මෙය ඒකාබද්ධව ක්‍රියාත්මක වන නිසා twin tendencies හෙවත් නිවුන් ප්‍රවණතාවක් ලෙස තථාගත ශ්‍රී සද්ධර්මයෙහි හැඳින්වේ. සඳහන් වන්නේ මජ්ඣිම නිකායෙහි භයභේරව සූත්‍රයෙහි ය.
කම්මැලිකම (laziness) පාලියෙන් ‘කුසීත’ ලෙසද ධෛර්‍යය මඳබව (lack of persistence) ‘හීනවීරිය’ ලෙසද එම සූත්‍රයෙහි විස්තර වේ. භයභේරව (භය සහ භේරව) යනු පිළිවෙලින් බිය (fear) සහ ත්‍රාසය (dread) ය. බය මනසේ එක ප්‍රබල දුර්වලකමක් වන අතර එය ක්‍රියාත්මක මට්ටමට ආවිට ත්‍රාසය ලෙස හැඳින්වේ. බය නිසා සන්තානය සෙළවෙන අතර ත්‍රාසය නිසා කයද සිතද කම්පනයට සහ හානිකර රසායන විපර්යාසයයන්ට (chemical imbalances) මඟ පාදයි.
කවදත් කම්මැලිකම සහ ධෛර්‍යය මඳබව මිනිසාගේ ජීවිතයට බලපා තිබේ. බුද්ධදේශනාවට අනුව එම නිවුන් ප්‍රවණතාවට වයස් සංස්කෘතික ආගම් ජනවර්ග ආදි භේදයක් නැත. එහෙත් මෙවර මේ පිළිබඳව කෙටියෙන් විග්‍රහ කරන්නට සිතුවේ මනෝවිශ්ලේෂකයෙකු ලෙස වර්තමාන සමාජ මාධ්‍ය යුගයේදී මෙම නිවුන් මානසික ප්‍රවණතාව Z පරම්පරාවේ හෙවත් Generation Z හි ප්‍රධාන චර්යා ලක්ෂණයක් බවට පත්වී ඇති බව ප්‍රතිකාර අවස්ථාවලදී මා නිතර දකින නිසාය. Generation Z යනු 1997 සහ 2012 අතර උපන් හෙවත් වයස 12 සහ 27 අතර අය ය. ශිෂ්‍ය වයසේ සිටින බොහෝ Z දරුවන්ට කොපමණ පහසුකම් තිබුණද අධ්‍යාපනයෙහි වටිනාකම කියා දුන්නද ඔවුන් සමාජ මාධ්‍යයට ඇබ්බැහි වී සිටින අතර විභාග ආදි ඉලක්ක කඩයිම්වලදී භයභේරව තත්ත්වයට පත්වේ. එම භයභේරව තත්ත්වය පිළිබඳව කල්තියා කොපමණ අනතුරු ඇඟවුවද එම උපදෙස් කුසීත-හීනවීරියබව ඔවුන්ගේ ජීවිතය ගිලගෙන තිබේ. Z වැඩිහිටියන් විවාහ වී ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනගන්නා දරුවන් සිටියද දරුවන්ගේ සහ සහකාරයා හෝ සහකාරියගේ ආර්ථික සුරක්ෂිතතාව සහ පොදු සුවසෙත වෙනුවෙන් වගකීම් සහ වගවීම දැරිය යුතු වුවද කුසීත-හීනවීරිය ප්‍රවණතාවට යටවී එහෙත් අවසාන මොහොතේදී ඒ වගකීම් සහ වගවීම් නිසා භයභේරව තත්ත්වයට පත් වේ. බොහෝ Z මව්පියන් විශේෂයෙන්ම පියවරුන් සියල්ල අමතක කිරීමට මතට ඇබ්බැහි වේ. ශ්‍රී ලංකාව තුළ මෙය ඉතා භයානක තත්ත්වය පත්වෙමින් තිබේ. කුසීත-හීනවීරියබවට දරුණු ලෙස ඇබ්බැහිවූ එක් Z දරුවෙක් හෝ එක් Z වැඩිහිටියෙක් නිසා මුළු පවුලම භයභේරව තත්ත්වයෙන් ජීවත් වේ.
සමාජ මාධ්‍ය යනු කුසීත-හීනවීරියබව තව තවත් දරුණුබවට හරවන තෝතැන්නකි. කුසීත-හීනවීරියබව නිසා අඳුරේ ජීවත්වන අය ක්‍රීඩා ව්‍යායාම සහ බාහිර ක්‍රියාකාරකම්වලට උපක්‍රමශීලිව යොමු කළ යුතුවේ. එම තත්ත්වයෙහි ජීවත්වන අයට තරවටු නොකර ඔවුන් තුළ ඇති කුසලතා ඉස්මතුකර පෙන්නීම ද කළ යුතු වේ. එසේ නොකළහොත් ඔවුන්ගෙන් ඇතමෙක් සියදිවි හානිකර ගැනීමෙහි මානසිකත්වය පෙළඹේ.
ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි