Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Kasuni Fernando

ඔබට මතකද මෑත කාලයේදි විකාශනය වු රාවණ ටෙලිනාට්‍යයෙහි රණශුර කාන්තාව මාලනි, තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයෙහි ගැමි යුවතිය ධම්මි එමෙන්ම පහුගිය වකවානුවේදි අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වු නාඩගම්කාරයෝහි මාලන්ගේ ආදරවන්තිය රසිකා?

ඇය ටෙලි නිර්මාණය තුලින් නිරන්තරයෙන් අපට දකින්නට නොලැබුනත් මෙවැනි එකිනෙකට වෙනස් වු චරිත තාත්විකව නිරූපණ කරමින් චරිතාංග රංගනයෙහි දක්ෂතාවයන් ප්‍රේක්ෂක අපට මනාවට පෙන්නුම් කලා. එමෙන්ම ප්‍රේක්ෂක සිත් ‍රසවින්දනයෙන් ඉතා ඉහල තැනකට ඔසවා තබන්න ඇයට හැකිවුවා.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් උගත් රංගනය පිළිබද අධ්‍යාපනය, ස්වයං අධ්‍යනය තුලින් ලබාගත් ප්‍රායෝගික දැනුම සහ අත්දැකිම් ඇයට මෙවැනි සාර්ථක ගමනක් එන්නට ඉවහල් වු බව නොරහසකි.

එසේනම් රංගනයේ උපන් හැකියාවන් ඇති අපගේ සිත් සොරාගත් රුවැත්තිය කසුනි ප්‍රනාන්දුගේ තොරතුරු බිදක් මෙවර “අපි Magazine” ඔස්සේ ඔබ සමග බෙදා ගන්නටයි අපගේ සුදානම…

▪️කසුනි, මොනවද මේ දවස්වල නිරත වන කලා කටයුතු?

මම දායක වෙන්නේ තෝරා ගත් සීමිත ටෙලි නිර්මාණ ප්‍රමාණයකට පමණයි. මම රංගන දායකත්වය ලබා දුන් ස්වර්ණවාහිනියේ විකාශනය වු BIO ටෙලිනාට්‍යයෙහි දෙවෙනි කොටස පහුගිය කාලයේදි විකාශනය නිමා වුනා. ඊට අමතරව මුලිකව කොටස් කිපයක් පමණක් රූගත කල ටෙලිනාට්‍යය 5 ක් පමණ තියනවා නමුත් රටෙහි ආර්ථිකය තත්වය අනුව එම නිර්මාණවල ඉදිරි වැඩකටයුතු ඇරඹෙයිද කියන්න මට හරියටම අදහසක් නැහැ.

ච්ත්‍රපට පිළිබදව කතා කලොත් පහුගිය කාලයේදි අති සාර්ථක ලෙස තිරගත වුන ගජමෑන් ච්ත්‍රපටයෙහි ප්‍රධාන චරිතයක් සදහා පන පොවන්න මට අවස්ථාව ලැබුනා.

එමෙන්ම පසුගිය දිනවල තිරගත වූ උතුරු සුළග ච්ත්‍රපටයෙහි මම රංගන දායකත්වය ලබා දුන්නා. ඒවගේම මම ප්‍රධාන චරිත සදහා රංගන දායකත්වය ලබා දුන් ච්ත්‍රපට 2 ක් ලගදිම නිකුත්විමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

මෙම දිනවල මම වේදිකා නාට්‍යයක පුහුණුවිම කටයුතු කරගෙන යනවා. එම නිර්මාණය මෙම අවුරුද්දෙ අග භාගයේදි වේදිකා ගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

▪️රංගන ශිල්පයක් වෙන්න ඕනේ කියලා කසුනිට හිතුනේ කොයි කාලයේ වගේද?

කුඩා කාලයේ ඉදලාම මම නර්තනයට දක්ෂයි. උඩරට සහ සබරගමු නර්තනය ශෛලියන් මම හැදෑරුවා. පාසල් කාලයේදි සංගීතය, නර්තනය, රංගනය සම්බන්ධ සියලුම වැඩසටහන් සහ විවිධ තරග සදහා මම සහභාගි වුනා.

