Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

සසුන – කෙටි කතාව

ගිනි මද්දහනය පන්සල් භූමියේ තැන් තැන් වලට දැනෙන්නට වූවත් බෝ මළුව යටට ඒ වගක් නොදැනෙන තරම්ය. ඉද හිට හමන හුළඟට එකම තාලෙට සෙලවෙන බෝ පත්‍ර වල හඬ හැරුනම අතරින් පතර ඇහෙන කුරුල්ලෙක් දෙන්නෙකුගේ හඬත්, ඈතින් ඇහෙන දුම්රියේ හඬත් හැරුනම වෙනත් හඬක් ඇහෙන්නේ නැති තරම්ය. 

සුමේද හාමුදුරුවෝ මේ නිස්කලන්කයට බොහෝ සෙයින් ඇල්ම දක්වන්නේය. එහෙත් විටෙක හිතට දැනෙන පාලුව කියා නිම කරන්නට බැරිය. ගෙවුනු දින කීපයේදී භික්ෂුවක අතින් සිදුවිය නොවිය යුතු යැයි සම්මත බොහෝ දේවල් තමන් අතින් සිදු විය. දැන දැනම වැරදි කරත් තාමත් ලොකු හාමුදුරුවෝ තමන් පන්සලේ තබාගෙන සිටින්නේ මුළු රටක් දන්න හඳුනන භික්ෂුවක් නිසා විය හැකි බව හෙතෙම අනුමාන කලේය. ඇතැම් ගිහියන් පවා පංච සීලය අකුරටම රකිද්දී තමන් අතින් කැඩුණු සිල්පද මෙනෙහි කලේය. තුන් වෙනි සිල්පදය තමන්ගේ පාලනයෙන් ගිලිහී ගියේ විශ්ව විද්‍යාල සමයේදී වූවත් ඒ ගැන ලොකු හාමුදුරුවන් වහන්සේ දැනගෙන තාමත් ගතව ඇත්තේ පැය හතලිස් අටටකටත් අඩු කාලයකි. 

‘සුමේදව බාරගත්තේ අවුරුදු හතරෙදි, අම්මගෙ කීමට. මේ වෙද්දි රටක් දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. කොටින්ම තැන්නෙකුඹුරේ සුමේද ස්වාමීන්වහන්සේ කිව්වම රටක් සාධුකාර දෙන හිමි නමක් දැන්. මේ තැනට එන්න සුමේද සෑහෙන්න මහන්සි වුනා. මමත් යමක් කලා. ඒත් සිවුරක් දාගත්තට, තාලෙට කවිබණ කිව්වට, දහම් කරුණු දැනගෙන වුන්නට බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නෑ. සුමේද හිතලා තීරණයක් ගන්න. පන්සලේ ඉන්නවා නම් ගමේ කෙල්ලො රෑට රෑට පන්සලට වද්දගන්නවට මගේ කිසිම කැමත්තක් නෑ….

ගෙවුනු රැයේ ලොකු හාමුදුරුවන්ගේ වචන හිත ඇතුලේ දෝංකාර දෙන්නට විය. බෝමළුව යට වෙනදාට දැනෙන සිසිලස මොහොතකින් නැති කර දමන්නට ලොකු හාමුදුරුවන්ගේ වචන ප්‍රමානවත් විය. සුමේද හාමුදුරුවන්ටත් තීරණයක් ගන්නට කාලය එලබ ඇති බව හිත කියන්නට විය. එහෙත් ඊට කලින් තමන් තවත් කෙනෙකුට ඇහුම්කන් දිය යුතුය. සුමේද ස්වාමීන් වහන්සේ පාර බලාගෙන හිදින්නේ ඇය එන තුරුය. 

බෝමළුවට පැමින දෙපැයකට ආසන්නය. අවසානයට සුමේද ස්වාමීන් වහන්සේ ඇයගේ දහදිය වැකුණු රුව දුටුවේය. ගෙවුනු විසි අවුරුද්දම ඇය තමන් බලන්නට පන්සලට ආවාය. එහෙත් එදා ආවාට වඩා අද වෙනස්ය. දිනෙන් දින ඇයත් වයසට යන්නීය. සුමේද හාමුදුරුවන් දකිද්දීම ඇය සිනාසුනාය. බුද්ධ පුත්‍රයෙක් තම කුසින් වදා සාසනයට බාර කිරීම ගැන ඇය හිදින්නේ ආඩම්බරයෙන් වග ඒ හිනාවෙන් කියන්නට විය. සිනහමුසුව පැමිනි ඇය වෙනදා මෙන්ම දෙපතුල් අල්ලා වන්දනා කලේය.

‘අපේ හාමුදුරුවෝ හදිස්සියේ පණීවිඩේ එව්ව නිසා මට මොනවත් ලෑස්ති කරගන්න බැරි වුනා.. ඒත් මම තිබුනු වෙලාවෙන් අග්ගලා ටිකක් හදාගත්තා…

