Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කලා ලොවෙහි තරු වතගොත Digital media වෙහි අකුරු කරන අමා නාකන්දලගේ

🔸අපි මුලින්ම දැන ගන්න කැමති අමාගේ පවුලේ විස්තර ටිකක්…

මම ඉපදුනේ මහනුවර. මගේ පවුලේ ඉන්නේ අම්මියි, තාත්තියි, නංගි. දැනට අවුරුදු 3 කට විතර කලින් මගේ තාත්ති අපි අතරින් සමු ගත්තා. මගේ නංගි අම්මිව බලාගෙන අපේ නුවර මහගෙදර ජිවත් වෙනවා.

ඒවගේම අපේ පවුලට මෑතකදි එකතු වුනු මගේ සැමියාගේ පවුලේ අම්මා, තාත්තා ඇතුළු සියලු දෙනාමත් ආදරයෙන් මතක් කරනවා.

මහනුවර කියන්නේ ලංකාවේ තියෙන අලංකාර පුජනීය නගරයක්. ඉතින් මගේ පවුලේ අයත් එක්ක ගෙවුනු කාලයෙහි ඉතාම සුන්දර මතකයන් ගොඩක් තියනවා. විවාහ වෙලා ගෙදරින් ගොඩක් ඈතක ජිවත් වෙන්න වුනත් දිනපතා ගෙදරට කතා කරන්න, සැප දුක අහලා බලන්න මම අමතක කරන්නේ නැහැ.

🔸අමාගේ ආදරණීය සැමියා ගැන අපිට කියන්න කැමතියිද?

මගේ සැමියා ජනක නාකන්දලගේ, Gloucester Royal Hospital හි සේවය කරනවා.

අපි හමුවුනේ විවාහ යෝජනාවකින්. අදුන ගෙන කෙටි කාලයකින් අපි විවාහ වුනා. විවාහයෙන් පස්සේ මම එංගලන්තයට පදිංචියට ආවා.

අපි මුලින්ම හමුවුන දවසේ ඉදලා අද දවස දක්වා එකිනෙකා කෙරෙහි තිබෙන “ආදරය, විශ්වාසය, ගෞරවය” අපේ බැදිම ශක්තිමත් කලා කියලා මම හිතනවා.

මම හැදී වැඩුනේ බුදු දහමට ඉතාමත් කිට්ටු පරිසරයක. මගේ සැමියත් බුද්ධ දර්ශනය හොදින් අදහන කෙනෙක්, ඉතින් මම විවාහ වුනා කියලා මගේ පුරුදු පවත්වාගෙන යන්න අපහසු වුනේ නැහැ.

මගේ සැමියා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ආදර්ශමත් ස්වාම්පුරුෂයෙක්. ඔහු වැනි කෙනෙක් ලැබිමට මම වාසනාවන්ත බිරිඳක් වුනා කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒවගේම එයා මගේ අම්මිට තාත්තිට හොද පුතෙක්, මගේ නංගීට හොද සහෝදරයෙක් වුනා.

🔸ඔබට ලියන්න හිතුනේ කොයි කාලයේද?

මම පොඩිකාලේ ඉදලාම ලියන්න, පොත්පත් කියවන්න හරිම කැමතියි. මගේ අම්මි ගොඩක් කියවන්න කැමති කෙනෙක්. පොඩිකාලේ ඉදලාම කියවන්න හොදයි කියලා හිතන පොත්, පත්තර අම්මි මට තෝරලා දුන්නා. පොත් කියවන අතරතුරේ නිසදැස්, විශේෂ සිදුවිම ගැන මම ලියන්නත් පුරුදු වුනා. කියවිම තුලින් ලිවිමට ආසාවක් ඇති වුනා කියලා මම හිතනවා.

විවාහයෙන් පස්සේ මෙහෙ සිංහලෙන් ලියවුනු පොත්, පත්තර කියවන්න හොයා ගැනිමේ අපහසුතාය නිසා එම අවස්ථාව නම් ටිකක් ගිලිහි ගියා.

පහුගිය කාලයේ නවලිය සහ තරුණී

කාන්තා පුවත්පත් සදහා අත්කම් නිර්මාණය පිළිබදව ලිපි කිපයක්ම මට ලියන්න අවස්ථාව ලැබුනා. මගේ වැඩිම ලිපි ප්‍රමාණයක් පළවුනේ නවලිය පුවත්පතෙහි. එම අවස්ථාවන් මට ලබා දිම පිළිබදව නවලිය පුවත්පතෙහි ප්‍රධාන කතෘතුමිය හරින්දි ලියනගේ මහත්මියට සහ තරුණී පුවත්පතෙහි ප්‍රධාන කතෘතුමා ඉදුනිල් වීරරත්න මහතාට ස්තුතිවන්ත වෙනවා.

ඒ අතරතුරේ දි එංගලන්තයේ පළවන “අපි Magazine” හි ප්‍රධාන කතෘතුමා ගයාන් කරුණාරත්න මහතා හරහා මට එම සගරාව සමග සම්බන්ධ වි වැඩ කරන්න අවස්ථාව ලැබුනා. මාව සම්බන්ධ කර ගැනිම පිළිබදව මේ මොහොතේ දි ඔහුටත් ස්තුතිවන්ත වෙනවා.

