Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

භාවනාව සහ විවිධ භාවනා ක්‍රම

වර්තමාන ලෞකික සමාජයේ කාර්යබහුලත්වයෙන් හෙබි ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඔබ අප සියලු දෙනාගේම හිත සුව පිණිස ඉතාමත් කාලීන මාතෘකාවක් “අපි සඟරාව” ඔස්සේ මෙම ලිපියෙන් සාකච්ඡා කිරිමටයි අප සූදානම් වන්නේ.

“භාවනාව සහ විවිධ භාවනා ක්‍රම” පිළිබදව ඔබ කොතෙකුත් අසා ඇතත් භාවනාවේ නිවැරැදි භාවිතය සහ ඒ තුලින් අපේක්ෂා කරන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා වූ  ක්‍රමානුකූල මඟ කෙසේ සොයා ගත හැකිද? යන්න අද සමාජයේ බොහෝ දෙනෙකුට පැන නැගී ඇති ගැටලුවක් වී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය නම් සුන්දර ගම්මානයේ ඉතාමත් මනස්කාන්ත නිදහස් පරිසරයක පිහිටා ඇති භාවනායෝගී භික්ෂුන්වහන්සේලාට සහ උපාසක උපාසිකාවන්ට මනා තෝතැන්නක් වූ රිදීකන්ද ආරණ්‍යය හි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ  වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගෙන් අසා දැන උගත් පරිදි මේ පිළිබදව ඔබට කරුණු බිඳක් ලියන්නටයි අපගේ සුදානම.

1. භාවනාව යනු කුමක්ද? භාවනාව වැඩීම තුලින් අප බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?

“භාවනාව” වචනාර්ථය ගත්කල වැඩි දියුණුකිරීම, පුහුණුකිරීම, වර්ධනය කිරීම යන අරුත් ගැන්වේ. වැඩිදියුණු කලයුත්තේ කුමක්ද? එය කය සහ සිතහි දියුණු බව පිණිස මනා පුහුණුවයි. එය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එනම් සමථ භාවනාව හෙවත් සිතෙහි ඒකාග්‍රතාව වර්ධනය කිරීම සහ විදර්ශනා භාවනාව හෙවත් ජීවිතයේ සත්‍යතාවය විනිවිද බැලීම සඳහා වූ සිතෙහි දියුණුබවයි.

කාර්යබහුල ගිහි ජීවිත තුල කෙනෙකුගේ සිතෙහි පවතින විසුරුණු ස්වභාවය, අවිවේකී බව, විඩාව, පීඩාව නිරතුරුව ගෙනදෙයි. නමුත් සමථ භාවනාව තුලින් පුරුදුකරන ලද ඒකාග්‍ර සිතකින් මානසික සුවපත් බව විවේකි බව ලැබීම මෙන්ම, ඒකාග්‍ර සිතක චිත්ත ශක්තිය බොහෝ කායික රෝග සුවපත් බව පිණිස ද ඉවහල් වන බව බටහිර පර්යේෂණ පවා සාක්ෂි දරයි. නිදහසේ ඉහල සිට ගලා යන ජලය විවිධ ජල මාර්ග ඔස්සේ ගලාබැසීමට ඉඩ නොදී, ජලය එක් මාර්ගයක් ඔස්සේ ක්‍රමානුකූලව ගමන් කරවීම තුල විශාල ශක්තියක් ජලය මත ගොඩනැගිය හැකි සේ, විසිරුණු සිත ඒකාග්‍ර කිරීම තුල ගිහි ජීවිත ප්‍රබෝධමත්ව, ක්‍රියාශීලීව, නිරෝගීව ගත කිරීමටත් විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් සමථ භාවනාව තුලින් ලබාගත හැක. ලෝකයේ විවිධ සමථ භාවනා ක්‍රම භාවිතා කරනු ලබන අතර බුද්ධ දර්ශනය තුලද අනුස්සසති භාවනා, කසින භාවනා ආදී විවිධ සමථ භාවනා ක්‍රම හඳුන්වා දී ඇත.

බුද්ධ දර්ශනය තුල පමණක් ඉගැන්වෙන විදර්ශනා භාවනාව, සත්‍ය ගවේෂණය තුලින් ජීවිතයේ සැබෑව ඇති සැටියෙන් අවබෝධ කිරීම සඳහාත් පිළිවෙලින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ අරහත් යන උතුම් ඵල නෙලාගැනීම සඳහාත් උපකාරී වේ. විදර්ශනා භාවනාව අන් භාවනාවන් අතරින් වෙනස් වන්නේ, එහි යෙදීමේ සුවිශේෂීත්වය නිසාය. ජීවිතය යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා වූ විවිධ සිද්ධාන්තයන්හි දැනුමත්, එම දැනුම තමා තුලින් දැක ගැනීම (අවබෝධ කර ගැනීම) පිණිස වූ ක්‍රමානුකුල ප්‍රායෝගික ක්‍රියාත්මක බව හෙවත් භාවනා කර්මස්ථාන වැඩීම තුලින් මෙම ජීවිත අවබෝධයට පත්විය හැක. නමුත් විදර්ශනා භාවනාව වැඩීම සඳහා ඒ මඟ නොමඟ හොඳින් දන්නා ගුරුවරයෙකුගේ මාර්ග උපදේශකත්වය ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි.

2. නිවන් මඟ සඳහා යන ගමනේදී ගුරුවරයෙකුගේ වටිනාකම සහ නිවැරදි ගුරුවරයා තෝරා ගැනීම කෙසේ සිදුකල යුතුද?

