Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කොන්ද කෙලින් තියන් කසාද බඳින්න

වයිෆ්  කියනවා අපි වෙනම පදිංචි වෙමු කියලා , මට පුලුවන්ද මගේ අම්මා තනිකරන්න ,ගෑණිට ඕන කුදයක් ගහගන්න කියලා දික්කසාද නඩු දැම්මා , අපි බැන්දේ ආදරේ කරලා , ඒත් මටනම් දැන් එයාව තිත්තයි ,අපේ අම්මා ඔය ඉඳලා හිටලා එක එක අවකැපෙන කතා කියනවා තමයි ,

මොකද වචනයක් දෙකක් කිව්වා කියලා  ඉතින් ඇඟේ වැදෙන වයෑ , ගෑණු උනාම පොඩ්ඩක් ඉවසන්න බැරිද ?

ගෑණු නම් ඕන තරම් හොයාගන්න බැරි යෑ , හැබැයි අම්මලා එහෙමද , උපන්දා ඉඳලා කන්න බොන්න දීලා හදපු අම්මට සමාන කරන්න පුළුවන් ද මේ  කොහෙවත් හිටපු ගෑණු .

ගෑණු වගේද අම්මා ..????

මේ ටික මෙහෙම කිව්වේ දන්න කියන පිරිමි යාලුවෙක් උනාට , මේ කතාව මීටත් වඩා බරට කියන පිරිමි අපේ සමාජයේ තොග පිටින් ඉන්නවා .

ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා , නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා කියලා,නෝනයි අම්මයි අතර ලස්සනට ජීවිතේ බැලන්ස් කරන්න ගොඩක් පිරිමින්ට බැහැ ,ඇත්තම කිව්වොත් ගොඩක් පිරිමින්ට එහෙම කරන්න කොන්දක් නැහැ .

අන්න ඒ නිසා,

ලංකාවේ බහුතරයක්  කසාද ජීවිතවල ,   ” නැන්දම්මා ” හිටගෙන ඉන්නේ හරිම අවලස්සන තැනක .

එකෙනුත් සාපේක්ෂව ගත්තහම දරුණුවටම රිදෙන  තැනක හිටගෙන ඉන්නේ  ඉන්නේ  ” පිරිමියාගේ අම්මා ” 

නැන්දම්මා මෙහෙමයි , ඇරෙහෙමයි , කියලා නන්දම්මලගෙන් දුක්විඳපු ගැහැණු පිරිමි දෙපැත්තට බෙදුවොත් , නැන්දම්මලා නිසා දුක් විඳින ගැහැණු ගාන  , පිරිමි ගානට වඩා දහස් ගුණයකින් විතර වැඩිවෙලා තියෙයි .

මහත්තයාගේ අම්මා බැන්නා  , හස්බන්ඩ්ගේ අම්මා හින්ට් ගැහුවා , වද දුන්නා කියලා කවුරුමහරි ගැහැණියෙක් අඬනවනම් දුක් විඳිනවනම් ,  සම්පුර්ණයෙන්ම ඒ වගකීම ගන්න ඕනේ ඒ ” පිරිමියා” මිසක් අර නැන්දම්මා නෙමෙයි .

සරළවම කිව්වොත් ,බැන්දට පස්සේ නැන්දම්ම නිසා කවුරුම හරි ගැහැණියකගේ ජීවිතේ අවුල් වෙනවනම් ඒ වගකීම  200% ම පිරිමියා දරන්න ඕනේ. අම්මට තාත්තට ඕන විදිහට විතරක්ම ජීවත් වෙන්න හිතන් ඉන්න පිරිමි කසාද බඳින එක අපරාදේ , තවත් ගැහැණු ජීවිතයක් අසරණ කරන්නේ නැතුව එයාලා සදාකාලිකවම අම්මාගේ ඔඩොක්කුවලම ඉන්න එක තමයි හොඳම දේ .

කසාදයක් බඳින්න නම් අවුරුදු 16 සම්පුර්ණ වෙන්න ඕනේ කියලා නීතියක් දාලා තියෙන්නේ , කෙනෙකුට ස්වාදීනව ජීවිතේ තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ යමක් කමක් තේරෙන්නේ අවුරුදු 16ක් වත් උනාට පස්සේ කියලා දන්න හින්දා.

හැබැයි දාසයෙන් පස්සේ ගන්න තීරණත් මඩේ හිටවපු ඉනි එක එක්කෙනා තට්ටු කරනකොට  එහාට මෙහාට වැනේනවානම් වයස ගියාට ඒ වගේ මිනිස්සු කාසද බඳින්න සුදුසු නැහැ .

