Api-Slide-50-1
Api-Slide-50-2
Api-Slide-50-3
previous arrow
next arrow

දරුවන්ට ෆෝන් දෙන්නද

දරුවන්ට ෆෝන් දෙන්නද ?එපාද ?

මේ දවස් වල නැවතත් ,දරුවන්ට මොබයිල් ෆෝන් අරන් දීම හොඳද නැද්ද කියල කථිකාව හැදිලා .

ඒකට ආසන්නතම හේතුව වුනේ , ෆෝන් එකක් සම්බන්ධ සිද්ධියක් නිසා තරුණ දරුවෙක් ජීවිතය නැති කරගෙන තිබීම .ඉතින් මේ මාසේ අපි ” අපි “එකේ ඒ ගැන කථා කරමු .

පුතාට අවුරුදු 15යි

එයා හැමදාම පන්තියේ පළවෙනියා,

ඉස්කෝලේ වැඩට අරන් දීපු ෆොන් එකෙන්, පාඩම් වැඩ නොකර ගේම් ගගහ ඉන්න නිසා මම ෆොන් එක ආපහු ගත්තා,

ෆොන් එක නොදීපු නිසා පුතා එල්ලිලා මැරිලා,

දැන් අපිට ළමයින්ට ෆොන් දීලත් බෑ නොදීත් බෑ..

මේ මැරිච්ච දරුවගෙ දෙමව්පියෝ කිව්වෙ එහෙමයි.

💊ජංගම දුරකථන ළමයින්ට දෙනකොට ඒ ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕනෙලු,

💊දරුවො විනාශ වෙන්නේ ෆොන් නිසාලු,

💊අපි පොඩි කාලෙ නම් ඔහොම නැහැ ලු

මේවා කියන්නෙ සමාජයේ සමහරු..

එක එක පැති වලින් බැලුවම ඔය ඔක්කොම දේවල් හරි ඇති, සාදාරණත් ඇති.

ඒත් එතනින් එහාට ප්‍රයෝගිකව විවුර්ත වෙලා බැලුවොත් තත්වේ ඊට වඩා වෙනස්.. 👇

ළමයෙක්, අවුරුදු 13 ක්‌ විතර පහුවෙලා teenage වයසට එනවා කියන්නෙ  ඇතුලෙන් පිටින් දෙකෙන්ම හැඟීම් දැනීම් හැසිරීම් වෙනස් වෙන්න පටන් ගන්න කාලෙ,

ඉලන්දාරි කම් ඉහට ගහලා කියලා අම්මලා තාත්තලා කෑ ගැහුවට ඒක එහෙම වෙන්නේ හෝමෝනවල වෙනස් වීම  නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.

ඉතින්, ඒ කාලෙදි එක එක පරිමාණයෙන් දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවා, කථා බහ අඩු වෙනවා, නිශ්ශබ්ද වෙනවා, අළුත් තාක්ෂණය එක්ක ගැටීම රැඳීම වැඩි වෙනවා, විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වෙනවා.

ඔය කාලෙදි   දරුවෝ එක්ක ගණුදෙණු කරන්න ඕනෙ හැඟීම් වලින් නෙමෙයි බුද්ධියෙන්,

අපි නම් කලේ මෙහෙම නෙමෙයි, අපි තමයි හොඳටම කලේ..

ඒ කාලෙ අපි මෙහෙම නැහැ, ෆොන් එබුවේ නැහැ, ගේම් ගැහුවේ නැහැ, කුණුහරප බැලුවේ නැහැ, කාමර අස්සෙ රිංගන් හිටියෙ නැහැ කියලා චෝදනා කළාට ඇත්තටම ඒ කාලෙ උනෙ ඒක නෙමෙයි,

ඒ කාලෙ ෆොන් tab, lap ඕවා තිබ්බේ නැහැ,

ඒ කාලෙ හැටියට තිබ්බ ලොකුම නසාරානි වැඩ තමයි, ගස් නගිනවා, ගෙඩි කඩනවා, ගඟේ පීනනවා, ෆිල්ම් හෝල් වලට රිංගනවා, හන්දි, බෝක්කු ගානේ රස්තියාදු ගහනවා..

