Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

චරියාගේ පන්හිඳ


දරු සම්පත

පංසලේ කෝවිලේ දවස     ගෙවලා

නොදුටු දෙවිවරු සැමට       පුදලා

දොලොස් වසරක් පෙරුම්     පුරලා

පොකැට්ටුවත් දැන් හොඳට හිඳිලා

අටවා ගත් පැල උකසේ      තියලා

රටේ නැති විටමින් ඇයට පොවලා

බලනවා නිති ස්කෑන්          කරලා

පුංචි සතුටකි අඹු පාට       වැටිලා

දොම්නසින් මුළු දිවිය      වැහිලා

දෙන්නගෙම දැන් කෙසුත්  පැහිලා

වැඩ කළත් කන්තෝරුවේ   ඉඳලා

දරුවෙක්ගෙ සුරතල් හිතේ මැවිලා

රට්ටු කියයි දැන් වයස     පැනලා

රිස්ක් එකක් ගන්නට එපා කියලා

කියනවුන්ගෙ හොම්බටම ඇනලා

කියනු රිසි ආතල් නෙමෙයි කියලා

දෙදෙනගෙම වරදක් නෑනෙ    කියලා

ඩොක්ටර් කිව්වත් රිපෝට්       බලලා

බෝඩ් ගැහුවත් බෙල්ලේ         එල්ලා

ගම්මු ඉන්නවද උන්ගෙ කටක්  වහලා

එදත් උදේ දෙවි බඹුන්        වැඳලා 

බලන් උන්නා රාහුත් යනවා පැනලා

අඹු සමඟ මීටර් ටැක්සියක නැගලා

ගියා අපි ඩොකටර් හමුවටය කියලා

මගේ සුබ පැතුම නුඹට පුත කියලා

ඩොක්ටර්ගෙ අත මෙමට දික්කරලා

කිව් වදනින් අප දෙසවන්ද    පිරිලා

අඹුගෙ නෙතඟින් කඳුළු වැක්කිරිලා

දින සති මාස මෙලෙසින්ම ගෙවිලා

අඹුගේ බඩ දැන් ඉදිරියට   නෙරලා

ඈ කන්න ආස හැම කෑම       දීලා

නිරෝගිව මා පුතු ඉපදෙන්න කියලා

කිරි කැටි පුතුගේ කට හඬක්   ඇහිලා

දොර ලඟ සිටි මගෙ ලෝකයම  පිරිලා

දුවගොස් පිය බිරිගෙ හිස         සිඹලා

කීවා අවසන ජීවිතෙ දිනුවා       කියලා

ගමේ තැන තැන පද හොඳට     හදලා

දැන් දුටුවිට යනවා බෙලි බිමට  නමලා

තරහක් නෑ උඹලට අනුකම්පාම කරලා

තාත්තෙකි මමත් ආඩම්බරෙන්  කියලා

මාස හයේදී ඩොක්ටර් හමුවෙන්න කියලා

ගියේ වුණ භාර සැම ඔප්පු            කරලා

පුතුව චෙක් කර හදවත් සිදුරක්ය  කියලා

අඹු සිහසුන්ය එතන ඇද              වැටිලා

ක්ෂණයෙන් මුළු ලෝකෙ කඩා    වැටිලා

දෙවියනේ ඇයි අපිට දඬුවම්       කරලා

දැන් මොකද ඩොක්ටර් කරන්නේ අහලා

දෙඅත් බැඳ මම එහි දණින්       වැටිලා

තව දින දෙක තුනයි තියෙන්නේ    කියලා

ඩොක්ටර් ගියා ලොකු සුසුමකුත් හෙලලා

ඇඳේ වැතිර සිටි පුතුව තුරුළු      කරලා

අඹු අහනවා පුතු යයිද අපිව         දමලා

ඉස්පිරිතාලෙම ඉතිරි දින ටිකත් ගෙවිලා

පුතුගේ හැමතැන බට නොයෙක් ගහලා

දොස්තරලා ඇවිත් හැමදේම      බලලා

නිරුත්තරව යයි මා පිටට තට්ටු   කරලා

අවසන් මොහොත පුතුගේ එළඹිලා

ගහපු බට එකින් එක       ගැලවිලා

අඹු හඬා වැටේ අනේ පුතු    කියලා

පියෙකි මම කිමද අසරණ    කරලා

මව්ගෙ සෙනෙහස අසීමිතය   කියලා

දැනුණෙ මට අඹුගෙ විලාපය  ඇහිලා

මව්ගෙ හඬට හද රිදුමෙ වැඩි   වීලා 

පණ අදින පුතුටත් දැන් එයම දැනිලා

______චරියාගේ පන්හිඳ______

චරිත් විජේමාන්න

ප:ලි: යමෙකුට දරු සම්පත් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ පෙර කළ කුසල අකුසලයන් හේතුකොටගෙනය. එබැවින් දරු සම්පත් නොලද හිතෙන් පීඩා විඳින මිනිසුන් ගැන තැන තැන අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ උපහාසයට ලක් කිරීමෙන් වළකින්න. එය ඔවුන් සතු ප්‍රශ්නයකි. ඔවුන් එය විසඳා ගනු ඇත. ඔබ එසේ කරන්නේ නම් මෙලොවදීම ඔබට එය විඳවීමට හේතුවක් වනු නොඅනුමානය.

Sign up for our newsletter