Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

තමන්ගේ වටිනාකම පවත්වාගන්න..

මව් කුසෙන් එළිය දුටු දා පටන් මනුෂ්‍ය ජීවියෙක් විදියට ලබා ගත්තා වූ මේ අති දුර්ලභ මිනිස් ආත්මයට අගයක් දෙන්න. අම්මා කෙනෙකුගගේ තනේ කිරි බිංදුවෙන් බිංදුව තමන්ගේ කුසට වැටුනේ තනේ පිරෙන්නට කිරි තියෙනවාට නොවන බව වටහාගන්න.

      දස මාසයක් අනේක දුක් විඳලා සූතිකාගාර වල, ශල්‍යාගාර වල වේදනාවන් විඳලා තමාට ජීවය දුන්නු මවට අගයක් දෙන්නට නම් ඔබේ ජීවිතයට මුලින්ම වටිනාකමක් දෙන්න.

       කිසිම කෙනෙකු ඉදිරියේ ඔබේ ජීවිතයේ වටිනාකම හෑල්ලු වන්නට දෙන්නට එපා. කිසිම කෙනෙකුට ඔබේ ජීවිතයට ලංසු තියන්නට දෙන්න එපා. කාගේවත් ඕනෑ එපා කම්, අවශ්‍යතා සපුරාගන්නට ඇති යන්ත්‍රයක තැනට ඔබේ ජීවිතය ඇද දමන්නට එපා. ඔබ තවත් අයෙකුගේ කාංසිය , පාලුව මකන ඔවුන්ගේ අල්ලේ නැටවෙන රූකඩයක් වන්නට එපා.

       මිනිසුන් ජීවිතයට ඒවි, නොයෙක් දෑ පවසාවි, ඒ සෑම කරුණකින්ම අවශ්‍ය දෑ පමණක් රැගෙන අනවශ්‍ය දෑ දෙවරක් නොහිතා බැහැර කරන්න. ඔබට කුමන හෝ ආකාරයක වාසි සහගත එසේත් නැතිනම් ඔබට යහපතක් සිදු වෙන තැනක රැඳෙන්නට මිනිසුන් සාමාන්‍යයෙන් උත්සාහ කරනවා. එය සාමාන්‍ය මිනිස් ස්වාභාවය යි.

         ඇතැම් විට අවශ්‍ය කාර්‍යය කෙරුණු පසු ඔබට සමීප වූ පුද්ගලයා ඔබට නොදැනෙන්නට ඔබව ප්‍රතික්ෂේප කරනවා හෝ මග හරිනවා වන්නට පුලුවනි. වැදගත් ම දෙය වන්නේ ඔබට කවුරුන් කෙසේ කුමන ආකාරයකින් සමීප වුවත් ඔබේ ආත්මාභිමානය හා ඔබේ වටිනාකම නොනැසෙන ලෙස පවත්වා ගැනීමයි.

         ඔබට ඇත්තේ ද අනෙක් අයට මෙන්ම වටිනා මිනිස් ජීවිතයක් බව හඳුනාගන්න. තවත් අයෙකු නිසා තමන්ගේ හැකියාවන් යටපත් කරන්නට එපා. තවත් අයෙකු වෙනුවෙන් ඔබේ වටිනාකම් හා දක්ෂතාවයන් කැප කරන්නටත් එපා. තවත් අයෙකුගේ හැකියාවන් කෙරෙහි ඊර්ෂ්‍යා සිත් ඇතිව කටයුතු කරන්නටත් එපා.

         “ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත” නොව එය “ලොවින් එකෙක් දෙක තුනකට වෙයි සමත” ලෙස වෙනස් විය යුතු බව නිතරම සිහි තබා ගන්න. මුලින්ම ඔබ සෙමෙන් ඔබේ දක්ෂතාවයන් හඳුනාගන්න. එයට වසරක්, දෙකක්, තුනක්, පහක් හෝ දහයක් ගත වුවත් ඔබ ඔබම ලෙස ඉදිරියට යන්නට අවශ්‍ය ඔබේ සැඟවුණ කුසලතාවයන් හා හැකියාවන් හඳුනා ගත යුතු යි.