බුද්ධ දර්ශනය තුල ගුරු භුමිකාවට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මන්ද නිවන් මඟ සාක්ෂාත් කිරීමේදී හමුවන විවිධ අභියෝගයන් ජයගැනීම සඳහා ඒ මඟ දන්නා ගුරුවරයාගේ මාර්ග උපදේශනය, ශිෂ්‍යයාට ඒ මඟ පහසුවෙන් ගමන් කිරීම සඳහා මනා පිටුවහලක් ගෙනදෙයි. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගනු ලබන සම්බන්ධතාවය තුලින් ශිෂ්‍යයාව මනාව අවශ්‍යය ඉලක්කය වෙත පහසුවෙන් රැගෙන යාම ගුරුවරයා විසින් සිදුකරයි. ඒ තුල, මන් මුලා නොවී මාර්ගය තුල නිවැරදිව ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ගුරු-ශිෂ්‍යය සම්බන්ධතාවය තුලින් ඇති කර ගත හැක.

ගුරු භූමිකාවේ කාර්යභාර්යය තේරුම් ගැනීම තුලින් නිවැරදි ගුරුවරයෙකු හඳුනාගැනීම සිදුකල හැක. ශිෂ්‍යාව මුල සිට කෙළවර දර්ශනය දක්වා අනුපිළිවෙළින් ධර්ම විනය ඉගැන්වීමෙන්, එහි ප්‍රායෝගික දර්ශනයන් සඳහා භාවනා කර්මස්ථානයන් නිර්දේශ කරමින්, නිරතුරුව ශිෂ්‍යාගේ වර්ධනය නිරීක්ෂණය කරමින් අවශ්‍යය උපදේශනයන් ලබා දීම ගුරුවරයා විසින් සිදුකරයි. එම ඉගැන්වීම් ත්‍රිපිටක ගත බුද්ධ දර්ශනයට අනුකුලව, තර්කයට ගෝචරව, විද්‍යාත්මක පදනමක සිට ඉදිරිපත් කරනවාද යන්න පිලිබඳ විචාර බුද්ධියකින් ශිෂ්‍යයා විසින් බැලිය යුතුය. එවිට, නිවැරදි ගුරුවරයා ඔබට හඳුනා ගත හැකිය.

3. ඉතා කාර්යබහුල ගිහි ජීවිතය තුල භාවනාව ප්‍රායෝගිකව පුහුණු කරන්නේ කෙසේද?

ගිහි ජීවිත ගත කරමින් භාවනාව වැඩීම කල නොහැකියි යන වැරදි අදහස අප මුලින්ම ඉවත් කල යුතුය. එමෙන්ම, ඒ සඳහා කාලය කළමණාකරණය කල නොහැකියි යන මතයද ඉවත් කළයුතුය. මූලික වශයෙන් දවසේ පැය 24න් යම් කාලයක් වෙන්කර ගැනීම සෑම දෙනාටම කල හැකි දෙයකි. එය විනාඩි 10, 15, 30 විය හැකි වුවත්, ඒ කාලය සෑම දිනකම භාවනාව පුහුණුකිරීම වෙනුවන් වෙන් කිරීමෙන් ඔබට අවශ්‍යය ඉලක්ක වෙත ලඟාවීමට එයම ප්‍රමාණවත් වේවි. ඒ කාලය තුල සරල භාවනා අභ්‍යාස ප්‍රගුණ කරමින් ක්‍රමානුකූලව භාවනාව තුල පරිණත වීමට ඔබට හැකිවේවි.

4. ගිහි ජීවිතය ගත කරන අයෙකු රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්න්ධ වී භාවනා ක්‍රම ප්‍රගුණ කිරිමට ඇති වැඩ පිළිවෙල කුමක්ද?

රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුල උපාසක උපාසිකාවන් වෙනුවන් නේවාසික භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන භාවනා යෝගීන් සඳහා දුරස්ථ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ද (Online learning) වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් අතර, සමථ භාවනා වැඩසටහන්, විදර්ශනා භාවනා වැඩසටහන් මෙන්ම, ආතතිය කළමනාකරණය (Stress management) සඳහා වූ වැඩසටන් සහ විවිධ ඇබ්බැහිවීම් සඳහා වූ බෞද්ධ මනෝ විද්‍යාත්මක පුනුරුත්ථාපන (Addiction Rehabilitation) වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

5. එතෙර ජිවත් වන අයෙකු මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ වන්නේ කෙසේද?

රිදීකන්ද ආරණ්‍යය සේනාසනය ට අදාළ වෙබ් පිටුව සමඟ සම්බන්ධ වීමෙන් ඉහත සඳහන් ඕනෑම වැඩසටහනක් හා සම්බන්ධ වීමට හැකියාව ඇති අතර, මෙම 2022 වර්ෂ ආරම්භය මුලික කරගෙන දුරස්ථ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ද (Online learning) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම භාවනා වැඩසටහන් පිළිබදව තොරතුරු දැන ගැනිම සදහා පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ ඔබට රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධ විය හැකිය.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com

“අපි සගරාව” කියවන සියලු දෙනාගේම යථාඅවබෝධය පිණිස මෙම ඉතාමත් වටිනා ධර්මානුකූල කරුණු විග්‍රහය සදහා අප සමග සම්බන්ධ වීම පිළිබදව රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට අපගේ ගෞරවපූර ස්තුතිය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

අමා නාකන්දලගේ

Sign up for our newsletter