ඒවගේම මම ආසාවෙන් ලියන දේවල් කියවන්න Ama Nakandalage facebook පිටුව සමග සම්බන්ධ වෙන්න ඔබටත් ආදරයෙන් ආරාධනා කරනවා.

🔸අපි Magazine හරහා මොනවද ඔබ පාඨකයන්ට ලබා දෙන්නේ?

ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ, විවිධ හැකියාවන්ගෙන් පරිපුර්ණ චරිතවල වතගොත පිළිබදව මම අපි Magazine හරහා පාඨකයන් හට ලබා දෙනවා. මම zoom තාක්ෂණය හරහා ඔවුන් සමග සම්බන්ධ වෙලා තොරතුරු වාර්තා කර ගන්නවා. කලාවෙහි ප්‍රවීන ප්‍රසිද්ධ චරිත සමග කතා කරන්න, දැන අදුන ගන්න ලැබිම සතුටක්. ඉතින් මම හරිම අසාවෙන් ඒ කටයුත්ත කරගෙන යනවා.

ලිපිය සම්පුර්ණ කලාට පස්සේ තොරතුරු වල නිවැරදිභාවය පරික්ෂා කරන්න මම අදාල කලාකරුවාට ලබා දෙනවා. ලිපිය නිවැරදි සහ පළ කිරිමට සුදුසු බව ඔවුන් තහවුරු කලාට පසුවයි මම ලිපිය පළ කිරිම සදහා භාර දෙන්නේ. ප්‍රසිද්ධ චරිතවල ගෞරවය සහ කීර්තිනාමය සුරක්ෂිත වන ආකාරයට නිවැරදි තොරතුරු පාඨයන් වෙත ලබා දිමට මම සැලකිලිමත් වෙනවා.

මගේ අම්මි මම ලියන ලිපිවල සදහන් සියලුම දේ කියවලා වචන සහ අකුරුවල අඩුපාඩුකම් තිබුනොත් පෙන්වා දෙනවා. ඉතින් මගේ පිටුපස හැමදාම ඉදලා මට සහය වන මගේ අම්මිව ආදරයෙන් මතක් කරන්න ඕනේ.

🔸ඔබ අත්කම් නිර්මාණ කරනවා අප දැක තිබෙනවා. ඒ ගැන විස්තර ටිකක් කියමුද?

ඔව්, මම Quilling නිර්මාණ කලාව සහ අත්කම් නිර්මාණකරණය විනෝදාංශයක් වශයෙන් ගොඩක් ආසාවෙන් කරන දෙයක්.

මම හිතන්නේ කලාත්මක නිර්මාණ හැකියාව මගේ අම්මිගෙන්, අත්තම්මාගෙන් මට උප්පත්තියෙන් ම දයාද වුන දෙයක්.

මගේ අත්තම්මා විශ්‍රාමික පේෂ කර්ම ගුරු උපදේශිකාවක්. ඒවගේම මගේ අම්මි කලා හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්. අදටත් මම නිර්මාණ කිරිමේදි අවශ්‍ය උපදෙස් අම්මිට කතා කරලා දැන ගන්නවා.

අත්කම් නිර්මාණකරණය පිළිබද දැනුම කලාවට ලබැදි අය සමග බෙදා ගැනිමේ අරමුණින් මම Ama’s HomeMade නමින් Youtube නාලිකාවක් පවත්වාගෙන ‍යනවා. එහිදි නිර්මාණකරණය, රූපරාමු පටිගත කිරිම, සංස්කරණයේ සිට සියලුම කටයුතු මගේ අතින්මයි සිදු වෙන්නේ. ඉතින් ඒ සදහා විශාල කාලයක් වැය වෙනවා.

මගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න සිදුවෙන නිසා කාලය ලැබෙන හැටියට හැකි අයුරින් අලුත් නිර්මාණ කරමින් Youtube නාලිකාව පවත්වාගෙන ‍යන්න බලාපොරොත්තු වෙනවා.

තවද මම ඇනවුම් සදහා Quilling නිර්මාණය භාර ගන්නවා. ඔබටත් නිර්මාණයක් කරවා ගැනිමට අවශ්‍ය නම් පහත සදහන් email id එක හරහා මා වෙත ඇනවුම යොමු කල හැකිය.

amas.homemade@gmail.com

🔸ඔබගේ ව්‍යාපාර කටයුතු පිළිබදව කිවුවොත්..

මගේ නිර්මාණ හැකියාව උපයෝගී කරගෙන online ව්‍යාපාරයක් පවත්වාගෙන ‍යනවා. ව්‍යාපාරය ආරම්භ කරලා දැනට කෙටි කාලයක් වෙනවා. නිර්මාණකරණය සහ එහි ප්‍රචාරණ වැඩ කරයුතු සදහා මෙම දිනවල මගේ කාලයෙන් වැඩි වෙලාවක් වැය වෙනවා. ඒ අතරම නිර්මාණ කිරිම සදහා අවශ්‍ය අධ්‍යාපන කටයුතු කිපයක්ම කරගෙන යනවා.