ලංකාව වගේ ආසියාතික රටවල් වල තදින්ම මුල් බැහැලා තියන “මාතෘත්වය “කියන කාරණාව ඉස්සරහ , දරුවෝ බිරිඳ නෙමෙයි , දෙවියෝ  බුදුන් වත් සමාන නැහැ කියලා තමයි සම්මතය හැදිලා තියෙන්නේ .

අන්න ඒක නිසා , අම්මාද බිරිඳද කියලා තීරණයක් ගන්න වෙන වෙලාවේදී ,පුරුද්දට වගේ මුළු සමාජයම ගන්නේ ” අම්මා “කියන චරිතය පැත්ත තමයි .

හැබැයි , තමන්ගේ බිරිඳත් අම්මා කෙනෙක් කියන එක ගොඩක් පිරිමින්ට මතක නැහැ , එහෙම මතක් උනත් ඒක ප්‍රසිද්දියේ පිළිඅරගෙන බිරිඳගේ පැත්තේ හිටගන්න ගොඩක් පිරිමින්ට හයියක් නැහැ .

එන්න ඒ වගේ කශේරුකාවක් නැති පිරිමියෙක්ගේ බිරිඳක් වෙනවා කියන්නේ ඉතින් ජීවිත කාලෙම පවක් ගෙවන්න ලැස්ති වෙනවා කියන එක තමයි .

අන්න ඒ නිසා , ගැහැණියෙක් විදිහට   විදිහට ආදරේ කරන්න , හරි කසාද බඳින්න හරි පිරිමියෙක් තොරගන්නකොට උප්පැන්න සහතිකේ පුරුෂ කියල තිබ්බට , ජීවිතේ තීරණයක් ගන්න වෙන වෙලාවක නියම පිරිමියෙක් විදිහට තීරණයක් ගන්න බැරි පිරිමියෙක්ව නම් ජීවිතයට ලන්කරගන්න එපා .

අවුරුදු දහසය පහුවෙලා ස්වාදීන මිනිහෙක් විදිහට සමාජ ගත උනාට පස්සෙත් , අම්මගේ උකුලේ හුරතල් වේවි , චාටු බස් අහ අහ , උක්කුන් බිබී  අම්මගේ සියලු තීරණ වලට හිස නමා අම්මව සනසවා , බිරිඳව රිදවුවාට කමක් නැහැ කියලා  විශ්වාස කරන,නමට පිරිමි වුන පිරිමි ආත්ම කසාද බඳින්න හිතන එක ගැහැණු ආත්ම තමන්ටම කරගන්න අවැඩක් .

තමන් පිරිමියෙක් විදිහට තමන්ට කැමති කාන්තාවක් එක්ක විවාහ වෙලා , තමන් හදපු කුටුම්බය ඇතුලේ තීරණ ගන්නකොට , ඉන්නේ කොහෙද , කන්නේ මොනවද , ළමයි කී දෙනෙක්ද , කියන එක තීරණය කරන්න ඕනේ සැමියා සහ බිරිඳ මිසක් , අම්මා , තාත්තා , අයියා , අක්කා නෙමෙයි .

එහෙම ස්වාදීනව තීරණ ගන්න බැරි කසාද ජීවිත නූල් කැඩිච්ච සරුංගල් වගේ , හුළඟ හැරෙන හැරෙන පැත්තට වැනෙනවා .

මේ මගේ කොල්ලා , එයා වෙනුවෙන් මම අච්චර දුක් වින්දා , මෙච්චර වින්දා , ඒ නිසා කොල්ලා ඉන්න ඕනේ මගේ ළඟ , කියලා සැමියාගේ අම්මා පුතාව ළඟ තියාගන්න ඉල්ලන  ඉල්ලීම සාදාරණයි නම් , මේ මගේ කෙල්ල , කෙල්ල වෙනුවෙන් මම මෙච්චර කළා , අච්චර විඳේව්වා , මගේ දුව මට ඇස් දෙක වගේ , දුව ඉන්න ඕනේ මගේ ළඟ කියලා , දුවගේ අම්මා ඉල්ලන ඉල්ලීමත් ඒ තරමටම සාදාරන වෙන්න ඕනේ .

