Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

ජීවිතාවර්ජනය 

ජීවිතයේ  වැටෙන හැම මොහොතකම නැගිටින් නං හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන. වැටෙන වට්ටන, රිදෙන රිද්දන, කැඩෙන පොඩි වෙන හැම ජීවිතයක්ම හරි අපූරුවට වීනස් කුරුල්ලෙක් වගේ නැගි සිටින්නට තරම් ශක්තිමත් වෙන්න උත්සහ දරනවා නම් කොච්චර හොඳද? තමන්ගෙ ජීවිතයට අභියෝග කරන පුද්ගලයින්, ලෙඩ රෝග හා ඇබ්බැහිවීම් වලින් ශක්තිමත්ව හා ධෛර්යමත්ව නොසැලී  නොබියව මුහුණ දීම තරම් හැකියාවක් හා ආත්ම විශ්වාසයක් අපි,අපි තුලම ඇතිකර ගත යුතුමය. මොකද අපට අභියෝග කිය කියා ජීවිතයට සූදානමක් ඇතිව නො එන නිසාවෙනි.

අද මගේ පිටුව හැඩ කරන්නේ අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් වැටෙන හැම මොහොතකම කෙසේ හෝ නැගිටින්නට වෙර දරන , වෙරදැරූ තරුණයෙක්. ඔහු නමින් නිර්මාණ ලෙස හඳුන්වමු. ඔහුගේ කතාව මා මෙතෙක් ඔබට ගෙනා ජීවිතාවර්ජනයන්ට  වඩා දිගයි. ඒත් සමාජයට වටිනා පාඩමක් කියා දෙනවා.

1. නිර්මාල් වගේ වයස ගම අපිට කියන්න කැමතිද?

ඔව් මගේ මගේ වයස අවුරුදු 34යි. ගම කිරිබත්ගොඩ

2. මොනාටද ඇබ්බැහි වෙලා හිටියෙ

ගංජා, හෙරොයින් අන්තිමට අයිස් වලට

3. කොහොමද මේක පටන් ගත්තෙ කියලා කියන්න

මම 8 වසරේදී තමයි ඉස්සල්ලාම සිගරට් එකක් බිව්වේ යාලුවොත් එක්ක එකතු වෙලා. ඒක ආසාවට කලාට ඇබ්බැහි වුණේ නෑ. මම 2001 දී O/L කලා. ඊට පස්සේ මම සපත්තු ෆැක්ටරියක වැඩට ගියා. ඒ කාලේ වෙනකොට මම මත්පැන් පාවිච්චි කළා ඉඳලා හිටලා යාළුවොත් එක්ක එකතු වුනාම. ඔහොම කාලයක් යද්දී 2005දි විතර මගේ ගෙදර ඉස්සරහ හිටපු යාලුවයි මමයි දවසක් මොකක්ද මේ ගංජා කියන්නේ කියලා බලන්න වගේම මේක නවත්තගන්න බැරි දෙයක් ද කියල බලන්න අරගෙන බිව්වා. පළවෙනි දවසෙ නම් කිසිම වැඩක් නැති දෙයක් කියලා හිතුනා. දවස් තුනකට පස්සේ ආයෙත් අපි දෙන්නා ගංජා බිවුවා. එදා නම් පළවෙනි දවසට වඩා මේක මරු වගේ feeling එකක් තිබුනා. ඕන වැඩක් කරන්න ඇඟට අමුතු ගටක් වගේ දැනුනා. ඊට පස්සේ ආයෙමත් දවස් තුන හතරකට විතර පස්සෙ ආයෙමත් බිව්වා. ඉඳලා හිටලානෙ  අපි බොන්නේ ඒ නිසා අවුලක් නෑනේ කියලා අපි අපිටම කියා ගත්තා. එදා නම් මේක පට්ට වගේ හැඟීමක් දැනුනා. හරි සැහැල්ලුවක් වගේ දැනුනා. මෙහෙම දවස් තුන හතරකට සැරයක් වගේ ගත්ත ගංජා අපි දවස ගානේ ගන්න පටන් ගත්තා. මේ අතරේ අපි හෙරොයින් පාවිච්චියටත් පුරුදු වුණා. හෙරොයින් පාවිච්චි කලා කියලා ගංජා පාවිච්චි නතර වුණේ නැහැ. හෙරොයින් වලින් ලැබෙන ආතල් එක ගංජා පාවිච්චිය නිසා ඉක්මන් වුනා. මම කොන්ත්‍රාත් විදිහට වැඩ කරපු නිසා රස්සාවට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ මුලදී. මෙහෙම කාලයක් යද්දි මාව අලුත් පාලම උඩදී පොලිසියෙන් අල්ලගත්තා මම හෙරොයින් අරගෙන එන ගමන්. මාව දවස් දාහතරක් රිමාන්ඩ් කළා. එතකොටයි මගේ අම්මයි තාත්තයි මම කුඩු ගහනවා කියලා දැනගත්තේ. ඒත් අම්මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. මොකද මම හැමදාම ගෙදර ඇවිත් කිසි සද්දයක් නැතිව කාල නිදා ගත්ත නිසා.

