Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

අවසන් හුස්ම

මිනිත්තු හතරකින් ආත්මීය බැමි ගැන විවරණය

කෙරෙන “අවසන් හුස්ම” ගීතය…

මෑත කාලය තුළ සුභාවිත ගීතයෙන් සියුම්ව හදවත් කෙනිත්තූ ගේය පද රචකයෙක් ලෙස රසික ඩී.

දුමින්ද මහතා හඳුන්වා දිය හැකිය. මටත් තිබුනා ප්‍රේමයක්, අක්කා, සුසානය, පමාවී ආවා වැනි

ජනප්‍රිය ගීත බොහොමයකගේ පද අතර සිර වී ඇත්තේ ඔහුගේ හැඟීම් ය. ඔහුගේ ගීත අතර ආත්මීය

පොදු අනුභූතියක් පාදක කර ගත් "අවසන් හුස්ම " ගීතය සර්ව කාලීන වශයෙන් ප්‍රේමණීය මිනිසුන්

ආමන්ත්‍රණය කිරීමට සමත් වී තිබේ.ප්‍රවීණ සංගීතවේ දී දර්ශන වික්‍රමතුංග මහතාගේ

සංගීතයෙන් හැඩවී ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දකයන්ගේ පණ ලැබූ "අවසන් හුස්ම"

ගීතය එළි දැක කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹුම් වාර මිලියන ගණනක් පසු කොට

හමාරය.

ප්‍රේමය නම් අකුරු තුන තුළ ගැඹුරු අර්ථයක් ගැබ් වී ඇත. වත්මන් සමාජය තුළ ඇති ලිංගිකත්වය හා

සයනයකට සීමා වූ ආදර කතා අතර සමාජය නොදකින නිහඬව සැඟවුණු ආත්මීය බැඳීම් ද ඇත.

“අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක

අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න

නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න”

මේ ලෝකයේ උපත ලැබූ ඕනෑම අයෙකු නිසැකවම තම ආයුෂ අවසන් කර ජීවිතයට සමු දිය යුතුමය. මෙම

ගීතයේ ආදරවන්තයා ඒ ලෝක ධර්මතාවයට එකඟ වී ඇත. නමුත් කුමන හෝ මොහොතක දී තම බිරිඳ මේ

ලෝකය හැර ගියහොත් සිය ජීවිත ගමනට වාරුවක් නැතිව යන බව ඔහු දනී. ඔහු එම යථාර්ථයට

මුහුණ දීමට සූදානම් නැත. ඕනෑම කුටුම්භයක් තුළ බිරිඳ නම් චරිතය මහ වැඩ කොටසක් සිදු කරනු

ලබයි. එය කියා නිම කළ නොහැකි තරම්ය. දරුවන්ගේ වැඩ කටයුතු, නිවසේ වැඩ කටයුතු, මෙන්ම සිය

ස්වාමියාගේ වැඩ කටයුතු ද සිදු කරනු ලබයි. ඇතැම් අවස්ථාවල දී උදේට රැකියාව සඳහා පිටත්ව යන

ස්වාමියාට බත් කවන බිරින්දෑවරු පවා අපට මේ සමාජය තුල හමුවේ. මෙම ගීතය පුරාවට ම

බිරිඳකගේ වටිනාකම දන්නා සංවේදී ස්වාමිපුරුෂයාගේ එකම ඉල්ලීම වනුයේ,

“නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න”

යන්නයි. ඔවුන් තුළ ඇති ප්‍රේමයේ බැමි කෙතරම් නම් සවිමත් ද යන්න ඒ තුළින් ධ්වනිත වේ.

“මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය

පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම

රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට

මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම”

ආදරේ අංකුර දළුලන කාලයේ දී පෙම්වතියක සිටියදී තිබුණ බොළඳ වදන් හැඟීම් ආදිය වයසින් හා

අත්දැකීම්වලින් මුහුකුරා ගිය පරිණත බිරිඳ තුළ චර්යාත්මක හා මානසික වශයෙන් වෙනස් වී ඇති

ආකාරය පිළිබඳව ස්වාමිපුරුෂයා දකින්නේ උපේක්ෂා සහගතවය. අතීතයේ බොළඳ පෙම් බස් මවනා

කාලයේදී පුංචි සිත් රිදුමකට පවා කඳුළු හෙලූ, රණ්ඩුසරුවල් කළ ඒ කාන්තාව අද කුටුම්භ ජීවිතය තුළ

