Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

අමන්ද්‍යා උත්පලි

පහුගිය කාලයේදි අපට අහන්න සහ දකින්න ලැබුන ගීත අතර “රැජිනට ඇන්දා” නම් වු වෙනස්ම ආරයක ගීයක් ලංකාව පුරා මෙන්ම ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයන්ගේ ආකාර්ශණය සහ ආදරය ඉතා ඉහලින් දිනා ගන්නට සමත් වුනා. මෙම ගීතයෙහි හඩ පෞර්ෂය, පද පේළි, සංගීතය මෙන්ම රූප රචනයද ඉතාමත් සුවිශේෂිවිම ගීතයෙහි ජනප්‍රියත්වයට හේතු පාදක වුවා කියා නිතර්කයෙන්ම අපට කිව හැකිය. අප කාගෙත් සිත් සොරාගත් මෙම ගීතයෙහි හිමිකාරිය පිළිබදව විපරම් කල විට දැන ගන්නට ලැබුනේ ඇය ලාංකික ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙකු වු ගිරිරාජ් කෞෂල්‍යය මහතාගේ දෙටු දියණිය බව සහ සහන් රන්වල මහතාගෙන් කාලයක් තිස්සේ ගුරුහරුකම් ලබන රන්වල බලකායේ සමාජිකවක් බවයි. ගායනට, නර්තනයට මෙන්ම රංගනයට ඇය අති දක්ෂ බව පහුගිය වකවානුවේදි පුංචි තිරයෙහි ජනප්‍රිය වු නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය තුලින් මනාවට පිළිඹිබු වුනා. මෙවර අපි Magazine හරහා රැජිනට ඇන්දා ගයන නන්දා නම් වු අති දක්ෂ සකල කලාවෙන් පරිපූර්ණ වු ශිල්පිනියක් වන අමන්ද්‍යා උත්පලි සමග සොදුරු කතා බහක යෙදෙන්නයි අපගේ සුදානම…

(1) අමන්ද්‍යා, මොනවාද මේ දවස්වල තොරතුරු?

පහුගිය දවස්වල මම ඉතාම කාර්යබහුල වුනා. පෙබරවාරි මාසයේ 24 වෙනිදා Waters edge හෝටල් පරිශ්‍රයේදි “රැජිනට ඇන්දා Live on stage” නමින් මගේ පළමුවෙනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය ඉතා සාර්ථකව පැවැත්වුනා. එමෙන්ම මෙම දිනවල අනෙකුත් ප්‍රසංග සදහා ගීත ගායනයෙන් සම්බන්ධ  වෙනවා.

(2)”රැජිනට ඇන්දා වේදිකාවට” ඔබේ පළමු ප්‍රසංගය පහුගිය දිනෙක ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් අති සාර්ථක ලෙස නිමාවට පත්වුනා. ප්‍රසංගයේ තතු පිළිබදව කියමුද?

දැනට ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගවලට වඩා වෙනස් වු සෞන්දර්යාත්මක අත්දැකිමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන පරමාර්ථයෙන් “රැජිනට ඇන්දා Live on stage” ප්‍රසංගය බිහි වෙනවා. ශාස්ත්‍රිය ගීත, පැරණි ගීත, බටහිර ආරයේ ගීත, නාට්‍යය ගීත, නැටුම්, බෙර වාදන, ජන ගී සහ හින්දි තනු නාදමාලාවන් සහිත ගීත ඇතුලත් සංගිතයේ විවිධ පැතිකඩ පෙන්නුම් කල ඒක පුද්ගල ගීත ප්‍රසංගයකට එහා ගියපු විශේෂයෙන්ම මම ප්‍රාසාංගික ශිල්පිනියන් වශයෙන් ප්‍රේක්ෂකයන්ට සමීපව වන්නට දැරු උත්සාහය ප්‍රේක්ෂකාගාරය පිරි යමින් අති සාර්ථක වුනා කිවුවොත් නිවැරැදියි.

