Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-3
previous arrow
next arrow

ආයෙත් අගමැතිට අඳින්න කෝට් මහන රිෂි සුනක්

2023 වසර ඉවරයි. තව සති කිහිපයකින් එළඹෙන 2024 වසර එක්සත් රාජධානියට ටිකක් තීරණාත්මක වසරක්. ලබන  වසරේ අවසාන භාගයේදී බොහෝ දුරට එක්සත් රාජධානියේ මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබනව. වසර 13ක අඛණ්ඩ කොන්සර්වේටිව් පාලනයකින් පස්සේ ඔවුන් මුහුණ දෙන අසීරුම මැතිවරණය විය හැක්කේ එළඹෙන මැතිවරණයයි. විපක්ෂයද බොහෝ කලකට පස්සේ තමන්ට නැවතත් බ්‍රිතාන්‍යයේ බලය ලබා ගන්න පුළුවන් වෙයි කියලා ලොකු බලාපොරොත්තු තියාගෙනත් ඉන්නවා.

කොහොම උනත් වර්තමාන අග්‍රාමාත්‍ය රිෂි සුනක් වැඩේ අතඅරින්න සූදානම් නෑ. සුනක් දැනට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මහමැතිවරණයකින් තෝරා පත්වෙලා නෙමෙයි. තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුලේ ඡන්ද වලින් පත්වුනු කෙනෙක් හැටියට. ඒත් සුනක් ඊළඟ මහ මැතිවරණයේදී කෙලින්ම කොන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂකයා විදියට කෙලින්ම ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ආසියාතික-බ්‍රිතන්‍ය ජාතිකයෙක් එහෙම නැත්තම් ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයෙක් වෙච්ච සුනක් සුද්දන්ගේ රටේ ඡන්දෙකදි අගමැතිවරයා වෙන්න ඡන්දේ ඉල්ලයි කියන එක ටික හිතන්නත් අමාරු වැඩක්.

පසුගිය ඔක්තෝබර් මාසයේදී එංගලන්තයේ මැන්චෙස්ටර් හී පැවති කොන්සර්වේටිව් පක්ෂයේ මහා සමුළුවේදී රිෂි සුනක් නැවත වතාවක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරිපත් වීමට සිය අභිලාෂය ප්‍රකාශයට පත් කරා. කොන්සර්වේටිව් පක්ෂයේ ජයග්‍රහණය දැඩි අවධනමක තියනවා පෙනි පෙනී උනත් ඔහු ඉදිරි මැතිවරණයේ සිය පක්ෂය මෙහෙයවීමට කැමති බවට ඉඟි පල කරා.

වයස අවුරුදු 42 දී බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රිෂී සුනක් ඉතිහාසයට එක් වන්නේ බ්‍රිතාන්‍යයේ මෑත අතීතයේ එම ධූරයට පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ පළමු බ්‍රිතාන්‍යය- ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාද ඔහු වන අතර සංක්‍රමණිකයෙකුගේ පළමු පරම්පරාවේ කෙනෙකු ලෙස අගමැතිධුරයට පත්වූ පළමු තැනැත්තාද වනවා. ඒ කියන්නේ සුනක් බ්‍රිතාන්‍යයේ උපත ලැබුවාට ඔහුගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ඉන්දීය ජාතිකයන් වනවා.

එක්සත් රාජධානිය මේ වෙලාවේ ඉන්නේ ලොකු ආර්ථික අර්බුදයක. ඒ වගේම මෙරට තියන අනෙක් ප්‍රධානම ගැටළු තමයි සංක්‍රමණික ප්‍රශ්නය සහ සෞඛ්‍ය සේවය. සුනක් ආයේ අගමැති වෙන්න පොඩි හරි බලාපොරොත්තුවක් තියනවා නම් ඔහුගේ ජාතිකත්වය කෙසේ වෙතත් මේ ගැටළු වලට නම් ඉතා ඉක්මනින් පිළිතුරු සොයන්නම වෙනවා. හැබැයි සුනක් ඒ ටික කරගෙන යනවා කියන එකත් මේ රටේ මිනිස්සුන්ට පේන්න තියනවා.

පසුගිය මාස කිහිපය පුරාම 11% අගයක තිබූ උද්ධමනය මේ වෙනකොට 4% විතර අඩු කරලා තියනවා. ඒ වගේම පසුගියදා ඉදිරිපත් කරපු අයවැයේදී මැතිවරණය ඉලක්ක කරගෙනම ඉතා ඉහළ වැටුප් වැඩිවීමක් වගේම සහනාධාර රැසක් වැඩි කරන්නත් සුනක් පියවර ගෙන තිබුනා. ඒ අතරේ සංක්‍රමණික ගැටළුව විසඳීමේ බලාපොරොත්තුවෙන් සුනක් තමන්ගේ කැබිනට් එකේ හිටපු ප්‍රබලතම අමාත්‍යවරියක් වූ ස්වදේශ කටයුතු ලේකම්වරිය අයින් කරලා අළුත් එතනට අළුත් කැබිනට් අමාත්‍යවරයෙක් පත්කරා.

ඒ වගේම රිෂි සුනක් තමන්ගේ කැබිනට් මණ්ඩලය ගැන තවත් ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ තමයි 2010 නැවත කොන්සර්වේටිව් පක්ෂය බලයට ගෙනාපු බ්‍රිතාන්‍යයේ 2010 සිට 2016 දක්වා අග්‍රාමාත්‍යවරයා විදියට කටයුතු කරපු ඩේවිඩ් කැමරන් තමන්ගේ රජයේ විදේශ කටයුතු ලේකම්වරයා විදියට පත්කරගනිපු එක. සාමාන්‍යයෙන් මේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් නැවත කැබිනට් අමාත්‍යවරයෙක් විදියට පත්වෙන එක ඉතාම දුලබ සිදුවීමක් වගේම දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයෙක් කැබිනට්ධූරයකට පත් කිරීමත් ටිකක් අසාමාන්‍ය සිදුවීමක්.

ගොඩක් විචාරකයන් නම් කියන්නේ ඩේවිඩ් කැමරන්ගේ නැවත ආගමනය සිද්ධ වෙන්නේ ඊළඟ මැතිවරණයේදී රිෂි සුනක්ට ආමන්ත්‍රණය කරන්න බැරි මේ රටේ සුදුජාතික ඡන්ද වලට ආමන්ත්‍රණය කරන්න බලාගෙන කියලා. මොකද කැමරන් කියන්නේ බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පාක්ෂිකයන් අතර ඉතාම ජනප්‍රිය මෙන්ම ආදරය කරන පුද්ගලයෙක්. කොහොම හරි ටිකක් දුරට අපිට හුරුපුරුදු ආසියානු පන්නයේ දේශපාලනයකද නිරත වෙන ගමන්, මැතිවරණය ඉලක්ක කරගත් පාලනයකද නිරත වෙන රිෂි සුනක්ට තව අවුරුදු පහකට බාර දෙන්න බ්‍රිතාන්‍යයේ ජනතාව සූදානම්ද කියන එක ගැන අනාවැකි පල කරන්න නම් තාම කල් වැඩියි.

තිලාන් ජයසේකර