Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

ලෝකයේ මුල

යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක. “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.

යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නො විය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබී පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබූ නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.

ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි. 

දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.

(අනමතග්ග සංයුක්ත)

දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ”යි ඇසීය. “මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ”යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය”යි වදාළහ.

(අනමතග්ග සංයුක්ත)

➤➤ ලෝකයේ ඇතිවූයේ කෙසේද?

———————————

ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසා ය යි සිතූහ. වඩුවකු ඇඳක් – පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය. 

මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙක් වුවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ. 

සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වදාළ සේක. 

බීජයෙන් ගසත් ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ ය. 

එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවතී. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවතී.

— සූවිසි මහ ගුණය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි—

Sign up for our newsletter