‘අම්මා එද්දි මට එහෙම මොකුත් ගේන්න ඕන නෑ. දානෙට ඔය හැමදේම ලැබෙනවනේ… 

වෙනදා මෙන් නොව අද සුමේද හාමුදුරුවන්ට සිය මවට මුහුණ දී කතා කිරීමට අපහසුය. එහෙත් අද මේ කතාව ඉවරයක් කල යුතුමය. සුමේද හාමුදුරුවන් ගමනේ පෙරමුණ ගත්තේය. දාන ශාලාවේ එක කොණක ආසනයක අසුන් ගත් සුමේද හාමුදුරුවෝ නිවීසැනසිල්ලේ බුදුන් වදින තම මෑණියන් දෙස බලාගෙන උන්නේය. ගිහි කල මව නමින් නන්දාය. ඇයගේ උණුසුම වින්දේ තමන් එක වසරට යන තුරු පමනකි. තාත්තාගේ බීමත්කම නිසා තමන් පංසලට බාර කල විදිය අදටත් මතකය. එදා පටන් ජීවිතයේ එක එක පරිඡේද ගෙවී ගියේ පන්සල තුලදීය. තමාගේ වයසේ අනෙකුත් ළමයි ගෙවා දැමූ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් තමා ගෙවූ හැටි මතකය. අනෙක් ළමුන් සෙල්ලම් කරද්දී තමනුත් සෙල්ලම් කල විට එය දඟ වැඩක් වූ හැටිත්, තුරුණු වියේදී ඇතැම් දේවල් ගිහි තරුණයන්ට කැප දේවල් තමන් කල අකැප වූ හැටිත් සුමේද හාමුදුරුවෝ සිහි කලේය. බුදුන් වැද අවසන් වූ අම්මා තමන් වෙත එන හැටි බලාගෙන උන් සුමේද හාමුදුරුවෝ අවසානයේ තීරණයක් ගත්තේය. 

‘ඔබ වහන්සේගේ බුද්ධිය ගැන ගමේ හරි කතාව. මට හරි ආඩම්බරයි ඔබ වහන්සේ ගැන… 

අම්මා කියද්දී සුමේද හාමුදුරුවෝ යන්තමින් සිනාසුනේය. මේ අධ්‍යාපනයම, ජනප්‍රියත්වයම ගිහියෙක් විදියට ලැබුවා නම් ගමේ මිනිස්සු ඇත්තටම ආඩම්බර වේද යන සැකය අම්මාගෙන් අසා දැනගන්නට සිතුනත් තවත් ඉවසන්නට වග බලාගත්තේය. 

‘අම්මේ, මම තීරණයක් අරගත්තා. මම අහන්නේ නෑ අම්මා ඇයි මාව මහණ කලේ කියලා. ඇත්තටම මම ඒක අහන්න තමයි උන්නේ. ඒත් මම අහන්නෙ නෑ. පරණ කුණු මට අවුස්සන්න බෑ. ඒත් අම්මේ මේ කසාවත මට බර වැඩියි. ඒහින්දා මම සිවුරු අරින්න තීරණය කලා. ඒ තීරණය ගැන කියන්න මම අද අම්මට එන්න කිව්වේ… 

නන්දාවතී වුන්නේ කිසිම දෙයක් අදාහාගන්නට බැරිවය. වෙනදාට බොහොම සීලවන්තව තමා අමතන ඔහු අද එක හුස්මට කියාගෙන ගිය කිසිම දෙයක් ඇයට අදහාගන්නට බැරිය.

‘එක පාරටම එහෙම වුනේ ඇයි අපේ හාමුදුරුවනේ?

නන්දාවතී සෑහෙන වෙලාවකට පසුව අසද්දී ඔහු පෙර තිබුනු සිනහවෙන්ම ඇය දෙස බැලුවේය. 

‘අවුරුදු ගානක් අම්මේ මේ චීවරය නිසා දුක් වින්දා.. මට තවත් අමරුයි. මගේ අකමැත්තෙන් මාව සාසනේට බාරදුන්නට මම සතුටක් කියලා දෙයක් ජීවිතේ වින්දේ නෑ. ඒකයි ඇත්ත. මගේ ලමා කාලේම මට නැති වුනා. මට බෑ අම්මේ තරුණ කාලෙත් නැති කරගන්න. මේ ඇති. හොඳටම ඇති.. මම එනවා අම්මා එක්ක ගෙදර යන්න. අම්මා ඒකට අකමැතියි නම් මම කොහේ හරි යනවා. මාව නවත්වන්න එපා අම්මේ… 

‘අනේ හාමුදුරුවනේ… 

‘මට හාමුදුරුවෝ කියලා අම්මා පව් පුරවාගන්න එපා. මම අම්මගෙ ලොකු පුතා එච්චරයි. මම එන්නද අම්මේ ගෙදර.. මට උපාධිය තියෙන නිසා රස්සාවක් හොයාගන්න පුලුවන්. ගමේ ඉන්න බැරි වුනොත් අපි කොහේ හරි යමු.. බීලා බීලා තාත්තා මැරුනා. මට අම්ම බලාගන්න පුලුවන් අම්මේ. අනේ මට මෙහෙම ඉන්න කියන්න එපා. එච්චරයි… 

එතනින් එහාට ඔවුන් අතර කතාවක් නොවුනි. නන්දාවතී බෝ මළුවේ තනි වෙද්දී සුමේද හාමුදුරුවෝ තම ජීවිතය වෙනුවෙන් වැදගත්ම තීරණය අරගත්තේ යලිත් කවදාවත් පසුනොතැවෙන බවට තමන්ටම පොරොන්දු දෙමිනි. 

අද තත්වය… 

කලකට පෙර සුමේද ස්වාමීන්වහන්සේ නම් වූ ඔහු හතලිස් හැවිරිදි විශ්ව විද්‍යාල කතිකාචාර්‍ය සුනෙත් රාජගුරුය. බිරිඳ දම්මි රාජගුරුය. පදිංචිය උඩු පේරාදෙණියේ වූ අතර දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක් වූයේය. නන්දාවතී දැන් බොහෝම මහළුය. එහෙත් තම පුතා , ලේලිය මෙන්ම මුනුපුරන්ගේ ආදරය රැකවරණය නොඅඩුව ලබන්නීය. 

ඉතින් දැන් ජීවිතේ පරිපූර්ණය. 

තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter