Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

ජීවිතේට මූණදෙන්න බයයි බයයි වගේද?

සුළු මානසික ආබාධ යනු; වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවන, රෝහල් ගත කිරීමක් අවශ්‍ය නොවන සරල මානසික ආබාධ තත්ත්වයන්‍ ය. ලෝකයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙහි විශේෂ ලක්ෂණය වන්නේ රෝගියා තුල තමාට පවතින අසාමාන්‍යතාවය පිළිබදව අවබෝධයක් දක්නට ලැබීමයි. යොවුන් වියේදී මේ තත්ත්වය බොහෝ විට ඇති වේ. එයට හේතුව නම් මොළයේ පවතින රසායනිකයන්ගේ වෙනස් වීම සහ ශරීරයේ පවත්නා හෝමෝන ක්‍රියාකාරීත්වයේ බලපෑමයි. එසේම සුළු මානසික රෝගීන්ට තම එදිනෙදා වැඩ කටයුතු බාධාවක් නොමැතිව කර ගත හැකි අතර මොහු සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් ඈත්වී නැත. හැසිරීමෙහි හෝ ආකල්ප වල ඉතාමත් සුළු අස්වාභාවික තත්ත්වයන් දක්නට ලැබීම මෙහි මූලික ලක්ෂණයකි. එසේවුවද යොවුන්වියේ මේ තත්වය ඇතිවුනහොත් මෙම සුළු මානසික රෝගීන්හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාද දක්නට ලැබේ. කෙසේවුවද සුළු මානසික රෝග පිළිබදව පුළුල් අවබෝධයක් ලබා ගැනීම හා ඒ පිළිබදව උපදේශනය මගින් සුවය ලබා ගන්නේ කෙසේදැයි පාඨක ඔබ දැනුවත් වීම වටී. එසේ වුවහොත් ඔබ අසල සිටින ඔබේ මිතුරා හෝ මිතුරියට මේ ආකාර ගැටලුවක් පවතින්නේනම් ඔවුන්ව සුදුසු තැනකට යොමු කිරීමට ඔබට හැකියාව ලැබේ.

සුළු මානසික රෝග අතර යොවුන් වියේදී බහුල වශයෙන් දක්නට ලැබෙන රෝගය ‘කාංසාව – Anxiety’ වේ. කාංසාව සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘අහේතුක භීතිය’ හෝ ‘අභියෝගාත්මක භීතිය’ ලෙසද හදුන්වයි. වචන වලින් විස්තර කල නොහැකි ආයාසකාරී තත්ත්වයක් කාංසාව සමග ඇතිවේ. මෙය වැළදුනු තරුණයා හෝ තරුණිය තුල බිය, කෝපය ආදී චිත්තවේග කාංසා ලක්ෂණ ලෙස ක්‍රියාත්මක වේ. බොහෝසෙයින් නව අභියෝග වලදී තුරුණු වියේ කාංසාව ඇති විය හැක. කාංසාව වැඩි වශයෙන් ඇති වන්නේ අසුභවාදී ලෙස සිතනු ලබන පුද්ගලයන් තුලය. ඉතා ඉක්මනින් කාංසා රෝගියා නොසන්සුන් වේ. එසේම අභියෝග වලට මුහුණ දීමට වඩා, පලා යාමට මේ යෞවන යෞවනියන් වැඩි කැමැත්තක් දක්වයි. එබැවින් කාංසා රෝගියා තුල සමාජ නොහැකියාවන් විශාල ප්‍රමාණයක් තුරුණු වියේදී හදුනා ගත හැක. කාංසාවේ ස්වභාවය අනුව මූලික ප්‍රභේද කීපයකි. එනම්; අපේක්ෂිත කාංසාව, අනපේක්ෂිත කාංසාව, ක්ෂණික කාංසාව, අංගන බිය, ග්‍රස්තීය නියුරෝසියාව, සමාජ භීතිකාව….ආදී ලෙස විවිධ ආකාර වේ.

ඔවුන් වියේ පසුවන ඔබට කාංසාව තිබේදැයි ඔබටම නිර්ණය කර ගැනීමට පහත ලක්ෂණ ඔබ තුල ඇත්දැයි සුපරීක්ෂාකාරී වන්න. කායික ලක්ෂණ ලෙස; ශීග්‍ර හද ගැස්ම, හිසරදය, නින්ද මද බව, තෙහෙට්ටුව, ආතතිය, පපුවේ වේදනාව, දහඩිය දැමීම….ආදිය අසාමාන්‍ය ලෙස විද්‍යාමාන වේ.

සමාජ ලක්ෂණ ලෙස; ලැජ්ජාව, අන්තර්වර්තී බව, ප්‍රතික්ෂේප වීමේ බිය, සංවේදී බව, කලබලය, අනාරක්ෂිත බව, තනිකම, ව්‍යාකූල දේට බිය වීම….ආදිය ප්‍රමුඛ වේ.

චිත්තවේගී සිතුවිලි ලෙස; නිතර කනස්සලු ගතිය, අසුභ ආකල්ප, කලකිරීම, කල්පනා කිරීම, විවේචනය, අධි විශ්ලේෂණය….ඇතිවේ.

තවද සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී නිතර අතපය සේදීම, වැඩි වේලාවක් නෑම, නිතර නිතර දොර ජනේල් වසා ඇත්දැයි බැලීම, එකම දෙයක් නිතර ගනන් කිරීම යනාදිය ප්‍රමුඛව පෙන්වයි. මෙනිසාම මේ කාංසාවෙන් පෙලෙන තරුණයා හෝ තරුණිය තුලින් අසාමාන්‍ය කලබලයක් විදාමාන වේ. ඉහත ලක්ෂණ සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රමාණයට වඩා අසාමාන්‍ය ලෙස පෙන්නුම් කරයි නම් සුදුසුකම් ලත් මනෝ උපදේශකයෙකු වෙතට යොමු කොට ඔවුන්ගේ සහය ලබා ගැනීම නුවණට හුරුය.

මෙහිදී උපදේශනය ඉතා වැදගත් සාධකයක්. කාංසාවෙන් පෙළෙන තරුණ මනසට උපදේශනය අවශ්‍ය වන්නේ; තමාගේ මනස තුල ඇතිවන අසාමාන්‍ය සිතුවිලි සාකච්චා මාර්ගයෙන් ව්සදා ගැනීමටත්, විශ්වාසනීය හිතවතෙකුට තමන්ගේ මනසේ ඇතුවන හා ක්‍රියාකාරීත්වයේ ඇතිවන වෙනස්කම් ප්‍රකාශ කර ගැනීමටත්, දුක හා කලකිරීම වෙනුවට සතුටුදායක ඉලක්ක වෙතට යොමු කිරීමත්, දරා ගැනීමේ සහ මුහුණ දීමේ හැකියා කුසලතා දියුණු කිරීමටත්, සාමාන්‍ය එදිනෙදා සමාජ ජීවිතයට අනුගත ව්මට උපකාර කිරීමටත්, සමාජයේ සාමාන්‍ය ලෙස දිවි ගෙවීම සදහාඋපකාර සහ මැදිහත් වීමත්….යනාදියටයි.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

Sign up for our newsletter