ඉතින් ඕවා තමයි ඒ කාලෙ තිබ්බ නසරානිම වැඩ, ෆොන් එබුවේ නැති උනාට ගේම් නොගහුවට නිල් පාට ඒවා නොබැලුවට කාලෙට අනුව තිබ්බ ඔක්කොම කොලු කම් අඩු නැතුව කරල අම්මලාගෙන් ගුටී කාලා තෙම්පරාදු වෙලා රස්තියාදු ගහල අද දෙමව්පියෝ බවට පත් වුනාම දරුවන්ගේ තරුණ සෙල්ලක්කාරකම් එක්ක ගණුදෙනු කරද්දී  ඒ කාලෙ අපි මෙහෙමයි ඇරෙහෙමයි කියලා එදා අද එක්ක සංසන්දනය කරන එක කොහොමත්  සාදාරණ  නැහැ,

සියල්ල තාක්ෂණික මෙවලම් අතර රැඳීච්ච රොබෝවරුන්ගේ යුගයක දරුවො හදලා, ඒ දරුවෝ සිරිමත්ලා වගේ යහපත්ව කොන්ඩේ තෙල් ගාල පීරලා විනීත, සුසිල්වත්,ඉතා කීකරු,ඉස්කෝලේ වැඩ විතරක්ම කරන අර බලන්න නයනා අමර සල් ගස යට කියලා සල් මල් නෙලන දරුවෝ වෙයි කියලා හිතනවානම් ඉතින්,ඒක ලොකු විහිළුවක්.

කාලයේ තාලෙට ලෝකෙ වෙනස් වෙනකොට තමන්ගේ ළමයි විතරක් වෙනස් නොවී ඉඳියි කියලා හිතන එක දෙමව්පියන්ගේ අඩුපාඩුවක්,

තරුණ දරුවෝ ෆොන් පාවිච්චිය, ගේම් ගහන එක, අන්තර්ජාලයට රිංගන එක මේ කාලෙ අහස පොළව නුහුලන පට්ට අපරාධයක් නෙමෙයි,

දරුවෝ එක්ක හොඳින් කතාකරලා, තේරුම් කරල දීලා ඒවාට සීමාවක් දාන්න බලන එක වෙනස්,

හැබැයි බකස් ගාල එකපාරටම ඒවා 

නවත්තල දාලා දෙමව්පියෝ, දෙමව්පියන්ගේ බලය පෙන්නන්න ගියාම වෙන්නේ, දරුවෝ තමන්ගේ මුරණ්ඩුකම් වල උපරිමයටම යන එක විතරයි.

කාළයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ,අපේ දෙමව්පියෝ දරුවෝ එක්ක ගණුදෙනු කරන විදිහෙත් වෙනසක් ඇති වෙන්න ඕනෙ,

එහෙම නොවී  තාක්ෂණයට බැනලා මෙවලම් වලට සීමා දාලා නම් මේ වගේ සිද්ධි වෙන එක නවත්තන්න බැහැ.

අලුතෙන් ජීවිතේට පය ගහපු තරුණ ළමයින්ට වඩා, ඒ යුගය පහු කරන් ගිය දෙමව්පියෝ මීට වඩා ඉවසීම, තේරුම් ගැනීම, ප්‍රගුණ කරල ප්‍රයෝගිකව යතාර්ථවාදීව දරුවෝ දිහා බලන්න ඕනෙ,

අන්තිමට හැමදේටම වැරදි දෙමව්පියෝද කියලා කෙනෙක් ඇහුවොත්, උත්තරය ඔව්, දරුවෝ හදනවා කියන්නෙ සියළු වගකීම් බාරගෙන බැනුම් අහන්න ලෑස්ති වෙලා කරන්න ඕන වැඩක්,

හොඳ හෝ නරක දරුවො වැඩිහිටියෝ වෙනකම් දෙමව්පියෝ වග කියන්න ඕනෙ තමයි.

අනිශා ජයකොඩි ✍️

Sign up for our newsletter