මට වයස අවුරුදු 10 දි විතර ළමා නිලියක් විදියට මුලින්ම වේදිකා නාට්‍යයක රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුනා. පාසල් කාලයේදි විවිධ වේදිකා නාට්‍ය සහ කලාත්මක, හරවත් ටෙලි නිර්මාණ නරඹන්නට මට අවස්ථාව ලැබුනා. එම නිර්මාණවලින් මම දැකපු දක්ෂ රංගන ශිල්ප, ශිල්පයන් ගැන මම ගොඩක් උනන්දුවෙන් හොයන්න ගත්තා. ඒ සමගම සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සදහා නාට්‍යය හා රංග කලාව විෂය හැදෑරිමට මම තිරණය කරනවා. උසස්පෙළ අධාපනය ලබන කාලයේදි ටෙලිනාට්‍ය රංගනයට අවස්ථාව ලැබුණත් රංගන ශිල්පිනියක් වන්නට ඒ කාලය වනවිට අදහසක් තිබුනේ නැති නිසා භාර ගත්තේ නැහැ.

උසස්පෙළ විභාගයෙන් පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි නාට්‍යය හා රංග කලාව වැඩිදුර අධ්‍යාපන ලබන්නට මට අවස්ථාව ලැබෙනවා. ඉන්පසු වේදිකා නාට්‍යවලට සම්බන්ධව වැඩ කරන්න මට අවස්ථාව ලැබුනා. පසුකාලීනව ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ මග පෙන්විම යටතේ මම ටෙලිනාට්‍යය රංගනයට පිවිසෙනවා. මෙතෙක් කාලය තුළ මම ප්‍රතික්ෂේප කරපු නිර්මාණ ප්‍රමාණය භාරගත් නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩියි.

▪️ නාට්‍යය හා රංග කලාව පිළිබදව විදිමත් අධාපනයක් ලබා රංගන ක්ශේත්‍රයට පැමිණිම චරිතාංග රංගනයෙ යෙදිමේදි ඔබට පහසුවක් වුනාද?

රූපණය විෂය විධිමත්ව හදාරපු නැති ඉතාම දක්ෂ ‍රංගන ශිල්ප, ශිල්පිනියන් අපේ ක්ශේත්‍රයේ ඉන්නවා. මෙම විෂය සම්බන්ධව අවංක අශාවක් තිබිම ඉතාම වැදගත් වෙනවා. එහෙම අවංක කැමැත්තක් තිබෙන අය විෂය ගැන කැමැත්ත තියන අය විෂය ගැන උනන්දුවෙන් ඉගෙන ගන්නවා. ඒ සදහා විශ්වවිද්‍යාලයකට යාම අත්‍යවශ්‍ය නැහැ. ඒවගේම උත්පත්තියෙන් ලැබෙන හැකියාවෙන් ඉදිරියට යන්න පුලුවන් සීමාවක් තියෙනව කියලා මම විශ්වාස කරනවා. එම නිසා විධිමත්ව හෝ අවිධිමත්ව විෂය හැදෑරීම වැදගත් වෙනවා. මම නිරන්තරයෙන්ම විෂය සම්බන්ධයෙන් ස්වයං අධ්‍යනයක නියැලෙනවා.

රංගනය හදාරලා ඉවර කරන්න පුලුවන් විෂයක් නෙවෙයි. සමාජයේ සිදුවන දේවල් පිළිබදව දැනුම, පොත්පත් කියවිම සහ විවිධ දෙස් විදෙස් නිර්මාණ පිළිබදව අධ්‍යයනය තුළින් සහ තමන්ගේ අත්දැකීම් තුළින් ඉගෙනගන්නා දේවල්වලින් දක්ෂතාවය නිරන්තරයෙන් මුවහත් කර ගැනිම අත්‍යාවශ්‍යයි. එය චරිතාංග රංගනයෙහි යෙදිමට උපකාරි වෙනවා.

▪️වේදිකාව, පුංචි තිරය සහ රිදිතිරය, ඔබ රංගනයේ යෙදෙන්න වඩාත් කැමති මාධ්‍යය මොකක්ද?

වේදිකාවට සහ සිනමාවට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න මම එක හා සමානව කැමතියි.

▪️විවිධ නිර්මාණ තුලින් එකිනෙකට වෙනස් චරිත නිරූපයෙන් ප්‍රේක්ෂක හිත් ඇද බැද ගැනිමට ඔබට උපන් හැකියාවක් ඇතිබව නොරහසකි.

මෑතකදී විකාශනය වු රාවණ, තනමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයවල ඔබ රංගන දායක වු චරිත පිළිබදව ඔබේ අදහස සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව අපිට කියන්න කැමතියිද?

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් දකින බොහෝ නිර්මාණ අතරින් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ආන්දෝලනයක් ඇති කරපු නිර්මාණ කිපයකම කොටස්කාරියක් වෙන්න මම වාසනාවන්ත වුනා. එවැනි ඉතාම ජනප්‍රිය වුන කුඹියෝ ටෙලිනාට්‍යයෙහි චරිතයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුනා. රාවණ, තනමල්විල කොල්ලෙක් සහ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයන් වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වුනා. ඉතින් නිරන්තරයෙන්

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ නොවුනත් ඉදලා හිටලා සම්බන්ධ වෙන නිර්මාණ ඉතා ජනප්‍රියවිම ගැන මම සතුටු වෙනවා.

දෙරණ නාලිකාවෙහි විකාශනය වු තුෂාර තෙන්නකෝන් මහතාගේ රාවණ ටෙලිනාට්‍යයෙහි රණශූරියක් වන මාලනිගේ චරිතය සදහා දායකවන්නට මට අවස්ථාව ලැබුනා. ඒ සදහා කඩු සටන් ශිල්පය පිළිබදව නිර්මාණයට අවශ්‍ය ප්‍රමාණයට ඉගෙන ගත්තා. මාලනි කියන්නේ දුෂ්ඨ චරිතයක් වුනත් එම චරිතය වෙනුවෙන් මට ඉතාම ඉහල ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා.

මගේ සමෙහි වර්ණය නිසා සමහර ගම්බද කතා ආශ්‍රයෙන් ගොඩනැගෙන ටෙලිනාට්‍යය සදහා මාව ප්‍රතික්ෂේප වෙලා පොඩි කලකිරිමක් දැනුන කාලයක නොහිතපු විදියට මට තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය සදහා ආරාධනාව ලැබුනා. රොෂාන් රවින්ද්‍ර මහතාගේ මග පෙන්වීම යටතේ සහ නිර්මාණයෙහි මා සමග වැඩ කරපු සහෝදර රංගන ශිල්ප, ශිල්පිනියන්ගේ සහයෝගයෙන් ධම්ම් කියන චරිතය ගොඩනගා ගන්න මම මහන්සි වුණා. එම චරිත නිරූපණයේ සාර්ථකත්වය පිළිබද ප්‍රේක්ෂකයන්ගෙන් වගේම, ක්ෂේත්‍රයට සම්බන්ධ සෑහෙන පිරිසකගෙන් මට ඉහළ ප්‍රතිචාර ලැබුනා.

ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහතා අධක්ෂණය කල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයෙහි මම නිරූපණය කලේ අඩු වයසින් විවාහ වුන අම්මා කෙනෙකුගේ චරිතයක්. එහි ගොඩ නැගුන මාලන් සහ රසිකා ආදර කතාවට සහ නිරූපණය කල චරිතයේ සාර්ථකව වෙනුවෙන් අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා.

මෙම චරිත තුන විකාශනය අවසන් වෙලා තිබුනත් අදටත් ප්‍රේක්ෂකයන් ආදරය කරනවා, මතක් කරනවා, විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා.

