Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

ආර්‍ය්‍යෝපවාදය

බුදුවරයකුට හෝ පසේ බුදුවරයකුට හෝ ආර්‍ය්‍ය වූ බුද්ධ ශ්‍රාවකයකුට හෝ යටත් පිරිසෙයින් ගෘහස්ථ සෝවාන් පුද්ගලයකුට වුව ද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්‍ය්‍යෝපවාද කර්මයයි. 

‘නත්‍ථි එතෙසං සමණ ධම්මො අස්සමණා එතෙ” යි මොවුන්ට මහණකම නැති මොහු අශ්‍ර‍මණයෝයි, සීලයෙන් උපවාද බෙණෙනුයේ අන්තිම වස්තුවෙන් උපවාද බෙණේ.

‘නත්‍ථි එතෙසං ඣානංවා විමොක්ඛොවා මග්ගොවා ඵලංවා” යි මොවුන්ට ධ්‍යානයෙක් හෝ විමෝක්‍ෂයෙක් හෝ මාර්‍ගයෙක් හෝ, ඵලයෙක් හෝ නැතැයි’ උපවාද කරන්නේ ගුණ නැසීමෙන් උපවාද කරන්නේ වෙයි.

ඔහු දැන හෝ, නො දැන හෝ උපවාද කළ කල ආර්යොපවාද කර්‍මය වේ. මෙය ආනන්තර්‍ය්‍ය සමාන වූ ස්වර්‍ගාවරණ වූ ද, මාර්‍ගාවරණ වූ ද, කර්‍මයෙකි. එහෙත් හේ සතෙකිච්ඡ (පිළියම් සහිත) ය. එයට මේ කථාවෙකි.

එක් ගමෙක එක් තෙර නමක් හා නවක නමක් පිඬු සිඟයි. ඔහු පළමු ගෙහි මැ උණු කැඳිත්තක් ලැබූහ. තෙරුන් ගේ බඩ රිදෙයි. මේ උණු කැඳිත්ත උණුවෙන් මැ බීවොත් ‘සප්පාය වේය’යි සිතා උළු අස්සක් පිණිස මිනිසුන් ගෙනවුත් දමා තුබූ කොටයක් මත හිඳ තෙරුන් වහන්සේ එය වැළඳූහ. ‘මේ ඉතා බඩසයින් පෙළුණු මහල්ලා අපට ලජ්ජා විය යුත්තක් කෙළේ ය’යි නවක භික්‍ෂුව කී. තෙරුන් වහන්සේ ගම පිඬු සැරැ විහාරයට ගොස් ඇවැත්නි! තට මේ සසුනෙහි පිහිටක් ඇද්දැ යි විචාළහ. එසේය සෝවාන්මි’යි කී. ‘එසේ නම් මතු මාර්‍ගයන් පිණිස උත්සාහ නො කරව. තා රහත් නමකට උපවාද කළහ’යි වදාළහ. හෙතෙමේ උන්වහන්සේ ක්‍ෂමා කරවී. එහෙයින් ඒ කර්‍මය බැහැර විය.

මෙසේ අන්‍යයෙක් හෝ ආර්යෝපවාද කළේ නම් ඔහු ගොස් තමා වැඩි මහලු නම් උක්කුටුකයෙන් හිඳ ‘මම ආයුෂ්මතුන්ට මේ මේ දෙය කීවෙමි’ ඒ මට ක්‍ෂමා කෙරේවා’යි ද, තමා නවක නම් වැඳ උක්කුටුකයෙන් හිඳ ඇඳිළි බැඳ ‘ස්වාමීනි! මම ඔබට මේ මේ දෙය කීවෙමි. ඒ මට ක්‍ෂමා කරනු මැනැවැ’යි ක්‍ෂමා කරවිය යුතු. අන් දිසාවක ගියේ නම් තමා ගොස් හෝ, සද්ධි විහාරිකයකු යවා හෝ ක්‍ෂමා කරවිය යුතු. යන්නට හෝ යැවීමට නො හැකි නම් ඒ විහාරයෙහි වැඩ සිටින නවක හෝ වැඩිමහලු වූ හෝ භික්‍ෂුව වෙත එළඹ පෙර කී සේ මම අසුවල් ආයුෂ්මතුන්ට හෝ ස්ථවිරයන් වහන්සේට මෙනම් දෑ කීවෙමි. ඒ ආයුෂ්මත් හෝ, ස්ථවිරයන් වහන්සේ මට ක්‍ෂමා කෙරෙත්වා’යි ක්‍ෂමා කරවිය යුතු. සම්මුඛයෙහි ක්‍ෂමා කළ නො හැකි නම් මෙසේ කළ යුතු. ඒ භික්‍ෂුව ආගිය අතක් නො දත හැක්කේ නම් (වසන තැනක් හෝ ආ ගිය තැනක් හෝ නො දනී නම්) එක් උගත් භික්‍ෂුවක් වෙත ගොස් ‘ස්වාමීනි! මම අසුවල් ආයුෂ්මතුන්ට මෙනම් මෙනම් දැයක් කීවෙමි. එය සිහිවත් මැ විපිළිසර උපද. එයට කුම් කෙරෙම්දැ යි විචාළ කල ඔබ නො බව මැනව. තෙරුන් ඔබට ක්‍ෂමා කරනු ඇත. සිත සනසව, කියා නම් ඔහු විසිනුදු ගිය දිසාවට වැඳ ‘ක්‍ෂමා කෙරෙත්වා’යි කිය යුතු.

හේ පිරිනිවියේ නම් පිරිනිවි ඇඳ තුබූ තැනට හෝ සොහොන වෙත ගොස් හෝ ක්‍ෂමා කරවිය යුතු. මෙසේ කළ කල ස්වර්‍ගාවරණ හෝ මාර්‍ගාවරණ නො වේ. කර්‍මය සංසිඳේ.

(විසුද්ධි මාර්ගය)

Sign up for our newsletter