රැජිනට ඇන්දා ගීතය පදනම් කරගෙන ලංකාවේ බොහෝ අය මාව ශිල්පිනියක් විදියට හදුනා ගන්නවා. එම ගීතයට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නැරඹීමට පැමිණිම මට ඉමහත් සතුටක්. ප්‍රසංග සදහා යුග ගීත ගායනයෙන් රොඩ්නි වර්ණකුල මහතා සහ උදේෂ් ඉන්දුල අයියා සම්බන්ධ වුනා. එමෙන්ම සම්භාව්‍ය ඝණයේ සාම්ප්‍රදායික ප්‍රසංගයකට එහා ගියපු පවුලේ සියලුම දෙනා සතුටු වෙන ආකාරයේ ප්‍රාසාංගික ඇත්දැකිමක් ප්‍රේක්ෂකයන්ට ලබා දිමේ අරමුණින් ජනයි ප්‍රියයි දෙපල පූරක දෙපළ වශයෙන්ද මෙම ප්‍රසංගයට එකතු කර ගත්තා. නිර්මාණාත්මක අධක්ෂණයෙන් මගේ තාත්තා ගිරිරාජ් කෞෂල්‍ය මහතා, මගේ ගුරුතුමා සහන් රන්වල මහතා සහ මගේ සැමියා සාරංග කලුගලගේ යන තිදෙනා ප්‍රසංගයේ සියලුම බර කරට ගෙන විශාල දායකත්වයක් ලබා දුන්නා.

(3) “රැජිනට ඇන්දා” ගීතය ඔබව මෙතෙක් දුරක් ගෙන යයි කියලා ඔබ හිතුවාද?

රැජිනට ඇන්දා ගීතය නිර්මාණය කරද්දි ලොකු කුඩා වයස් භේදයකින් තොරව මෙතරම් ජනාප්‍රසාදයක් ලැබෙයි සහ ප්‍රේක්ෂකයන් මෙතරම් වැලද ගනි, ආදරය කරයි කියලා මම හිතුවේ නැහැ. මෙම ගීතය ජන ගී නාද මාලා ඔස්සේ නිර්මාණය වු නාට්‍යයානුසාරි ගීතයක්විම මෙතරම් ජනප්‍රියවිමට ප්‍රධානම හේතුව වෙන්න ඇති කියලා මම හිතනවා. මෙම ගීතය එලි දක්වන කාලයේදි තිබුන ගීත අනුව මෙවැනි ගීතයක් නිර්මාණය කිරිම ඇත්තටම අභියෝගයක් වුනා නමුත් මෙම නිර්මාණය සදහා දායක වුන සියලුම දෙනාට එම අභියෝගය ගනිමින් වෙනස් විදියේ නිර්මාණයක් බිහි කිරිමට අවශ්‍ය වුනා. ඉතින් අපි හිතුවටත් වඩා, හිතා ගන්න බැරි ආකාරයට ලංකාවේ මෙන්ම විවිධ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්න ඒ කරපු වෙනස් නිර්මාණයට හැකි වුනා. පහුගිය කාලයේ පැවැති රියලිටි තරග කිහිපයකම තරගකරුවන් මෙම ගීතය තරගය සදහා ඉදිරිපත් කිරිමට තොරා ගැනිමත් විශේෂත්වයක් වුනා.

(4) ඔබේ අලුත්ම ගීත නිර්මාණය පිළිබදව විස්තර කියමුද?

“තාත්තා” නමින් උමා අසේනි ශිල්පිනියගේ තාත්තගේ උපන්දිනය වෙනුවෙන් ඇය අතින් ලියවුන හිතට දැනෙන වචන ටිකට විදු කහපොලආරච්චි මහතාගේ සංගීතය මුසු කෙරුන ගීතයක් Youtube අවකාශය ඔස්සේ මෙම වර්ෂයේ මුලදි මම එලි දැක්වුවා. මගේ කටහඩට ඇයගේ තාත්තා කැමතිවිම සහ මගෙයි තාත්තයි අතර තියන සම්බන්ධතාවයට සමාන සම්බන්ධතාවයක් ඇයයි ඇයගේ තාත්තගෙයි අතර පැවතිම වැනි හේතු මත මට අහඹු ලෙස මෙම ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුනා. අහපු රස විදපු අයගෙන් ඉතා විශාල ප්‍රතිචාර ලැබෙනවා.

(5) ප්‍රේක්ෂක සිත්තුල ඉතා අපූරු මතක එක්කල අපට සිටින අති දක්ෂ කලා ශිල්පයෙකු වන ගිරිරාජ් කෞෂල්‍යය ඔබේ පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබදව ප්‍රේක්ෂක අපි කෙටියෙන් දැන ගන්න කැමතියි.