▪️ඔබ රංගනය ශිල්පිනියක් මෙන්ම මේ වන විට ව්‍යවසායිකාවක් වනවා. ඔබගේ ව්‍යාපාරය පිළිබදව අපි දැන ගන්න කැමතියි…

මම පහුගිය කාලයේදි Kazee නමින් ව්‍යාපාරයක් ආරම්භ කලා. මගේ අතින්ම නිර්මාණය වුන විලාසිතාවන් එකතුවක් Kazee තුලින් ඉතා සාර්ථකව පාරිභෝගිකයනට ලබා දෙන්න මට හැකි වුනා. පහුගිය COVID කාල සමයේදි ඇති වුන අපහසුතායන් නිසා තාවකාලිකව ව්‍යාපාරය නවත්තන්න මට සිදු වුනා. නමුත් ඉතා ඉක්මනින්ම නව විලාසිතා එකතුවක් සමග නැවත ආරම්භ කිරිමේ සුදානමක් තියනවා.

▪️ලගකදි විවාහ වෙන්න එහෙම අදහසක් තියනවාද? ආදරය සහ විවාහය පිළිබදව ඔබේ අදහස මොකක්ද?

ලගදි විවාහ වෙන්න නම් අදහස් නැහැ. කලබල වෙලා, යම්කිසි වයස සිමාවක් ඇතුලත විවාහ වෙන්න ඕනේ කියලා මගේ අදහසක් නැහැ.

ආදරය කිරිමේදි සහ විවාහයකදි විශ්වාසය ගොඩනගා ගැනිම, එකිනෙකාව තේරුම් ගැනිම, සහයෝගයෙන් කටයුතු කිරිම සහ අනවශ්‍ය විදියට සීමා, නිතිරීති නොදමා එකිනෙකාට නිදහස ලබාදෙමින් එකිනෙකාගේ අවශ්‍යතාවයන් තේරුම් ගෙන ඉවසීමෙන් ගණුදෙනු කිරිම සහ අනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේවල්වල සීමාවක් තබාගැනීම සම්බන්ධතාවක් සාර්ථකව පවත්වාගෙන ‍යන්න ඉතාම වැදගත් වෙනවා කියලා මම හිතනවා.

▪️රංගන ක්ශේත්‍රයට පැමිණෙන නවක රංගන ශිල්ප ශිල්පිනියන්ව දිරිගැන්විමට ඔබ මොනවාද කියන්න කැමති?

මම හිතනවා මෙම විෂයට අවංකව ආශාවක්, ආදරයක් තියෙන්න ඕනේ කියලා. එවැනි පිරිස විෂය පිළිබදව හොයන්න, ඉගෙන ගන්න ඉබේම යොමු වෙනවා. එම අධ්‍යනයෙන් තමයි චරිතාංග රංගන ශිල්පියෙකු විදියට ඉදිරියට යන්න පුලුවන්. රංගන පිළිබදව ඉගෙන ගන්න ජාතික තරුණ සේවා සභාව, ටවර් හෝල් පදනම වැනි ආයතන සහ ක්ශේත්‍රයේ ප්‍රවීනයන් විසින් මෙහෙයවන පාඨමාලාවන් තියනවා. විෂය පිළිබදව මූලික අධ්‍යාපනයක් ලබා අඩිතාලමක් සකසා ගනිමින් ක්ශේත්‍රයට පැමිණිම මෙහි රදා පැවැත්මට ලොකු රුකුලක් වෙනවා කියන එකයි මගේ විශ්වාසය.

▪️කසුනිගේ තවත් රංගන හැකියාවන් ප්‍රේක්ෂක අපට ඉදිරියේදි දැක ගන්න ලැබෙන නිර්මාණය මොනවාද?

මම රංගනයෙන් දායක වු වෛතාලේ, රැහැයියෙක් වැනි ටෙලි නිර්මාණය ඉදිරි කාලයේදි විකාශනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඒවගේම සසික හේරත් මහතා අධක්ෂණය කල සිහින සමිකරණ ච්ත්‍රපටය ඉදිරියේදි තිරගතවිමට නියමිතයි. මෙම ච්ත්‍රපටයෙහි සජිත ඇන්තනි සමග ප්‍රධාන චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුනා. මෙය කාලීන මාතෘකාවක් පිළිබදව ගොඩ නැගුන ච්ත්‍රපටයක් වෙනවා. මෙම ච්ත්‍රපටය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළද ගනිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

Sign up for our newsletter