නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප කළ හැම පාපයක් ම විපාක දෙන්නේ ද යන්න බොහෝ දෙනා විමසන පැනයකි. ධර්මයට අනුව සිත සහ පව් කර්ම සංස්කාර වශයෙන් දක්වා තිබේ . විපාක යනු නරක විපාක පමණක් නොවේ . නරක දේවල් වලට නරක විපාකත් හොඳ දේවල් වලට යහපත් විපාකත් ලැබේ. හොඳ කර්ම පිණිස ලැබෙන විපාක පුඤ්ඤාභි සංඛාර ලෙසත් නරක විපාක වලට ලැබෙන කර්ම අපුඤ්ඤාභි සංඛාර ලෙසත් බුදු දහමෙහි හඳුන්වයි. සරලවම කියත හොත් කර්ම වශයෙන් රැස් වන්නේ අප කරන පින් හා පව් ය.
නමුත් සිතට එන සැම නරක සිතිවිල්ලක් ම විපාක ගෙන දෙන්නේ නැත . එයට හේතුව නරක සිතුවිල්ලක් ඇති වූ පමණින්ම ඒ සඳහා කර්ම රැස් වෙන්නේ නැති බැවිනි.විපාක පිණිස කර්ම රැස් වන්නේ ඒ නරක සිතුවිල්ලෙන් සිත කය වචනය ක්‍රියාත්මක කිරීමට යාම තුළිනි. මෙහිදී එම නරක සිතිවිල්ල සිතින් ක්‍රියාත්මක කරන්න කරනුයේ යනුවෙන් හඳුන්වන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිතමින් සැලසුම් සකස් කිරීමයි .
කෙසේ හෝ කිසියම් කර්මයක හිමි කාරයා වන්නේ ඒ ක්‍රියාව හා බැඳුණු සිත ඇති තැනැත්තා ය . උදාහරණයක් ලෙස කෙනකු සතෙකු මරන්න සූදානම් වෙනවා යැයි සිතමු . එම මරණ සිත තිබෙන්නේ මරණ පුද්ගලයාට ය. මරණ ක්‍රියාව දෙස බලා සිට තවත් කෙනෙකුට එය සතුටින් අනුමත කරන්නේ නම්
ඒ පිළිබඳ හටගත් ශෝකය මත ගැටීමක් ඇති කර ගන්නේ නම් හෝ එය සතුටින් අනුමත කිරීම සහ ගැටීම තුළ එම පුද්ගලයාත් එම පාප කර්මය සිදු කරගනු ඇත. නමුත් එය කරන කෙනා මරණ තැනැත්තාට අත්වන ප්‍රාණඝාත අකුසලය තරම්ම බලවත් එකක් නොවේ. සත්ත්ව ඝාතන දෙස බලා සතුටු වීම යනු පව් අනුමෝදන් වීම යි . ගැටීමක් ඇති කර ගැනීම තුළ ඇත්තේ ද්වේශයක් නිසා එයද කර්මයකි.
මෙසේ තමන්ම තමන් ම ප්‍රාණඝාත අකුසලය නොකළත් අනුන් කරන ඕනෑම පාප කර්මයක් දෙස බලා සතුටු වීමෙන් බොහෝ අය පව් සිදු කර ගනිති. එසේම එම කරන ක්‍රියා අනුමත නො කළොත් කරන තැනැත්තා කෙරෙහි මානසිකව හෝ ගැටීම පාපයකි. මේවා මනෝ කර්ම නම් වේ.
මෙකල බොහෝ දෙනා කයින් හා වචනයෙන් රැස් කරන පාප කර්ම වලට වඩා මනසින් ඇති කරගන්නා පාප කර්ම වැඩි බව පෙනේ . සැබවින්ම මෙහිදී සිදු වී ඇත්තේ ඔවුන් කරගෙන ඇත්තේ අනුන්ගේ පවකට කර ගැසීමයි . මෙබඳු පාප කර්ම වලට කර ගැසීම නිසා ප්‍රාණඝාතය අකුසලය තරම්ම කර්මයක් රැස් නොවූවද එයට සමීප ප්‍රතිඵලයක් ලැබිය හැකිය.
මේ තත්ත්වය වළක්වා ගත ගතහැක්කේ අපට මය. අප කරන සියළුම පින් හා පව් වලට අප වග වගකිව යුතු වේ. එය කිසිදු බාහිර කාරණයකින් සාධාරණීකරණය කළ නොහැකි ය.අපි විසින් කරන හොඳ හෝ නරක කර්ම වල
විපාක අපිට දායාද වශයෙන් ලැබේ . මෙය කම්ම දායාද ලෙස ධර්මයෙහි සඳහන් වෙයි.