🔸ඔබ කාලය සැලසුම් කර ගන්නේ කොහොමද?

මගේ තාත්ති පිළිවෙලට වෙලාවට වැඩ කරපු කෙනෙක්. ඉතින් නංගියි මමයි පොඩිකාලේ ඉදලා ම තාත්තිගෙන් කාළය කලමනාකාරණය කර ගන්න, පිලිවෙලට වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්තා. කාලය සැලසුම් කර ගන්න මම අනුගමනය කරන ක්‍රමවලින් කිපයක් ඔයාලට කියන්නම්.

මම බොහෝ වෙලාවට ඉදිරි සතියක දෙකක කරන්න තියන විශේෂ දේවල් පොතක සටහන් කර පෙළ ගස්වා ගන්නවා. එහෙම කලාම අමතක වෙන්න, මග හැරෙන්නේ තියන ප්‍රතිශතය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම වැඩි අවධානයක් දෙන්න ඕන වැඩ මුලින්ම නිම කර ගන්න පුළුවන්.

අපේ පවුලේ සියලු දෙනාගේම විශේෂ දිනයන් මට මතකයි. ඉතින් කලින් ඉදලාම තෑගි අරන් දිනය සැලසුම් කරලා එයාලව සතුටු කරන්න මම හරිම කැමතියි. මම කවදාවත් අපේ පවුලේ අයගේ, අපිට කිට්ටු හිතවත් අයගේ විශේෂ දිනයන් අමතක කරන්නේ නැහැ. සැලසුම් කිරිම මගින් අනවශ්‍ය පීඩනයක්, කලබලයක් නැතුව විශේෂ අවස්ථාවන් සමරන්න පුලුවන්.

මම ආහාර පිසිම සදහා ඉදිරි සතියක කාල සටහනක් හදා ගන්නවා. එමගින් ඉදිරි සතියට අවශ්‍ය දේවල් පමණක් මිලදි ගැනිමට පුළුවන් එමෙන්ම අනවශ්‍ය බඩු මිලදි ගැනිම වලකා ගන්නත් පුලුවන්. ඒවගේම නිතර නිතර බඩු නැවත මිලදි ගැනිමට යාම වළක්වා ගැනිම තුලින් කාලය ඉතිරි කර ගන්නත් පුළුවන්. මෙම ක්‍රම ඔබටත් ප්‍රයෝජනවත් වේවි යැයි සිතනවා.

🔸ඔබ නිවාඩු වෙලාව ගත කරන්න කැමති කොහොමද?

මම නිවාඩුවක් ලැබුනාම කරන්න කැමති දේවල් කිපයක් ම තියනවා.

අපි දෙන්නාම ගොඩක් කැමති ච්ත්‍රපට බලන්න. ච්ත්‍රපටයේ අන්තර්ගතය අර්ථානුකුලයි නම් ඕනෑම භාෂා මාධ්‍යයක ච්ත්‍රපට අපි නරඹනවා.

ඒවගේම මම නිතරම ගීත අහන සංගීතයට ගොඩක් ප්‍රිය කෙනෙක්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට ගීත ගායනා කරන්නත් අපි දෙන්නා කාලය වෙන් කර ගන්නවා.

ඊට අමතරව අපි දෙන්නා හරිම කැමතියි නිවාඩුවක් ලැබුනාම විවිධ තැන්වල සංචාරය කරන්න. දැනට අපි මෙහෙ බොහෝ තැන්වල සහ යුරෝපීය රටවල් කීපයකම සංචාරය කරලා තියනවා. නිවාඩුවක් ලැබුනාම ලංකාවේ ඉන්න අපේ ආදරණීයන් බලන්න යන්නත් අපි අමතක කරන්නේ නැ.

ඒවගේම මම හරි කැමතියි ගෙදර ලස්සනට තියා ගන්න. Interior designing කියන්නේ මම ආසම විෂයක්. Interior designs පිළිබද අන්තර්ගත රූපවාහිනි වැඩසටහන් සහ සගරා මම නිරන්තරයෙන් ම බලනවා. ඒ පිළිබදව ආසාව නිසාම ඊට සම්බන්ධ පාඨමාලාවන් හදාරලා තියනවා.

🔸අපි Magazine එකට සම්බන්ධවිම පිළිබදව ඔබේ අදහස…

මම අපි Magazine සමග සම්බන්ධ වුනේ එහි ප්‍රධාන කතෘතුමා ගයාන් කරුණාරත්න මහතා මාර්ගයෙන්. එංගලන්තයේ සහ ලංකාවේ වෙසෙන විද්වත් කතුවරයන් සමුහයක් සමග සම්බන්ධ වි වැඩ කර ලැබිම සතුටක්. මට මේ අවස්ථාව ලබාදිම පිළිබදව ගයාන් කරුණාරත්න මහතාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් “අපි Magazine” කියවන්න පාඨක ඔබ සියලු දෙනාට ආරාධනා කරන අතර ඔබ වෙනුවෙන් “අපි Magazine” චිරාත් කාලයක් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Sign up for our newsletter