කුමන අඩුපාඩුවක්, සිත්තැවුලක් පැමිණිය ද කළු ගලක් මෙන් නොසැලී දැඩිව ජීවත් වේ. සොඳුරු

සිනහවකින් ඒවා දරා ගන්නා බව සංවේදී ආකාරයෙන් මේ ගීතය තුළ රූපණය කෙරෙයි. දරුවන්ගේ හා

ස්වාමිපුරුෂයාගේ සුඛ විහරණය උදෙසා මවක් හා බිරිදක් ලෙස එදා සිටි ලාමක පෙම්වතිය සියලු දුක්

දොම්නස් දරා ගැනීමට කටයුතු කරන අයුරු,

“රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට

මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම”

යන පබැඳුම තුළින් විද්‍යමාන කරයි.මුල් පද තුළින් තමාට සිය බිරිඳට පෙර නික් මිය යුතු යැයි

ප්‍රාර්ථනා කළද තමා නැති විට බිරිඳ කෙසේ ජීවත් වේවි දෝ, කුරිරු සමාජය තුළ අභියෝග කොපමණ

නම් ඒවිදෝ යැයි කල්පනා ලෝකය තුළ ප්‍රේමණීය ස්වාමිපුරුෂයා අතරමං වෙයි.

“පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර

මම නැති දාක නපුරක් නුඹ හට වේද

තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද

හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය”

තම ජීවිතයට තෝරාගන්නා සහකාරිය ජීවිතයෙන් කොටසක් නොව මුළු මහත් ජීවිතයම බව මේ තුළින්

මනාව පිළිබිඹු කරනු ලබයි. බැඳීම් වගකීම්වලින් යුතු ලෞකික ලෝකය තුළ ආදරණීය ස්වාමි පුරුෂයාගේ

අවසන් ප්‍රාර්ථනය වනුයේ කෙදිනක හෝ තම බිරිඳ සමඟ ම ජීවිත ගමන නිමා කිරීමටයි. මෙය

බොහෝ දෙනෙකුගේ යටි සිත තුළ රැව් පිළිරැව් දෙන ප්‍රසිද්ධ රහසකි. මේ ගීතය රස විඳිනා විට සිත

දැහැන් ගත වේ.

ගීතයක් යනු මිනිත්තු තුන හතරක් පමණ වූ කෙටි කාලයක් තුළදී ජීවිත යතාර්ථය පිළිබිඹු කළ හැකි

ප්‍රබල සන්නිවේදන මෙවලමක් බව මනාව විද්‍යමාන වෙයි. පද පේලි 12කින් සර්වකාලීන සංකීර්ණ

ජීවන යථාර්ථයක් රූපණය කළ හැකිද යන්න මවිතයක් බවට පත්කරමින් රසික ඩී.දුමින්දයන් මේ

සඳහා මිනි කුරු අමුණා ඇත. කලාවේදී මෙන්ම පුද්ගලික ජීවිතය තුළ ද සංවේදී ප්‍රේමනීය මිනිසෙක් වන

විශාරද දර්ශන වික්‍රමතුංගයන්ගේ භාවාතිශය සත්සරය ද අනභිභවනීය වේ. මේ සියල්ලගේ ම

අවසන් ඵලය වනුයේ ක්‍රිෂාන්ත එරන්දක සුභාවිත හඬ පෞරුෂය තුළින් මානව හදවත් හැඩ විය හැකි

"අවසන් හුස්ම" ගීතය බිහි වීමයි.

මෙවන් වූ විශිෂ්ට ගේය පද සංකල්පනා පිළිබඳව අගය කළ යුතුමය. සුභාවිත ගීතය පණ අදින යුගයක

ඊට පණ දෙන නිර්මාණකරුවන් හා නිර්මාණයන් රැකගත යුතුම ය. මෙවන් වූ හදවත් ආමන්ත්‍රණය

කරන ගීත කිසිදිනක නොමියෙනු ඇත.

ඉසුරු ශ්‍රී බණ්ඩාර ඊරියගොල්ල,

ජන සන්නිවේදන අධ්‍යන අංශය,

කැලණිය විශ්ව විද්‍යාලය.

Sign up for our newsletter