එතකොට අපිව හැදුවා , අපි වෙනුවෙන් දුක් වින්දා කියලා ඒ වෙනුවට හිලව් වෙන්න  දෙමව්පියෝ ළඟ ජීවත් වෙන්න , එයාලගේ අදහස් වලට ජීවත් වෙන්න පටන් ගත්තොත් , කුටුම්බය ඇතුලේ , සැමියා , බිරිඳ දරුවෝ කියන න්‍යාය වෙනුවට , සැමියාගේ අම්මා , සැමියාගේ තත්තා , සැමියා බිරිඳ , බිරිඳගේ අම්මා , බිරිඳගේ තත්තා , දරුවෝ වෙන්න ඕනේ නේද ?

 ඔහොම අච්චාරු වෙච්ච ජීවිත ඉන්දියාවේ කතා වල වල තිබ්බට , ප්‍රයෝගිකව එහෙම හවුලේ ජීවත්වෙන්න විසිඑක්වෙනි සියවසේ මිනිස්සුන්ගේ මනස  සුදානම් නැහැ . 

දෙමව්පියෝ වයසට ගිහාම , අත පය වාරු නැති උනාම දරුවෝ එයාලව බලාගන්න ඕනේ , ඒක සාදාරණයි වගේම මානුශීයයි .

එහෙම අවස්ථාවක දරුවෝ එක්ක ජීවත්වෙන්න අම්මා ත්තත්ට අවශ්‍යතාවය වගේම අවස්තාවත් ලැබෙන්නත් ඕනේ,

 හැබැයි ඒකේ තේරුම ඒ පවුලේ තීරණ වලට ඇඟිලි ගහන්න දෙමව්පියන්ට අවස්ථාව ලැබෙනවා කියන එක නෙමෙයි කියන දේ දෙමව්පියෝ වගේම පවුලේ ගෘහමුලිකයත්  තේරුම ගන්න ඕනේ .

ගැහැණු කසාද බඳින්න පිරිමියෙක් හොයනකොට , රැවුල තියනවද , ගෙයක් දොරක් රස්සාවක් තියනවද කියලා බලනවා වගේම , පිරිමියෙක් වගේ තීරණයක් ගන්න පුළුවන් කොන්දක් තියනවද කියලත් නිකමට වගේ බලන්න .

මොකද ශුක්‍රානු වලින් දරුවෙක් හැදුව පලියට මිනිහෙක් පිරිමියෙක් වෙන්නේ නැහැ , තමන් කසාද බැඳලා , බලාගන්නවා ආදරේ කරනවා , ජීවිතේ බාරගන්නවා කියලා පොරොන්දු වෙචච ගැහැණියට තමන්ගේ අම්මාගෙන් උනත් වැරද්දක් අවැඩක් වෙනවනම් , එයා අම්මනේ , මොනවා උනත් අම්මනේ කියල නං පචන් ගාන්නේ නැතුව , කරුණාකරලා අම්මා අපේ ජීවිතවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න කියලා කෙලින්ම කියන්න පුළුවන් කමක් ඕනෑම පිරිමියෙකුට තියෙන්න ඕනේ ,

ඒකෙ තේරුම බැන්දට පස්සේ අම්මට තාත්තට නොසලකනවා කියන එක නෙමෙයි .

හැබැයි ආම්මට තාත්තට සලකනවා කියලා කියන්නේ තමන්ගේ බිරිඳට, පවුලට, එයාලගෙන් වෙන අනිසි බලාපෑම් දිහා කට උඩ තියාගෙන බලන් ඉන්න එකත්  නෙමෙයි .

ඔව් මම ඔබේ පුතා ,දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුකම් මම  ඉටු කරනවා, නමුත් මම දැන් ස්වාදීන පුද්ගලයෙක් , විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ මම සහ බිරිඳ , කරුණාකර ඒවාට අනිසි බලපෑම් කිරීමෙන් වලකින්න , කියලා  කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ අම්මට තාත්තට කියන්න බැරි පිරිමි , තමන්ගේ බිරිඳට තමන්ගේ පවුලෙන් වෙන හිරිහැර නවත්තන්න බැරි පිරිමි , තමන් කසාද බඳින ගැහැණියට ඒ අයිතිවාසිකම් පුර්ණව දෙන්න බැරි පිරිමි , සර්ව සම්පුර්ණ  පිරිමි නෙමෙයි .

ඔයා,ගැහැණියෙක් විදිහට කසාද ජීවිතේ සතුටෙන් සැහැල්ලුවෙන් සැනසීමෙන් ගත කරන්න හීන දකිනවනම් ,කසාද බඳින්න කලින් අනිත් දේවල් බලනවා වගේම ඒ බඳින පිරිමියාගේ කොන්දයී කශේරුකාවයිත් කෙලින් තියනවද කියලත් නිකමට වගේ බලන්න .


අනීෂා ජයකොඩි

Sign up for our newsletter