මෙසේ අතීතයේ කරන ලද දේවල් අතීත දායාද වශයෙන් උරුම වුවත් වර්තමාන ක්‍රියාකාරිත්වය තුළ එම කර්ම දායාද වෙනස් කළ හැකි ය . තමන් ජීවිතය කරනු ලබන කර්ම වලට තමන් වගකිව යුතු සේ ම එය වෙනස් කළ හැක්කේ ද තමන්ට ම ය. මේ ගැන අපි ටිකක් පැහැදිලි කර ගනිමු .
බෞද්ධයෝ අකුසල වලට බෝධි පූජා පවත්වති . අපල යනු එක්තරා අතකින් බැලූ විට අප අතීතය කරපු පාප කර්ම විපාක දෙන කාලය යි . එහෙනම් හොඳ කර්ම ඵල නොදෙන කාලයයි. මෙසේ තමන් ගේ දරුවෙකුට අපල කාලයක් ආ විට සමහර දෙමව්පියන් එම දරුවාට බෝධි පූජා තබන්නේද දරුවාට නොදන්වා ය . මෙසේ ආශිර්වාද ලැබිය යුත්තාට නොදන්නවා කරන ආශිර්වාදයෙන් එය ලැබිය යුත්තාට ලැබෙන්නේ නැත. ඔහුට එම ආශිර්වාදය ලැබෙන්නේ ආශිර්වාද ලැබිය යුත්තා එම ස්ථානයේ නොසිටියත් ඔහු එය දැන ගෙන මනසින් හෝ ඒ හා සම්බන්ධ වීමෙනි . ඒ බෝධි පූජාවලට සම්බන්ධ කුසල චේතනා මනසේ පහළ වීමෙනි. කුඩාම දරුවෙකු නම් එම ස්ථානයේ තබා ගෙන ආශිර්වාද කිරීමෙන් එම ආශිර්වාදය ලැබෙයි.
පන්සලට බුදු බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන තැනැත්තෙකු එහෙමත් නැතිනම් පන්සලට ට බුදු කුටියක් සාදා දුන් අයෙකු සැදැවතුන් ඒ වන්දනා කරන මොහොතක් මොහොතක් පාසා තමන්ට ඉබේම පින් ලැබෙයි යනුවෙන් සිතීම වැරදිය. එසේ පින් ඉබේ පෙළඹෙන්නේ නැත . තමා කළ ඒ කුසල ක්‍රියාව ගැන නිතර මනසින් මෙනෙහි කිරීමෙන් සහ සතුටු වීමෙන් ඒ පින ලැබෙනු ඇත.
අප කළ පාප කර්ම වල විපාක වලක්වා ගත හැක . නරක හැම විපාකයක් ම විපාක දෙන්නේ නම් දුටුගැමුණු රජුට දිව්‍ය ආත්මයක් ලැබීමට පුළුවන් වන්නේ නැත . අංගුලිමාල රහත් භාවයට පත් වන්නේත් නැත. නමුත් මෙසේ කී පමණින් ඔබ තව තවත් පාප කර්ම කළොත් එහි විපාක බිහිසුණු වීමට පුළුවන.
පාප මිත්‍ර සේවනය නිසා හෝ හෝ ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා හෝ නොමනා පුද්ගලයෙකු ගේ බලපෑම නිසා ඔබ පාප කර්මයක් සිදු කළේ නම් ඔබ එම පාප කර්මය නැවත කිසි දිනෙක නොකරන්නේ යැයි ආයත සංවරයේ පිහිටා වඩ වඩාත් වඩා කුසල් දහම් කළ යුතුයි . එමගින් නරක විපාක වළක්වා ගත හැකි ය.
නමුත් මොන තරම් කුසල ධර්ම කළත් මව මැරීම පියා මැරීම ආදී වූ ආනන්තරිය පාප කර්ම කළ අයෙකුට නම් විපාක ලැබීම වෙනස් කළ නොහැකිය . ආනන්තරීය පාප කර්ම වලින් එකක් හෝ කර ඇතොත් මරණින් මතු ඒකාන්තයෙන්ම නරකයෙහි උපත ලැබීම කර්ම නියාමයකි.
අතිපූජනී තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ
සම්මා සම්බුදු සරණයි හැමෝටම !!