Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වෙසක් මාසයේ සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන්න අදහසක්

ලොවපුරා ජීවත්වන බෞද්ධයන්ට පැමිණෙන විශේෂම වු මාසයක් ලෙස මැයි මාසය, සිංහල ලිතට අනුව වෙසක් මාසය හදුන්වන්න පුලුවනි. 

සම්බුදු තෙමඟුල එනම් අපගේ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය පත්විම සහ පරිනිර්වාණය යන විශේෂ කරුණු ස්මරණය කිරිම සදහා 

පවත්වන වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවය ලෙස නම් කල හැකිය.

ඔබ අප සියලුදෙනාගේම හිතසුව පිණිස දහම් කරුණු “අපි සගරාව” ඔස්සේ සාකච්ඡා කිරිමට මුලික වි කටයුතු කරන රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වු 

විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් දැනඋගත්

පරිදි නොබෝදිනකින් පැමිණෙන වෙසක් මාසයේ යෙදි ඇති “සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන” ආකාරය පිළිබදව අදහස් කිපයක් ඔබ හමුවේ තබන්නටයි අපගේ සුදානම.

🔸වර්තමානයේ වෙසක් සැමරුම් කෙසේ අර්ථකථනය කල හැකිද?

වෙසක් මාසය තුල අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරමින් විවිධ ආකාරයේ සැමරුම් සිදුකරන මාසයක් ලෙස සලකන්න පුළුවන්. වෙසක් කූඩු, තෝරන් වැනි වෙසක් සැරසිල්ලේ සිට බෝධි පුජා, කප්රුක් පූජා වැනි විවිධ පූජා සම්ප්‍රදායන් මෙන්ම භක්ති ගීත, පෙරහැර, දන්සල්, දාන සීල භාවනා වැඩසටහන් වැනි විවිධ සැමරුම් සංවිධානය වන මාසයක් ලෙස දකින්න පුළුවන්. එක්  අකාරයකින් මෙම වෙසක් සැමරුම් හුදෙක් ආගමික සැමරුමකට ගොනු නොවී සාමාජීය සහ සංකෘතික ගුණයන්ගෙන් පෝෂණය වූ විවිධ අර්ථයන් විදහා දක්වන සැමරුමක් බවට වර්තමාන වෙසක් සැමරුම පත්වෙලා තියෙනවා. එය එසේ සිදුවන්නේ කාලයක් තිස්සේ එම සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතල බෞද්ධ දර්ශනය සමඟ මිශ්‍රවීම නිසාය. සම්බුදු තෙමඟුල සමරන බෞද්ධ රටවල්වල එම සැමරුම් ඒ ඒ සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතලයන්ට ආවේණිකව සිදුවන්නේ මේ නිසා බව තේරුම් ගන්න පුළුවන්. ඒ උනත් අප තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ මේ සෑම සැමරුමකම, යම් ශාසනික වශයෙන් යම් වටිනා පණිවිඩයන් හෝ අර්ථයන් ලබාදීම සිදුවන බව.

🔸වෙසක් කූඩුවෙන් අර්ථ ගැන්වෙන ධර්ම දර්ශනය කුමක්ද?

උදාහරණයක් ලෙස අපි හැමෝම වෙසක් සැරසිලි සිදුකරනවා, ඒ අතරින් වෙසක් කූඩුව විශේෂයි. විශේෂයින් වයස් බේදයකින් තොරව වෙසක් කුඩු නිර්මාණය කිරීමට කැමතියි. වෙසක් කූඩුව තුලින් අපිට බුද්ධ දර්ශනයේ ඉදිරිපත් කරන ජීවිත යතාර්ථය තේරුම්ගැනීමට භාවිතා කරගන්න පුළුවන්. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය තුලින් ධර්මය ඉගෙන ගන්නවා වෙනුවට, ප්‍රායෝගිකව ධර්ම අවබෝධය ලබාගැනීමේ ක්‍රමවේදයක් ලෙස වෙසක් කූඩුව අපිට දකින්න පුළුවන්. අපේ කයෙහි යථාර්තය තේරුම්ගැනීම සඳහා වෙසක් කූඩුව හොඳ උපමා නිදර්ශකයක් සපයනවා. කුඩා ලී දඬු හෝ උණ දඬු කිහිපයක් එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කරන මුලික සැකිල්ල හරියට අපේ කයෙහි අස්ථි පද්ධතිය සේ තේරුම් ගන්න පුළුවන්. රාත්‍රී ආලෝකය පිණිස සැකිල්ල අභ්‍යන්තරයේ එල්ලන පරිපථ, වයර් සහ විදුළි බුබුළු, ශරීර අභ්‍යන්තර පද්ධතීන් නිරුපණය කරනවා. සව්කොල හෝ වෙනත් කඩදාසි යොදා ආවරණය කරන සම්පුර්ණ සැකිල්ල හරියට බාහිරින් ඇති සම නමැති පද්ධතිය සේ දකින්න පුළුවන්. වෙසක් කුඩුවේ බාහිර සැරසිලි ලෙස විවිධ වර්ණයන්ගෙන් යුත් කැටයම් සහ රැළි ආදීය, කයෙහි අලංකාරය පිණිස වූ වස්ත්‍ර, ආභරණයන් නිරුපණය කරනවා.  

මෙසේ මහන්සියෙන් නිර්මාණය කරන ලද වෙසක් කූඩුවේ සැබෑ අලංකාරය දකින්න පුළුවන් වෙන්නේ රාත්‍රියටයි. මන්ද, වෙසක් කූඩුවට විදුලිය ලැබීමත් සමඟම ආලෝකමත් වන වෙසක් කූඩුවේ විසිතුරු බව, වින්දනීය බව, එයට යම් සජීවී බවක් ආරෝපණය කරනවා. එය හරියට කය මෙහෙයවන සිත නමැති ක්‍රියාවලිය නිරුපනය කිරීමක්. මෙලෙස වෙසක් කුඩුවෙන් අර්ථවත් කය සහ සිතෙහි ක්‍රියාකාරීත්වය, හුදෙක් තාවකාලික සංසිද්ධියක් බව පසක් වන්නේ, වෙසක් කුඩුවේ ආයුකාලය ඉතා කෙටිකලකින් ව්නාශ වී යන විටය. ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු විසිතුරු, මන බඳින, ප්‍රියජනක වූ වෙසක් කූඩුව, ක්‍රමයෙන් රැළි ගැලවී, අවර්ණ වී, ඇලවූ සව්කොල වැරහැලි සේ එල්ලී තිබෙන විට ඇතිවන ජීවිතයේ යථා ස්වරුපය වෙසක් කූඩුවෙන් අවබෝධ කරගැනීමට පුළුවන. ඒ වගේම, ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු වෙසක් කූඩුව ඉතා ඉක්මනින් විනාශ වීම ඉවසා, දරා ගැනීමට අවශ්‍ය මනා පුහුණුව මෙම නිර්මාණ ක්‍රියාවලියෙන් නිර්මාණකරුවාට ලැබෙනවා.

🔸වෙසක් මාසයේ ක්‍රියාත්මක වන දන්සැල් සංස්කෘතිය කෙතරම් අර්ථසම්පන්නද?

දානය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම ඉතාම විසිතුරු දර්ශනයක්. නිවන් මාර්ගය පසක් කිරීමේ ක්‍රමානුකූල ගමන් මාර්ගයේ ආරම්භක ධර්මතාවය ලෙස දානය හඳුන්වන්න පුළුවන්. භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික අත්හැරීම්  වශයෙන් විවිධ මට්ටම්වලින් දානය පුරුදු කිරීම බුද්ධ දර්ශනය තුල නිරතුරුව ඉස්මතු කෙරෙන ධර්මතාවයක්. මූලික වශයෙන් තමන් සතු තමන්ගේ පරිභෝජනයට ඇති භෞතික ධර්මතා විශේෂයෙන් ආහාර, පාන හෝ වෙනත් ද්‍රව්‍යයන් අන් කෙනෙකුගේ හිත සුව පිණිස පරිත්‍යාග කිරීම තුල මෛත්‍රීය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව වැනි උතුම් ගුණාංග වර්ධනය වීම දකින්න පුළුවන් කම තියෙනවා. ඊටත් වඩා, තමන් සන්තකයේ පවතින ද්‍රව්‍ය දේ තුල පෝෂණය වූ මම මගේ සංකල්පයන් බැහැර කිරීම පිණිස ද්‍රව්‍ය දේ අත්හැරීම පුරුදු කල යුතුයි. සමාජීය වශයෙන් සියලු දෙනාගේ එකමුතු බව සහ සහසම්බන්ධතාවය වර්ධනය වීමත් වැනි අර්ථාන්විත ගුණ වගාවන් වර්තමාන දන්සැල් සංස්කෘතිය දකින්න පුළුවන් කම තියෙනවා.

මේ වෙසක් කූඩුව, දන්සැල විතරක් නොවේ, ඉහත පෙන්වා දුන් සියලු සැමරුම් තුලින් අපේක්ෂා කලයුත්තේ, ඒ තුලින් සෑම සියළු දෙනාට, විශේෂයෙන්  ළදරු වියේ සිට, තරුණ, මහලු සියලු දෙනාටම තම තම නැණ පමණින් බුද්ධ දර්ශනය පිලිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට අවකාශ විවර කිරීමයි. ඒ සඳහා වෙසක් මාසය පුරාවට සංවිධානය කෙරෙන විවිධ සම්බුදු සැමරුම් වල අර්ථාන්විත බව අවබෝධ කරගෙන ඒ සඳහා සියළු දෙනා සහභාගී කරවමින් විශේෂයෙන් ළමා පරපුර දැනුවත් කරවමින් මෙම වෙසක් මාසය තුල සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සැමරීමට ඔබ සියලු දෙනාට මෙය අනුශාසනවක්ම වේවා!

මෙම ඉතාමත් වටිනා කරුණු සමුච්චය ඔබ හමුවේ විග්‍රහ කිරිමට අපට අනුශාසකත්වය ලබාදුන් අපගේ පින්වත් ස්වාමින්වහන්සේට “අපි සගරාවෙහි කාර්ය මණ්ඩලයේ සහ අපි පාඨක සියලු දෙනාගේම ” කෘතවේදීත්වය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

“භාවනා වැඩසටහන්” පිළිබදව තොරතුරු දැන ගැනිමට පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ ඔබට රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධවිමට පුලුවන.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376 

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com
අමා නාකන්දලගේ 

Sign up for our newsletter