Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

නායකත්වය හෙට නෙවේ අදම ලබා ගමු

නායකත්වය යනු යම්කිසි පොදු අරමුණක් ඉටු කර ගැනීමට තව පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට කරන බලපෑමක් ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරන්න පුළුවන්. මේ නායකත්වය දරන නායකයා ඒ අදාළ කණ්ඩායමේ බලවත් ස්ථානය නිතැතින්ම හොබවන අතර, වර්තමානය වන විට නායකත්වය සඳහා තරුණ තරුණියන් තෝරා පත් කර ගැනීමට වැඩි වශයෙන් පෙළැඹෙන බවක් පෙන්නුම් කරයි. නායකයන් හට නිතැතින්ම අනුගාමිකයන් පිරිසක් සිටින අතර එසේම ඔවුන්ට අනික් අයට බලපෑමක් කළ හැකියි. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක්ලවා යම් කිසි කාර්‍යක් කරවා ගැනීමේ හැකියාව නායකත්වයට පවතියි. මේ අනුව බලන කල නායකත්වය යනු යම් සුවිශේෂී සමාජ තත්ත්වයක් බව පැහැදිලි වේ.

වත්මන් සමාජයේ තරුණ තරුණියන් හට මේ නායකත්වය දැරීම සදහා පවත්නා ඉඩකඩ වැඩිය. ඔවුන්ට පවත්නා ඉල්ලුමද වැඩිය. මෙනිසාම තරුන තරුණියන් හට සමාජය තුළ ජීවත් වීමේදී නායකත්ව කුසලතා ඔප්නැංවීම වැදගත්. එවිට අවශ්‍ය අවස්ථාවලදී මේ තරුණ තරුණියන්ට නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව පවතී. මෙනිසා වැඩිහිටි පරපුරට තම බාල පරපුර නායකත්ව ගතිගුණවලින් හෙබි තත්ත්වයට පත් කිරීමේ වගකීමක් ඇත. තවද ඒ සඳහා තරුණ පරපුර පුහුණ කිරීම් වැනි දෑද සිදු කළ හැකිය.

එසේම නායකත්වය දරන පුද්ගලයෙකු තුළ ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ලක්ෂණ තිබෙනවා. ‘ඔහු/ඇය උපතින්ම නැත්නම් ස්වභාවයෙන්ම නායකයෙක්’ යමෙක් පෙරමුණ ගෙන වැඩ කරද්දී ඔබේ කණට මෙවැනි වදන් ඇසී තිබෙන්නට පුළුවන්. නායකත්වය සඳහා අනුගාමිකයින් පිරිසක්ද අරමුණකට අරමුණු කීපයක්ද තිබිය හැකිය. මේ පිළිගැනීමට අනුව නායකයෙක් තුළ විශේෂිත නැත්නම් සුවිශේෂිත ගති ලක්ෂණ තිබිය යුතු යැයි සමාජය පිළිගන්නාවූ කාරණයක්. ඒවා සුලබ කාරණාවන් වූවත් එයින් කීපයක් ලෙස පෞරුෂත්වය, කථිකත්වය, නොසිතාම කැපී පෙනෙන ලෙස කටයුතු කිරීම, ආත්ම විශ්වාසය, ආධිපත්‍යය ආදී ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ ගති ලක්ෂණ තරුණ පරපුරේ දක්නට ලැබෙන්නා වූවත්; ලැජ්ජාශීලීකම නිසා මේ ගුණාංගයන් යටපත්වූ අවස්ථාවන්ද තියෙනවා. එනිසා මේ ගුණාංගයන් ඔප්නංවා ගැනීමට අප තරුණ තරුණියන්ට මග පෙන්විය යුතුයි.

නායකයින් ගත් කල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වය හා මතුවී එන නායකත්වය යනු ඒ ආකාර දෙකයි. කණ්ඩායම් නායකයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් මෙයට කදිම නිදසුන්. හේතුව නම් මෙහිදී තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වයක් මෙහිදී දක්නට ඇත. යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑමක් කළ හැකි පුද්ගලයා ‘මතුවී එන නායකයා’ වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔහුගේ චර්‍යාවන් සෙස්සන් පිළගත යුතුයි. ඔහුගේ/ ඇගේ පෞරුෂයද මෙම කැපී පෙනෙන නායකත්වයට හේතු සාධක වෙයි. මේ නායකත්වය අපට බොහෝ විට දේශපාලනයේදී දක්නට ලැබේ. එහිදී තරුණ තරුණියන් දේශපාලනයට ප්‍රවිශ්ට වන්නේ මෙම මතුවී එන නායකයන් ආකාරයෙනි.

නායකත්වය හා බලය එකිනෙකට සම්බන්ධිත තත්ත්වයන්. බලය කියන්නේ යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑම් කිරීමට නායකත්වයට, නායකයාට, පුද්ගලයෙකුට පවතින හැකියාව හෝ ශක්තියයි. වෙනත් අයගේ විශ්වාස, ආකල්ප කෙරේ බලපෑම් කිරීම හැකි පුද්ගලයා, බලසතු පුද්ගලයෙක් වශයෙන් සමාජයේ පිළිගන්නා කාරණයක්. ඇමතිවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ආදී පිරිස මේ සඳහා ගත හැකි නිදසුන්.

බලය පස් වැදෑරුම් වශයෙන් පර්‍යේෂකයින් විශ්ලේෂනය කරනවා. ඒවා පහත පරිදි දක්වන්න පුළුවන්. ඒවානම් ‘උපදේශන බලය’ යනු උපදෙස් දීම සඳහා පවත්නා බලයයි. ‘ඒකාධිපති බලය’ ලෙස බලයෙන් පාලනය කරන්නන් දැක්විය හැකියි. ‘නීත්‍යනුකූල බලය’ ලෙසින් කිසියම් තනතුරක් නිසා ඇති වන්නාවූ බලය දැක්විය හැකියි. අන් අය තමන් වෙත යොමු කර ගන්නා ආකර්ෂණීය බලය ‘පෞරුෂත්වය නිසා ලැබෙන බලය’ වන අතර යම් විෂයක් පිළිබඳ ප්‍රාගුණ්‍යත්වය නිසා ලැබෙන්නාවූ බලය ‘විශේෂණ බලය’යි. මේ ආකාරයෙන් බලයන් ආකාර පහක් අද සමජගතව පවතින අතර මෙම බලයන් දරන අයට අනෙක් කෙනෙකුගේ ආකල්ප, චර්‍යාවන් හා වටිනාකම් වෙනස් කිරීමට ශක්තියක් හෝ හැකියාවක් ඇති වේ. තවද බලය ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්නා මෙවලමක් බවට පත්ව ඇත. මෙනිසා තරුණ තරුණියන් නිවැරැදි ලෙස නායකත්වය හා බලය පරිහරණය සඳහා යොමු කිරීම වැදගත්.

තරුණ පරපුර නිවැරදි නායකත්වයට යොමු කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුනට වහාම බලය ලබාදී කටයුතු කිරීමට ඉඩ සැලැස්වීමෙන් ඔවුන්ගේ නායකත්ව හැකියා ප්‍රවර්ධනය කිරීමත් රටක් වශයෙන් ඉතාමත් වැදගත් කරුණක් බව සියල්ලෝම සිත්වල තබා ගෙන, නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් වේ.

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

Sign up for our newsletter