Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

චිත්තධර්ම 2024 

චිත්තධර්ම 2024 

ප්‍රාර්ථනීය මනඃකල්පිතයේ උගුල

(toil of wish fantasies) 

ආත්මාවබෝධය (self-realization) බුදුදහමේ පර්මාර්ථයයි. එය ආධ්‍යාත්මික වචනයෙන් ‘නිබ්බාණ/නිර්වාණ’ ලෙස හැඳින්වේ. සරල සිංහලෙන් එය ‘නිවීම’ යි. එම පරමාර්ථය දුෂ්කර වන්නේ නිතර අපේ සන්තානය (psyche) පරිළාහ/පරිදාහ තත්ත්වයට ලක්වන නිසාය. ‘පරි’ යනු හාත්පසින්ම හෙවත් all possible ways ය. ‘දාහ/ළාහ’ යනු දැවීම/පිච්චීම හෙවත් burning ය. සමස්ථ වචනයේ සරල තේරුම හාත්පසින්ම ජීවිතය පිච්චෙන්නාක් මෙන් දැනීමය. 

එම දැවීමට එක ප්‍රබල හේතුවක් නම් wish fantasies හෙවත් ප්‍රාර්ථනා මත මවාගත් කල්පිත ය. Wish fantasies පිළිබඳව සවිස්තරව ඉගැන්වෙන්නේ පාලි (ථේරවාද) සූත්‍ර පිටකයේ සච්චවිභංග සූත්‍රයේ ය. උපත, ලෙඩ රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම, අප්‍රිය අය සමඟ විසීමට සිදුවීම ආදි හේතු නිසා මිනිසා අපේක්ෂා භංගත්වයට පත් වේ. පෙනෙන දැනෙන ලෝකය තුළ එම අපේක්ෂා භංගත්වයට විසඳුමක් නොපෙනෙන විට මිනිසා සිතින් මවාගත් කල්පිතය හෙවත් fantasy තුළ ජීවත්වීමට පෙළඹේ. එම කල්පිත පවතින්නේ ප්‍රාර්ථනා නිසාය. එනිසා ය එම මනෝභාව wish fantasies ලෙස හැඳින්වෙන්නේ. 

මහා ජයමංගල ගාථාවන්හි තථාගත ශ්‍රී සද්ධර්මය හැඳිවෙන්නේ ‘පරිළාවූපසමනං ධම්මතේජේන සොත්ථිනා’ ලෙසය. එනම් පෙර කී දැවීමට විසඳුම වන්නේ ධම්ම/ධර්ම ය. ධර්මය විපත වලක්වා ජීවිතය තේජස්වී හෙවත් අලංකාර (glorify) කරයි.

කෙසේවුවද සච්චවිභංග සූත්‍රයේ ඉගැන්වෙන පරිදි wish fantasies විසඳුමක් නොව උගුලක් බව තේරුමගත යුතුය. සච්චවිභංග සූත්‍රයේ සවිස්තරව ඉගැන්වෙන්නේ බුදුරජාණන්වහන්සේගේ මුල්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේ කෙටියෙන් කළ  චතුරාර්‍ය සත්‍යය ය. සත්‍යය එකකි. එහෙත් එය හතරක් ලෙස දැක්වේ. එනම් දුක, එහි හේතුව හෙවත් පිපාසය (thirst, තෘෂ්ණා), විසඳුම හෙවත් පූර්ණ නිවීම/නිර්වාණ සහ එම පූර්ණ නිවීමට මඟ ය. සත්‍යය හතරක් ලෙස දැක්වෙන්නේ සැබවින්ම එය දෙකක් වන නිසාය. එනම් ප්‍රශ්නය (problem) සහ විසඳුම (solution) ය. ප්‍රශ්නයට හේතුව ප්‍රශ්නයේම කොටසකි. එ නිසා දෙකම ප්‍රශ්නය පිළිබඳවය. විසඳුමට මඟ විසඳුමේම කොටසකි. ඒ අනුව ප්‍රශ්නය සහ ඒ පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය ය. 

බොහෝ අය ප්‍රශ්නයට මුහුණදීමට බියක් දක්වති. Wish fantasies ප්‍රශ්නය තවත් අවුල් කරවයි. එය විශාදය (depression) ආදි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලැබිය යුතු මට්ටම දක්වා තීව්‍ර විය හැකිය. විෂාදය ඇති තැනැත්තා එය අස්වැසිල්ල (solace) ලෙස දකියි. එ නිසාම එය උගුල බවට පත් වේ. බුද්ධ දේශනාවට අනුව සර්වශුභවාදය (optimism) තාවකාලික අස්වැසිල්ලක් ගෙනෙන අතර දීර්ඝකාලීනව උගුල කි. සර්වාශුභවාදයෙන් (pessimism) මිදීමට පමණක් එය උපකාරී වේ. කල් නොයවා එම සර්වශුභවාදය යථාර්ථවාදයට හෙවත් realism බවට හරවා ගත යුතුය. 

තමන්ට එය තනියම කරගැනීමට අපහසු නම් කළ්‍යාණමිත්‍රයෙකුගේ හෙවත් කාරුණික සවන්දෙන අයෙකුගේ ආශ්‍රය අවශ්‍ය ය. මුලින්ම කී රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම ආදිය නොවැළක්විය හැකි ජීවිත යථාර්ථයන් නම් ඒ දේ ප්‍රාර්ථනාවෙන් විසඳිය නොහැකිය. යථාර්ථවාදී වීම තිත්ත කසායක් බඳු වුවද එය දීර්ඝකාලීනව ප්‍රශ්නයට විසඳුම ගෙනෙයි. 

ජීවිතය අමිල, සුන්දර ත්‍යාගයකි. Wish fantasies නිසා එය උගුලට හසු නොකරන්න.

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Sign up for our newsletter