දැනට අවුරුදු දෙකහමාරක විතර කාලයක් තිස්සේ තාත්තා අසනිපය සදහා ප්‍රතිකාර ලබනවා. පහුගිය කාලයේදි ප්‍රතිෂක්තිකරණය අඩුවිම හේතුවෙන් නැවත අසනීප තත්වයක් ඇති වුනා. ඔහු මේ වනවිට ඒ සදහා ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

(6) ඔබගේ කලා ගමනට ඔබේ පවුලෙන්, ඔබේ ආදරණීය ස්වාමියාගෙන් ඒවගේම ඔබ වටා සිටිනපිරිසගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

කුඩා කාලයේ ඉදන්ම අම්මයි තාත්තයි මගේ ගීත ගායන හැකියාව අදුන ගෙන මාව ඒ සදහා යොමු කරමින් වැඩිදුර අධාපනය ලබා දුන්නා. කලා කටයුතු වෙනුවෙන් යොමුවිම නිසා තාත්තා කාර්යබහුලවිම නිසා විශේෂයෙන්ම අම්මා මගේ අධාපනය කටයුතු සදහා ඉතා ඉහල සහයෝගයක් ලබා දුන්නා. දැන් මගේ සැමියාගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගයේ මූලික අදහස මට ලබා දෙමින් සහ ප්‍රසංගයේ සම්පූර්ණ වැඩ කටයුතු කළමනාකරණය කරමින් ඔහු මට විශාල සහයෝගයක් දුන්නා. කලා ශිල්පිනියක් විදියට මගේ කලා ගමනට ඔහුගෙන් ලැබෙන සහයෝගය ලොකු ශක්තියක් කිවුවොත් මම නිවැරදියි. තවත් සුවිශේෂි පුද්ගලයන් දෙදෙනෙකු වශයෙන් සහන් රන්වල ගුරුතුමා සහ ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා හදුන්වන්න පුලුවන්. කථිකත්වය, පෞර්ෂත්වය ගොඩ නගා ගැනිම, පිරිසක් ඉදිරියේදි ගීතයක් නර්තනයක් ඉදිපත් කිරිම වැනි සියලුම දේවල් රන්වල බලකාය සමග සම්බන්ධ වෙමින් සහන් රන්වල ගුරුතුමාගේ ගුරුහරුකම් ලබමින් මගේ ජිවිතයට එකතු කර ගන්න මම වාසනාවන්ත වුනා. ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය හරහා ටෙලිනාට්‍යය රංගනයට මාව සම්බන්ධ කර ගනිමින් රංගන ශිල්පිනියක් වශයෙන් විවරණ ලබන්නට මට අවස්ථාව සලසා දෙනවා. මගේ ජිවිතයේ ශක්තියක් වුන මෙම සියලු දෙනාට ස්තුතිවන්ත වන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

(7) රන්වල බලකාය සමග ඔබගේ බැදිම පිළිබදව සහ බලකාය සමග සම්බන්ධවිමට බලාපොරොත්තු වන පිරිසට බලකාය ගැන විස්තර ටිකක් කියමුද?

මම රන්වල පදනමට සම්බන්ධ වුනේ 2007 වර්ෂයේදි ඉන්පසු 2011 වර්ෂයේ සිට රන්වල බලකායේ සාමාජිකාවක් විදියට කටයුතු කරනවා. මගේ ජිවිතය වෙනස් මානයකට ගෙනගිය සංදිස්ථානයක් ලෙස රන්වල බලකාය සමග සම්බන්ධවිම හදුන්වන්න පුලුවන්.

සහන් රන්වල ගුරුතුමා බලකාය තුල හදාරන සියලුම සිසු සිසුවියන්ගේ වර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නිරන්තරයෙන්ම වැඩ කරයුතු කරනවා. රන්වල බලකාය සමග සම්බන්ධ විමෙන් දරුවෙක්ට තමන්ගේ ජිවිතය යහපත් අතට හරවා ගන්න, දැනුම එකතු කර ගන්න, කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. විදේශ රටවල්වල වෙසෙන දරු දැරියන් වෙනුවෙන් පැවත්වෙන පාඨමාලාවන් පිළිබද තොරතුරු රන්වල බලකායෙහි ලංකාeපාසල (lankaeschool.com) වෙබි පිටුව මගින් ලබා ගන්න පුලුවන්.

(8)ඔබව ඉදිරියේදි ප්‍රේක්ෂක අපට දකින්නට ලැබෙන කලා කටයුතු මොනවාද?

රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගයත් සමග ලංකාවේ විවිධ පැතිවලින් සහ විදේශීය රටවල්වලින් මට විශාල ආරාධනා ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඉදිරියේදි රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගය ලංකාව පුරා වගේම ලෝකය පුරාත් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

පහුගිය අවුරුදුවල වගේම රන්වල බලකාය සමග ජන ගීය අරන් ලෝකය පුරා යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ ටෙලිනාට්‍යය හරහා මගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.

ඉදිරියේදි එලි දැක්විමට නියමිත මගේ ගීත රසවිදින්න සියලුම දෙනාට ආරාධනා කරනවා. 


අමා නාකන්දලගේ

Sign up for our newsletter