රිමාන්ඩ් එකෙන් ආවට පස්සෙ මම ආයෙමත් කුඩු ගහන්න ගත්තා. මගේ ජොබ් එක  නැති වුණා. ඔය අතරෙ මට ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා. ඒත් එක්කම මම තවත් රැකියාවකට යන්න පටන් ගත්තා.  රැකියාව හා පෙම්වතියක කාලය ගතවෙනකොට මට කුඩු ගහන්න තිබුණ උනන්දුව අඩු වුණා. ඒ වෙනුවට මම සිගරට් සහ බුලත් විට  කන්න වැඩියෙන් යොමු වුණා. ඉදල හිටලා ගංජා බ්ව්වා. මම කුඩු ගැහුවා ඒත් දැන් නැහැ කියලා මගේ පෙම්වතියට කිව්වා. දැන් එහෙම නැති නිසා එයාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලයි එයා කිව්වේ. අපි විවාහ වුණා. මේ විදිහට අවුරුදු හතරක් විතර ගෙවුණා. මට ඉන්නේ පුතයි දුවයි. පුතා ලැබිලා ටික කාලයක් යද්දි මම ආයෙමත්  හෙරොයින් භාවිතයට යොමු වුණා. ඒ මම රැකියාව කරපු තැන හිටපු කෙනෙක් නිසා. රැකියාවෙන් අස්කලා. ආර්ථික ප්‍රශ්න ප්‍රශ්න වැඩි වෙන්න ගත්තා. මම මගේ මහ ගෙදර හිටියේ.  ඒ නිසා ගෙදර මගේ පවුලට අමතරව අම්මයි තාත්තයි අයියයි ජීවත් වුනා. මේ කාලෙ වෙනකොට මම ගෙදර දරුවන්ගේ වියදමට වඩා මගේ අවශ්‍යතාවය සපුරා ගන්න ගෙදරින් සල්ලි හොරකම් කරන්න ගත්තා. රණ්ඩු සරුවල් හැමදාම ගෙදර එන්න එන්න වැඩි වුණා. දුව ලැබිලා මාස දෙකෙන් මම පුනරුත්ථාපනයට යොමු වුනා. මගේ අයියගේ අනුදැනුම ඇතිව මගේ කැමැත්තෙන් මම එම පුනරුත්ථාපන ආයතනයට ගියා. එතන මාස නමයක් පුනරුත්ථාපනය උන මම තවත් මාස නමයක් එම ආයතනයෙන්ම කාර්ය මණ්ඩලයහි සේවකයෙක් විදියට පුහුණුව  ලබමින්  වැඩ කළා.

4.සුවය ලබලා ඇවිත් හොඳ ජීවිතයක් ගත කරන්න ලැබුණ ද?

