2019 වර්ෂය තාරකා විද්‍යාවේ අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරන වර්ෂයක්. ඒ තමයි, කළු කුහකරයක ප්‍රථම දුරේක්ෂය ඡායාරූප (telescopic photograph) ලබා ගැනීමට හැකි වීම.
ඇත්ත වශයෙන්ම, කළු කුහර ගැන ඕනෑතරම් විස්තර අපි අහල තිබුනත් කිසි දවසක කළු කුහරයක් මොන වගේද කියා අපි හරියටම දැනගෙන සිටියේ නැහැ මොකද කිසි දවසක කළු කුහරයක ස්වභාවය පෙන්නුම් කරන ඡායාරූපයක් ලබාගෙන තිබුනේ නැහැ. මෙහෙම ඡායාරුපයක් නොතිබෙන්න හේතුව බොහොම සරළයි. කළු කුහරයක් කියන්නේ ආලෝකය පවා තමන් තුලට උරාගෙන ආලෝකයටවත් ගැලවී යන්නට ඉඩ නොදෙන වස්තුවක්. අපිට ඕනෙම වස්තුවක් ඡායාරූපගත කරන්න නම් එම වස්තුවේ සිට ආලෝක කදම්බයක් කැමරාව වෙතට එන්න ඕනේ. අපිට කට්ට කළුවර තියන රාත්‍රියක අඳුරේ ඡායාරූප ගත්තට කවුරුවත් පෙන්නේ නැත්තේ එකයි. (දැන් අහන්න එපා night vision කැමරාවලින් ගන්න පුළුවන් නේද කියල. Night vision කැමරාවක් වැඩ කරන්නත් ආලෝකය අවශ්‍යයි. හැබැයි ඒ ආලෝකය අපේ පියවි ඇසට පෙනෙන ආලෝකය නෙමෙයි.)
එතකොට කොහොමද ආලෝකයටවත් ගැලවෙන්නට නොදෙන අති විශාලය ගුරුත්වයක් තියෙන කළු කුහරයක් ඡායාරූපගත කලේ? මෙතැනදී ඇත්තටම කරලා තියෙන්නේ කළු කුහරය ඡායාරූපගත කිරීම නෙමෙයි. කළු කුහරයේ පිටත සීමාව ඡායාරූපගත කිරීම. ඕනම වස්තුවක පිටත සිමාව හඳුනාගත්තා කියන්නේ එම වස්තුවේ හැඩය දැනගත්තා කියන දෙයමනේ. අන්න එහෙමයි කළු කුහරයේ හැඩයත් අපි මේ පින්තුරයෙන් හඳුනාගන්නේ.
කළු කුහරයේ සීමාව හඳුන්වන්නේ event horizon කියල. මේ සිමාව තමයි ආලෝකයට ගැලවී යන්න අවසරය තියෙන අවසාන සිමාව. මෙතනින් එහාට ආලෝකයට වත් ගැලවී යන්න බැහැ, ඒ කියන්නේ, කළු කුහරයේ ආරම්භය. කළු කුහරය ඡායාරූපගත කරපු කැමරා වලට Event Horizon Telescope (EHT)කියල නම තියල තියෙන්නේ මෙන්න මේ event horizon එක ඡායාරූපගත කරපු නිසයි.
මේ ලබා ගත්ත පින්තුරයත් අපි ගන්න පින්තුර වගේ එකවර කැමරාවේ සටහන් වුන පින්තුරයක් නෙමෙයි. පෘථිවියේ ස්ථාන 8 ක සවිකර තිබු EHT දුරේක්ෂ 8 කින් ලබාගත් අති විශාල දත්ත සම්භාරයක් සුපිරි පරිගණක ජාලයක් හරහා ප්‍රතිනිර්මාණය කිරීම මගින් නිර්මාණය කරන ලද ඡායාරූපයක්.