Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

දුෂ්කරක්‍රියා කළ දුර්ගේෂ්වරිය 

බුද්ධගයා පුණ්‍යභූමිය සියැසින්ම දැක මුළු හදවතින්ම වැඳ පුදාගත් ඔබ බුද්ධගයාවේ සිට නේරංජනා ගඟ හරහා දිවෙන පාලම පසු කොට කිලෝමීටර් පහළොවක පමණ දුරක් ගිය විට ඉතා රමණීය වූ දුර්ගේෂ්වරි නමින් හඳුන්වන කඳු වළල්ලක් ඔබට දැකගත හැකිය. 

විමුක්තිය උදෙසා සියලු සැප සම්පත් අත්හළ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රජගහ නුවරත්, ගයාව ආශ්‍රිත කඳු වළල්ලත් ඇසුරු කරමින් සය අවුරුද්දක පමණ කාලයක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණ බව ඔබට මතක ඇති. දුර්ගේෂ්වරි කඳු වළල්ලෙහි සොයා තහවුරු කොට ඇති ගල් ලෙන තුළද, උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටිමින් දුෂ්කර ක්‍රියාවේ යෙදී ඇත. දුර්ගේෂ්වරි කඳු පාමුල සිට ඒ පින් බිම වෙත පා ගමනින් යා යුතුය. එය තරමක් වෙහෙස කර කටයුත්තක් ලෙස පෙනුණද, බුදුගුණ සිහි කරමින් ඒ අසිරිමත් පුණ්‍ය භූමිය සියැසින් දැකගැනීම පිණිස ඔබ යා යුතුමය. 

දුෂ්කර ක්‍රියා කළ ගල් ලෙන ඉදිරියෙහි පිහිටා ඇති වසර තුන් දහසකට වඩා පැරණි යැයි තහවුරු කොට ඇති සියඹලා ගසක් ඔබට එහිදී දැකගත හැකිය. එහි පැරණි කඳ 

තවමත් දිරායමින් තිබෙන අයුරු ඒ අසලට ගිය විට දැකගත හැකිය. දුෂ්කර ක්‍රියා කරන අවධියෙහි ගස්වල කොළ, පොතු පමණක් ආහරයට ගත් බව ඔබ අසා ඇත. පාත්‍රයට වැටෙන කොළයක් පමණක් ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කළ බව අසා ඇත. මේ පැරණි සියඹලා වෘක්ෂයෙහි කොළ, පොතු ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කරන්නට ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. 

දුර්ගේෂ්වරි පුණ්‍ය භූමිය සියැසින්ම දැක වැඳ පුදාගැනීමෙන් පසුව යළිත් ටික දුරක් බුද්ධගයාව දෙසට එන විට ‘සුජාතා’ නම් ගම්මානය හමු වෙයි. එහිදී සුජාතා සිටු දේවිය ජීවත් වූ සිටු මැඳුරෙහි නටබුන්, සුජාතාව කිරිපිඬු පූජා කළ පුණ්‍ය භූමිය, පූජනීය නේරංජනා නදිය, සොත්තිය නම් බමුණා කුස තණ මිටි අටක් පූජා කළ පුණ්‍ය භූමිය ආදී වැදගත් ස්ථාන රැසක්ම ඔබට දැක බලා වන්දනා කළ හැකිය. 

ගලිගමුවේ ඤාණදීප හිමි – දඹදිව බුද්ධ භුමි ග්‍රන්තය 

තෙරුවන් සරණයි !සදහම් අමා වැස්ස

Sign up for our newsletter