ඔව්, මගෙ දරු දෙදෙනා එක්ක හොඳින් ජීවත් වුණා. හිතවත් අයගෙ උදව්වෙන් අපි පොඩි කඩයක් දැම්මා. ඒ කඩේ දියුණු කරගෙන ත්‍රීවිල් එකකුත් අරගත්තා. අතමිට සරු වෙනකොට දවසෙ මහන්සිය ගෙවා ගන්න  මම හැමදාම  මත්පැන් ටිකක් පාවිච්චි කලා. මත්පැන් වලට වියදම් කරලා ඉතිරි කඩේ ලාභය හැමදාම බිරිඳ අතට දුන්නා. හැමදාම බොන නිසා ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. බිරිඳට මාව එපා වුණා. ඔය අතරේ රණ්ඩුව කදී බිරිඳ මට ” තමුසේ ඉතින් කුඩුකාරයෙක් නෙ කියලා කිව්වා” ඕක මට ටිකක් තදේට දැනුනා. මම කාටවත් වැරැද්ද පටවන්නේ නැහැ. මේ ඇබ්බැහිවීම රෝගයක්. බිරිඳගේ වචන ටික ආයෙත් මට පරණ ජීවිතයට යන්න තල්ලුවක් වුණා. ඒ වෙලාවෙ “මං උඹට හොඳ පාඩමක් උගන්නන්න්ම්” වගේ හැඟීමක් තමයි මට තිබ්බේ. අන්තිමට ඉතිං වැරදුනේ මට. ඒ සැරේ මම නතරවුනේ අයිස් වලින්. ඉස්සෙල්ලම රු.1000 කට තමයි අයිස් ගත්තෙ. අජින මොටෝ කැට වගේ කැට 10විතර ලැබුනා.

අයිස් ගහන්න සල්ලි නැති වෙනකොට මම ගෙදර බඩු මුට්ටු විකුණන්න ගත්තා. මම ත්‍රීවීල් එක විකුණයි කියලා බයට මගේ නෝනා එක විකුණලා සල්ලි අරගත්තා. ටික දවසක් යද්දි මම බය නැතුව ගෙදරට ගෙනල්ලා අයිස් ගහන්න පටන් ගත්තා. එතකොට නං මගේ නෝනාගෙ රතු කට්ට පැන්නා. ඇත්තටම මම කලේ මහාම මහ ජරා වැඩක්. මගේ දරුවෝ දකිද්දී මම ඒ දේ කළා. බලාගෙන ඉඳිද්දී මම ඇටසැකිල්ලක් වුනා. දවසක් රෑක හොඳටම රණ්ඩු වෙලා බිරිඳ දරු දෙදෙනාත් එක්ක ගෙදර තිබුණ  බඩුත්  ලොරියක පටවගෙන ගමේ ගියා. ඒ ගිහිල්ලා මාසයක් විතර මම හොඳ හැටියට අයිස් ගැහුවා. මේ සැරේ මගේ අම්මයි තාත්තයි පාස්ටර් කෙනෙකුගේ මාර්ගයෙන් මාව කළුතර තියෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුලත් කලා. ඒකෙ මාස හතරක් මම නතර වෙලා හිටියා. 

5. ඒ කියන්නේ දැන් ඔයා දෙසරයක් පුනරුත්ථාපනය උන කෙනෙක්. දැන් සුවය ලබලා ඇවිත් කොච්චර කල්ද?

මාස හතරයි.

6. මොකද දැනෙන්නෙ මේ සැරේ. ඇබ්බැහි මිදෙන තනියම පුලුවන්ද?

හැම සැරේම මං පුනරුත්ථාපනයට යොමු වුණේ කොහොමහරි මම මේ ඇබ්බැහියෙන් මිදෙනවා කියන බලාපොරොත්තුවෙන්.