         ජීවිතයේ එක් කඩඉමක් ඔබ පැරදෙන්නට පුලුවනි. එය දෙකක් හෝ තුනක් විය හැකිය. නමුත් ඔබ සදාකාලිකවම පැරදෙන්නේ, වැටන්නේ නැත. එක්තරා අවස්තාවක දී ඔබ ඔබව හඳුනාගන්නවා ඇත. ඒ හැරවුම් ලක්ෂයේ දී ඔබ ගත යුතු තීරණය ගන්න.

         එය ඇතැම් විට වැරදී තීරණයක් වන්නට ත් පුලුවනි. එයද අත්දැකීමක් කරගන්න. අත්දැකීම් දැවැන්ත මිනිසුන් නිර්මාණය කරන බව සිහි තබාගන්න. ගෙවෙන් හැම තත්පරයක්ම ජීවිතයට අත්දැකීම් හා පාඩම් ම පමණක් ලබා දෙන බව සිහියට ගන්න.

         හෙට දවස එළි වන විට පෙරදා අඳුරු මතකයන් අමතක කර දවස ආරම්භ කරන්න. ඔබගේ ජීවිතය ඔබට මෙන්ම තව බොහෝ දෙනෙකුට වටිනා බව සිහියට ගන්න.

         කිසිම අවස්තාවක තමන්ගේ ජීවිතය අවතක්සේරු කරන්නට එපා. උස්, මිටි, උගත්, නූගත්, පොහොසත්, දුප්පත් , සුදු, කලු… යනා දී කුමන නිර්ණායක හරහා පදනම් ව වෙනස් වුවත් උත්පත්තියන්ම අප මනුෂ්‍ය වර්ගයා හැමටම ලැබී ඇත්තේ එක හා සමාන වටිනාකමකින් යුතු ජීවිතයක් බව සිතන්න. ඔබේ ජීවිතය පෝෂණය කොට රැක බලාගෙන උසස් තත්වයක් ලබා දීමේ වගකීම ඔබට ඇති බව වටහ ගන්න.

         ඔබ ඔබම ලෙස ජීවිතය දකින්න. ඔබේ වටිනාකම වෑඩි කරගන්න. නිදහස් මත දරන්න..ඔබේ අයිතිවාසිකම් හා වගකීම් මෙන්ම යුතුකම්ද වටහා ගන්න.

         අඬා වැළපීම් හා පසු තැවීම් වලට කාලය අනවශ්‍ය ලෙස වැය නොකරන්න.ඒ වැය වන්නේ ඔබේ දියුණුව උදෙසා යෙදීමට ඇති කාලය බව වටහා ගන්න.

         අනවශ්‍ය ලෙස භෞතික වස්තූන් අල්ලා ගැනීමට , රැස් කිරීමට හා ලෝබ වීමට උත්සාහ නොකරන්න. නමුත් හෙට වෙනුවෙන් යම් ආයෝජනයක් කරන්න. ජීවිතයේ එක් එක් අවධින් වල විඳින්නට අවශ්‍ය ජීවිතය විඳින්න. “අද”ගෙවි ගිය පසු එය අතීතයට එකතු වී එයට “ඊයේ” ලෙස නමක් ලැබේ.

         අද කළ යුතු දෑ අදම කරන්න. හෙට ට කල් නොදමන්න.

.. ඔබට වටිනාකම දෙන්න. ඔබේ වටිනාකම අන් අයට පෙනෙන්නට ඉඩ දෙන්න… මේ සියල්ල අවසානයේ ජීවිතය විඳින්න..

දිගැZ

(දිගැසි පබසරා අමරසිංහ )

2021 නොවැම්බර් 26

Sign up for our newsletter