Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ජීවිත පොත පෙරළන්න, කයින් වගේම මනසිනුත් දියුණු වෙන්න!

ජීවිතය යනු විවිධ විපර්යාස හමුවේ නොසැලී ඉදිරියට යා යුතු දිගු ගමනක්. ඇතැම් විට මේ ජීවිතය උපමා කළ හැකි අපූර්ව සංසිද්ධියක් වැස්ස. අහසේ සිට පොළවට වැටෙන වැහි බිඳු අතුරින් ඇතැම්  වැහි බිඳු  කෘෂිකර්මාන්තය සරු කරමින් මේ රටේ පමණක් නොව බොහෝ  පිරිසකගේ ජීවිතය පවා සාර්ථක කරගැනීමෙහි ලා  විශාල මෙහෙයක් ඉටු කරන නමුත් ඇතැම් වැහි බිදු වැටෙන්නේ කොතැනටද, ගලා යන්නේ කොතැනටද කියලා නිශ්චිත අවබෝධයක් දැක්මක් නොමැතිවාක් මෙන් ඔහේ ගලාගෙන යන්නේ තමාගෙන් කිසිවෙකුට පල ප්‍රයෝජනයක් ලබා නොදෙමින්. ජීවිතය ද මෙවැනිම වූ දෙයක්.

           ඕනෑම පුද්ගලයෙක් මනුෂ්‍යයෙකු ලෙස මෙලොව උපත ලද දා පටන් ම විවිධ ආකාරයේ වටිනාකම් තමා වටා එක් රොක් කර ගනිමින් නිරන්තරයෙන් වෙහෙසෙන්නේ තම ජීවිතය වටිනා එකක් බවට පත් කර ගැනීමට වුව ද වර්තමානයේ ජීවත් වන ඇතැම් පිරිස් වටිනාකම් වලින් කෙතරම් අනූන වුවත් ඒවායෙන් තම රටට පමණක් නොව තමාට ද ප්‍රයෝජන ලැබීමටත් පෙර ඔවුන් ඔවුන්ගේම ජීවිතය හැර යන අවස්ථා ඕනෑතරම්.

            අධ්‍යාපනයෙන්, ගුණධර්ම අතින් කෙතරම් වටිනාකම් අපේ ජීවිතය සතුව පැවතියත් අප එවැනි වටිනාකම් අපේ ජීවිත වලට එක් කර ගත්ත ද ඒවායෙන් ප්‍රයෝජන නොලබා පොදි ගසා තබා ගැනීමෙන් තමාටත් තමා ජීවත් වන රටටත් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොවේ.

            මෑත කාලීනව ශ්‍රී ලාංකේය  තාරුණ්‍යය තුළ පමණක් නොව ඕනෑම රටක සංවර්ධනයේ පැවැත්ම කෙරෙහි සුවිශේෂීම පිරිසක් වන තරුණ පරපුර තමාගේ වටිනාකම් තුළින් පල ප්‍රයෝජන ලැබීමටත් පෙර තම ජීවිතය අතහැර නැවත නොඑන්නටම යන අවස්ථා ඕනෑ තරම්. අධ්‍යාපනයේ ඉතා අසීරු කඩඉම් පවා ජය ගෙන විශ්වවිද්‍යාල වරම් ලද බුද්ධිමත් යැයි පිළිගන්නා තාරුණ්‍යය තුළ ද සිය දිවි නසා ගැනීම් වර්තමානයේ සුලභ කරුණක්.

            ප්‍රේම සබඳතා නිසාවෙන් හෝ වෙනත් කුමන හේතු සාධකයක් නිසාවෙන් හෝ ඔවුන් මෙපමණ කලක් තම ජීවිතයට එක් කර ගත් වටිනාකම් අගයන් තුළින් තමාගේ රටට තමා හැදූ වැඩූ  මවුපියන්ටවත් යුතුකම් ඉටු කිරීමට පෙර මෙවැනි තීරණවලට එළඹීම ඉතාමත් කනගාටුදායක තත්වයක්.

            එහෙත් මෙවන් පිරිස් අතුරින්  තවත් පිරිස් හිසට වහලක් හිතට නිවනක් නොමැතිව වුව ද තමාට ලද ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගන්නට උත්සහ දරති. ඔවුන්ගේ ජීවිතයට කිසිදු වටිනාකමක් එක් කර ගැනීමට නොහැකි වුවද තමා ලද මිනිසත් බවේ වටිනාකම රැක ගෙන ජීවිතය ජය ගැනීමට ඔවුහු වෙර දරති. අධ්‍යාපනයෙන් ධනයෙන් සශ්‍රික නොවුව ද ආත්ම ශක්තිය, අභියෝග ජය ගැනීම වැනි වටිනාකම් ඔවුන් උපදින විටම තම දෑතේ මිට මොලවා ගෙන පැමිණියාක් මෙන් මොවුන් හැසිරේ.

           ඕනෑම සමාජ ක්‍රමයක මෙකී දෙපිරිසම ජීවත් වෙයි. එනම් වටිනාකම් තිබුණ ද එහි ඵල ප්‍රයෝජන නොවිඳින පිරිස් හා වටිනාකම් නොමැති වුව ද කෙසේ හෝ තම ජීවිතය රැක ගැනීමට උත්සහ දරන පිරිස් ලෙස ඕනෑම සමාජයක මානව කණ්ඩායම් දෙපිරිසක් ජීවත් වෙයි.

           ඕනෑම පුද්ගලයෙකු තම ජීවිතයට වටිනාකම් එකතු කර ගනු ලබන්නේ ඒවා පොදි ගසා ගෙන මිය යාමට නොව, එයින් තම රටට ජාතියට යුතුකම් හා වගකීම් ඉටු කිරීමටය. ඒ නිසාවෙන් වඩා වැදගත් වන්නේ වටිනාකම් එක් කර ගැනීම පමණක් නොව එයින් තමාට මෙන්ම තම රටට තමා හැදූ වැඩූ මවුපියන්ට ද යහපතක් සැලසීමයි.

          අධ්‍යාපනයෙන් ධන ධාන්‍යයෙන් කොතරම් සශ්‍රීක වුවද යමෙකුට මේ ජීවිත ගමනෙහි එන අනේක විධ බාධක හමුවේ නොසැලී මුහුණ දීමට ආත්ම ශක්තියක් නොමැත්තේ නම් එවැනි අයෙකු වටා කොතරම් වටිනාකම් එක් රැස් වී තිබුණද පලක් නොවේ. ඒ නිසාවෙන් මිහිපිට ජීවත්වන  අප සෑමවිටම උත්සහ දැරිය යුත්තේ වටිනාකම් එකතු කර ගන්නවා සේම ඒවා තුළින් අපට මෙන්ම අප ජීවත් වන රටට සමාජයට අප හැදූ වැඩූ මවුපියන්ට එයින් පල ප්‍රයෝජන ලබා දීමටය.

          වටිනාකම් නොවටිනාකම් මැදින් අප මේ ගෙවනජීවිතය අපට සාර්ථක කරගත  හැකිවන්නේ අප ඒආකාරයෙන් කායිකව  මෙන්ම මානසිකව ද සංවර්ධනය වුවහොත් පමණි. වත්මන් තරුණ පරපුර එය මනාව වටහා ගනිමින් ස්වයං සංවර්ධනය විය යුතු කාලය එළඹ ඇත. 

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counselor

M. Sc., BAMS, B. Sc., CCHRM,
Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology!

Sign up for our newsletter