මොකද මම නිසා මගේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ සහෝදරයා සෑහෙන කරදර වලට මුහුණ පෑවා. ආයෙත් නම් වැටෙන්නෑ කියන ආත්ම විශ්වාසයෙන් ඉන්නවා. තව දෙයක් කියන්න ඕන පුනරුත්ථාපනය උන මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්න ඕන. ඒ අයගෙ වැඩසටහන් වලට සහබාගි වෙන්න ඕන. ඒකෙන් අපිට ලොකු ශක්තියක් වගේම ලැබූ සුවය පවත්වාගන්න පුලුවන් වෙනවා. කලින් සැරේ මට ඒ සම්බන්ධතාවය තියාගන්න බැරි වුණා. නමුත් මේ වතාවේ මම කළුතර පුනරුත්ථාපන මධ්‍යස්ථානය සමග සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් මගේ ජීවිත අත්දැකීම් එක්ක එහි පුනරුත්තාපනය වන සහෝදරයන්ට වැඩසටහන් කරනවා. ඇත්තටම මේ ඇබ්බැහියෙන් මිදෙන්න අපිට තනියම බැහැ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක උදව්ව අවශ්‍යම වෙනවා. 

දැන්නම් බිරිඳයි දරුවොයි මගෙ ළඟ නැහැ. ඒත් මං දරුවන් සමඟ දුරකතනයෙන් කතා කරනවා.

7.ඉදිරි ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු මොනවාද? 

ආයෙත් මේ ඇබ්බැහියට යොමු වෙන්නැතුව ඉන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව. දැන් මම රස්සාවක් කරනවා. කොහොමහරි මගේ හොඳ කල්ක්‍රියා වත් එක්ක බිරිඳයි දරුවොයි මා ළඟට ගන්න තමයි තියන අනිත් බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මං මහන්සි වෙනවා. මගේ වැරදි නිසයි ඇය මාව දාලා ගියේ. ඒ නිසා මම කිසිවිටෙක ඇයට දොසක් කියන්නේ නැහැ. 

8. ඔයාට මොනවද තරුණ පරපුර ට මත්ද්‍රව්‍ය ගැන කියන්න තියෙන්නෙ..

මම එක ජාතියකට විතරක් නෙමෙයි ගංජා හෙරොයින් අයිස් තුනම පාවිච්චි කලා. ඇබ්බැහියක් නොවුනත් සිගරට් මත්පැන් බුලත්විටත් ඉඳහිට භාවිතා කළා. 

පුනරුත්ථාපනය උන කෙනෙක් මේ කිසිම දෙයක් පාවිච්චි කරන්න හොඳ නෑ. මොකද අපේ හිත දුර්වලයි. ඒ නිසා කොයි වෙලේ අපි නැවත වැටෙයිද කියන්න බැහැ. මම කිසිම කෙනෙකුට ඕක බොන්න එපා කියන්නෙ නැහැ. මොකද නිකන් කිව්ව පලියට එක කවුරුත් නවත්තන්නෙ නැහැ. මම මගේ ජීවිත අත්දැකීම්මෙන්ම තමයි අනිත් අයට කතා කරනනෙ. ඇබ්බැහි වෙලා ඉන්නවා නං ඉන් මිදෙන්න ඕනේ නම් දැනුම් තේරුම් කෙනෙක් ගෙදර නැත්තම්  කතා කරල උදව්වක් ගන්න කෙනෙක් නැත්නම් ළඟම තියන රජයේ රෝහලට ගිහින් ඔබේ අවශ්‍යතාවය කියන්න. ඔවුන් ඔබට ඉන් මිදෙන්නට අවශ්‍ය මගපෙන්වීම සපයයි. 

මම ජීවිතේ අඩියටම වැටිලා  ඉන් ගොඩ එන්න උත්සහා කරලා කෙසේ හෝ උත්සාහය සාර්ථක කර ගත්ත කෙනෙක්. වැටෙන හැම මොහොතෙම නැගිටින්න පොඩි හරි බලාපොරොත්තුවක් නැති කරගන්න. මගේ ජීවිත කතාව ඇබ්බැහි වී සිටින සියලු දෙනාටම ආදර්ශයක් උනා නම් ඒ මගෙ සතුටයි.

ස්තුතියි

පියුමි සිල්වා

Sign up for our newsletter