබර,උදු ගොව්වා කෑම වැනි රෝග) හා පීනස හෝ වෙනත් සෙම් රෝග තිබේනම් වෛද්‍ය ප්‍රතිකාර නොපමාව ලබා ගැනීම
• රාත්‍රී නිදිවැරීමෙන් වැළකීම හා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම
• නිතරම මානසික ආතතියෙන් සිටීනම් ඒ සදහා උපදේශනයට හෝ හිත සන්සුන් කරවන ආගමික කටයුතු සදහා යොමු වීම
• රාත්‍රී ස්නානය මෙන්ම වියලන යන්ත්‍රයන් මගින් හිසකෙස් වේලීම, කෘත්‍රිම ශැම්පු වර්ග ,සැර සබන් වර්ග භාවිතයෙන් වැළකීම
• දුම් පානය හා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
• සිරුරේ උණුසුම වැඩි කරන උෂ්ණ ආහාර ගැනීමෙන් වැළකීම
• කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර, රස කාරක යොදා සකස් කල ආහාර අවම කිරීම
අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම ඇතුළු බොහොමයක් හිසකෙස් සම්බන්ධ රෝග අවස්ථා සුව කරලීමේ හැකියාව ආයුර්වේද ප්‍රතිකාර සතු වේ. එබැවින්, හිස කෙස් සම්බන්ධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රමිතියකින් තොර වෙළඳපොළේ සඳහන් ප්‍රතිකාර අත් හදා බැලීම සිදු නොකොට සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)